ජනාධිපතිවරුන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත දෙවන වර වැඩි ඡන්ද 150 කින් අද ( 10 ) පාර්ලිමේන්තුවේ දී සම්මත වුණා.
ඒ අනුව එම පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 151 ක් ලැබුණු අතර, විපක්ෂව ලැබුණේ එක් ඡන්දයක් පමණි. එම විපක්ෂව ලැබුණු ඡන්දය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකගේ වීම විශේෂත්වයක්.
ඒ අනුව පනත් කෙටුම්පත කාරක සභා අවස්ථාවේ දී කිසිදු සංශෝධනයකින් තොරව සම්මත වුණා.
1986 අංක 4 දරන ජනාධිපතිවරයන්ගේ හිමිකම් පනත ඉවත් කිරීම පිණිස වූ කෙටුම්පත, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළ අතර, ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද “ජනාධිපතිවරුන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ)” පනත් කෙටුම්පත පිළිබඳ එම ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න ඊයේ (09) පාර්ලිමේන්තුවට දන්වා සිටියා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) වගන්තියේ සඳහන් අනිවාර්ය විධිවිධානවලට අනුකූලව අධිකරණ බලය අයැදීමට පෙත්සම්කරු අපොහොසත් වී ඇති බැවින්, ශ්‍රේෂ්ඨාධිකරණය මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ගොනු කර ඇති අංක SC/SD/29/2025 දරන පෙත්සම ප්‍රතික්ෂේප කර ඇති බවයි කතානායකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
හිටපු ජනාධිපතිවරුන්ට සහ ඔවුන්ගේ පවුල්වලට ලබාදෙන විශේෂ වරප්‍රසාද අහෝසි කිරීම සඳහා සකස් කළ පනත් කෙටුම්පත ජූලි දින (31) ගැසට් කර කළ අතර, මෙම පනත 2025 අංක දරන ජනාධිපතිවරයන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ) පනත යනුවෙන් හඳුන්වනු ලැබෙනු ඇති අතර 1986 අංක 4 දරන ජනාධිපතිවරයන්ගේ හිමිකම් පනත මෙයින් ඉවත් කරනු ලබන බව ද සඳහන් වනවා.
ඒ අනුව මෙම පනත මගින් මෙතෙක් ජනාධිපතිවරු භුක්ති විඳින ලද
10 (අ) ඉවත් කරන ලද පනතේ 2 වන වගන්තියේ විධිවිධාන ප්‍රකාර හිටපු ජනාධිපතිවරයකුට හෝ හිටපු ජනාධිපතිවරයකුගේ වැන්දඹුවට සපයන ලද යම් නිවසක් හෝ ගෙවන ලද යම් මාසික දීමනාව;
15 (ආ) ඉවත් කරන ලද පනතේ 3 වන වගන්තියේ විධිවිධාන ප්‍රකාර හිටපු ජනාධිපතිවරයකුට හෝ හිටපු ජනාධිපතිවරයකුගේ වැන්දඹුවට ගෙවන ලද මාසික ලේකම් දීමනාව සහ නිල ප්‍රවාහන සහ වෙනත් සියලු පහසුකම්; සහ
20 (ඇ) ඉවත් කරන ලද පනතේ 4 වන වගන්තියේ විධිවිධාන ප්‍රකාර හිටපු ජනාධිපතිවරයකුගේ වැන්දඹුවට ගෙවන ලද මාසික විශ්‍රාම වැටුප
ඉහත සඳහන් හිමිකම් ඉවත් වන බවයි සඳහන් වන්නේ.
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනත් කෙටුම්පතේ වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව සඳහන් කරමින් වගන්ති අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් පෙත්සම් 4ක් ඉදිරිපත් වී තිබූ අතර, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා විසින් අගෝස්තු 11 දින පෙත්සමක් ඉදිරිපත් කරනු ලැබුවා.
