ආරුගම්බේ ප්‍රදේශයේ ආරක්ෂාව තර කිරීම සඳහා පියවර ගෙන තිබෙන බව පොලිසිය පවසනවා.
මේ වනවිට පොලිස් නිලධාරීන් සහ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් 500ක් පමණ ආරුගම්බේ සංචාරක කලාපයේ ආරක්ෂාව තර කිරීම සඳහා යවා ඇති බව ද වාර්තා වනවා.
ප්‍රදේශයේ ආරක්ෂාව තරකිරීම සඳහා බුද්ධි අංශ සහ අනෙකුත් ආරක්ෂක අංශ ද අවධානයෙන් පසුවන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවා.
නිහාල් තල්දූව මහතා පැවසුවේ, ආරුගම්බේ සහ පොතුවිල් ප්‍රදේශවල ඊශ්‍රායල ජාතිකයින් සර්ෆින් ක්‍රීඩාව නිසා වැඩිපුර ගැවසෙන බවත් ඔවුන්ට යම් අනතුරක් සිදුවිය හැකි බවත් පසුගිය දිනවල තොරතුරු ලැබී තිබූ බවයි.
මේ අතර කොළඹ හෝ වෙනත් ප්‍රදේශයක මෙවැනි අනතුරක් පිළිබඳ බුද්ධි වාර්තා ලැබී නොමැති බවත් ජනතාව අනිසි බියක් ඇති කරගත යුතු නැති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා වැඩිදුරටත් සඳහන් කළා.
මේ අතර මාධ්‍ය අමතමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ,
“ඒ ආරුගම්බේ ප්‍රදේශයේ තිබෙනවා ඊශ්‍රායල ජාතිකයින් විසින් ස්ථාපනය කළ ගොඩනැගිල්ලක්. යම්කිසි ශාලාවක් වැනි ස්ථානයක්. ඊශ්‍රායල ජාතිකයින් බොහෝවිට ආරුගම්බේ ප්‍රදේශය ඔවුන්ගේ ආකර්ෂණය දිනාගත් ප්‍රදේශයක්. පොතුවිල් සහ ආරුගම්බේ. විශේෂයෙන්ම සර්ෆින් නිසා. ඊශ්‍රායල ජාතිකයින් ඒ ප්‍රදේශයට කැමතියි. ඒ නිසා තමයි ඔවුන් යම්කිසි ස්ථානයක් එහි ස්ථාපනය කර තියෙන්නේ. පසුගිය දිනවල යම් යම් තොරතුරැ ලැබිලා තිබුණා ඒ ඊශ්‍රායල ජාතිකයින්ට යම් ආකාරයක අනතුරක් විය හැකි බවට. ඒ නිසා ප්‍රදේශය භාර SDIG ඊට අවශ්‍ය මූලික පියවර ගෙන තිබුණා. මාර්ග බාධක යොදලා ප්‍රදේශය ආරක්ෂා කිරීම. වාහන, පුද්ගලයින් විටින් විට පරීක්ෂා කිරීම් කළා.”
ආරුගම්බේ ප්‍රදේශයේ පිහිටි ජනප්‍රිය සංචාරක ස්ථාන ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල වන බවට විශ්වාසනීය තොරතුරු සමඟ අනතුරු ඇඟවීම් ලැබී ඇතැයි ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරනු ලැබුවා.
මෙම තර්ජනයෙන් එල්ල වී ඇති බරපතල අවදානම හේතුවෙන් ඇමරිකානු පුරවැසියන්ට නැවත දැනුම් දෙන තුරු ආරුගම්බේ වෙත යාමට අමෙරිකානු තානාපති කාර්යාලය විසින් ගමන් තහනමක් පනවනු ලැබුවා.
