රජය ළමයින් වෙනුවෙන් සතියක් වෙන් කරයි !

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් බොහොමයක් රටවල ඔක්තෝබර් මස පළමු වන දින සමරන්නට යෙදෙන “ලෝක ළමා දිනය”  මෙම වසරේදී “ආදරෙන් සුරකින්න – අපට ලොව දිනන්නට” යන තේමාව යටතේ සංවිධානය කිරීමටයි අදහස් කර ඇත්තේ.

මේ සඳහා ළමුන් සම්බන්ධයෙන් කටයුතු කරන සියලුම ආයතන ඒකාබද්ධව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් හා පරිවාස හා ළමාරක්ෂණ සේවා දෙපාර්තමේන්තුවේ සංවිධායකත්වයෙන් ලෝක ළමා දින ජාතික වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කිරීමට ද සැලසුම් කර තිබෙනවා.

ලෝක ළමා දින ජාතික සැමරුම් වැඩසටහනට සමගාමීව 2025-09-25 දිනෙන් ආරම්භව 2025-10-01 දින දක්වා ප්‍රධාන ජාතික සැමරුම ද ඇතුළත්ව “ළමා දින ජාතික සතියක්” ප්‍රකාශයට පත් කිරීමටත්, ඒ යටතේ පහත සඳහන් වැඩ සටහන් ක්‍රියාත්මක කිරීමට කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබ ඇතැයි අද කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී සඳහන් කරනු ලැබුවා.

ඒ අනුව 2025 සැප්තැම්බර් 25 වන දින අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ළමා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට විදුහල්පතිවරුන්ගේ භූමිකාව පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩසටහනක් සංවිධානය කර ඇති අතර, 2025 සැප්තැම්බර් 26 වන දින ශ්‍රී ලංකා පොලීසිය, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය හා ජාතික ගමනාගමන කොමිෂන් සභාව එක්ව  පාසල් දරුවන් ප්‍රවාහනය කරන රථවාහන දීපව්‍යාප්තව පරීක්ෂා කිරීම හා ස්ටිකර් ඇලවීමේ ව්‍යාපෘතියක් හා  අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය හා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය එක්ව පාසල් ළමා ආරක්ෂක කමිටු පිහිටුවීම සහ ප්‍රතිසංවිධාන කිරීමේ ක්‍රියාවලියක් දියත් කිරීමටයි සැලසුම් සකස් කර ඇත්තේ.

මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය විසින් 2025 සැප්තැම්බර් 27 වන දින ළමා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට පෙර පාසල් ගුරු භූමිකාව පිළිබඳ පාලිකාවන් දැනුම්වත් කිරීමක් ද සිදු කරනු ඇති අතර, 2025 සැප්තැම්බර් 28 වන දින මත් උවදුරින් දරුවන් වැළැක්වීම පිළිබඳ ප්‍රජාව දැනුම්වත් කිරීම සඳහා ශ්‍රී ලංකා පොලීසිය, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය හා එක්ව මධ්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය කටයුතු කිරීමට නියමිතයි.

මීට අමතරව ළමා අයිතිවාසිකම් සුරැකීමට ආගමික නායකයන්ගේ කාර්යභාරය පිළිබඳව දැනුම්වත් කිරීමේ වැඩසටහනක් බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් හා පවුල මූලික කර ගත් රස වින්දනාත්මක වැඩසටහන් පැවැත්වීම සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් 2025 සැප්තැම්බර් 29 වන දිනයේ දී සිදු කරනු ඇති අතර,  2025 සැප්තැම්බර් 30 වන දින සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යංශය හා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව ප්‍රාථමික ශ්‍රේණි ( 1 – 5 ) සඳහා සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

මෙම සතිය නිමාවනුයේ ඔක්තෝබර් පළමුවන දින ලෝක ළමා දින ජාතික උත්සවයෙන් වන අතර, මෙම සතිය පුරා ම ශ්‍රී ලංකා පොලිසිය විසින් අනාරක්ෂිත දරුවන් හඳුනාගැනීම සහ වීදි දරුවන් පරීක්ෂා කිරීමට අදාළ වැටලීම් සිදුකරන බවයි පවසන්නේ.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading