Saturday, December 2

ජෝසෆ් පාරට බැස්සේ, රනිල්ව එළවන්නද?

මීට පෙර, වෘත්තිය සමිති සහ බහුජන සංවිධානවලින් රට පුරා සිදු කළ අයිතිවාසිකම් සටන් වර්ධනය වී ගෝඨාභය රාජපක්ෂ විධායක ජනාධිපතිවරයා බලයෙන් පහ කරන තැනට වර්ධනය වුණා. එහි ආරම්භක භූමිකාව සිදු කළ ගුරු- විදුහල්පති වෘත්තිය සමිති සන්ධානය නැවත මහපාරට පැමිණ තිබෙනවා. ඒ, ජනතාවගේත්, දරුවන්ගේත්, ගුරුවරුන්ගේත් අයිතිවාසිකම් රැසක් දිනා ගැනීමේ අරමුණෙන්.

සුපුරුදු ලෙස සිසු-ගුරු ඉල්ලීම්වලට ආණ්ඩුව උත්තර දී තිබුණේ කඳුළු ගෑස් සහ උණ්ඩවලිනුයි.

සැබෑ ප්‍රශ්නය මෙම විරෝධතා රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව බලයෙන් පහ කිරීම දක්වා වර්ධනය වනු ඇතිද යන්නයි.

ඒ අනුව, රනිල් රාජපක්ෂ දුර්දාන්ත පාලනයට එරෙහිව ඔක්තෝබර් 24 වැනිදා ගුරු විදුහල්පති වෘත්තිය සමිති සන්ධානය ගිය පාගමනකට ජල, කඳුළුගෑස් සහ රබර් උණ්ඩ ප්‍රහාර එල්ල කරපු බව වාර්තා වුණා.

මේ ගැන කළ විමසීමකදී, විරෝධතාවේ ප්‍රධාන අරමුණු කෙටියෙන් අප වෙත පැහැදිලි කළ ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මෙහෙම කීවා.

‘වැටුප් වැඩි වීම අධ්‍යාපන අමාත්‍යාංශය දුන්නේ තුනෙන් එකක් විතරයි. ඉතිරි තුනෙන් දෙක දෙන්න කියන එක. අධ්‍යාපනයේ බර දෙමාපියන්ට දෙන්න එපා කියන එක. දිගට හරහට ළමයින්ගෙන් සල්ලි එකතු කරනවා. අධ්‍යාපනයට දළ දේශීය නිෂ්පාදිතයෙන් සීයට 6ක් වෙන් කරන්න කියන එක. මර්දන අණ පනත් අකුලාගන්න කියන එක. ගුරු- විදුහල්පතිවරුන්ගේ ආයතනික ගැටලු විසඳන්න කියන එක. ඒ සඳහා නොවැම්බර් 13 වැනිදා අයවැයේදී මුදල් වෙන් කරන්න ඕනෑ. ඒක නොකළොත්, අපි ඉදිරියේදී අනෙකුත් ක්‍රියාමාර්ගවලට යොමු වෙනවා.‘

ශ්‍රී ලංකා පොලීසිය මීට පෙර ප්‍රසිද්ධියේ රබර් උණ්ඩ පාවිච්චි නොකරන බව කියා තිබියදී, කඳුළුගෑස්වලින් පවා පුද්ගලයන් ඝාතනය කිරීම ගැන පොලීසියට චෝදනා තිබියදී, මෙලෙස බරපතල මර්දන උපක්‍රමයක් යළි පාවිච්චි කිරීම රනිල් වික්‍රමසිංහ පාලනය ගුරු සංගම් විරෝධතා ගැන කෙතරම් දැඩි බියකින් පසු වෙනවාද යන්න මනාව තහවුරු කරන්නක්.  

ආර්ථික, සමාජ, දේශපාලන අර්බුද සමයක- පාතාල ඝාතන දිගින් දිගටම සිදු වන කාලයක පොලිස් ස්ථානවල සියලු වාහන, නිලධාරීන් සහ අනෙකුත් සම්පත් බිහිසුණු ලෙස අවභාවිත කරමින්, දූෂිත ආකාරයෙන් මෙම මර්දනය සිදු කර තිබුණා. මර්දන ක්‍රියාවලිය හමුවේ පසු නොබැස, බාධක බිඳගෙන පා ගමන අවසානය දක්වා ගිය ගුරුවරුන්, රැස්වීමක් පවත්වා, අධ්‍යාපන අමාත්‍යාංශයේ සාකච්ඡාවක්ද ලබාගෙන සිය ඉල්ලීම් ඉදිරිපත් කිරීමෙන් පසු නිල වශයෙන් ගුරු වැටුප් සටන නැවත වතාවක් ආරම්භ කළා. අයවැයේදී නිසි උත්තර නොදුන්නොත් ඊළඟ අදියරට සටන යනු ඇති.

මෙම පාගමන බත්තරමුල්ලේ පාලම් තුන හන්දිය අසල තිබෙන බුද්ධදාස ක්‍රීඩාංගණය අසලින් ආරම්භ කොට,  ඉසුරුපාය දෙසට ගමන් කළා. පොලිසියේ අන්ත දූෂිත බාධා කිරීම් එල්ල වී තිබුණේ පැළවත්ත හන්දිය අසලදී.

එහිදී කඳුළු ගෑස්, ජල ප්‍රහාරවලට අමතරව මෑත කාලයේ පාවිච්චි නොකළ බිහිසුණු මර්දන ක්‍රියාවක් වන රබර් උණ්ඩු යොදාගැනීමට කටයුතු කර තිබුණා. එයින් තුවාල ලැබූ ගුරුවරයෙකු රෝහල් ගත කර තිබෙනවා. තවත් ගුරුවරුන්ට තුවාල සිදු වී තිබෙනවා. එම ගුරුවරුන් ප්‍රකාශ කර තිබුණේ තමන්ගේ සිරුරේ වැදුණු උණ්ඩයක් වැනි යමක් නිසා සම පිපිරී, ඉදිමීම් ඇතිව තිබෙන බව. එය කඳුළු ගෑස් උණ්ඩ වැදීමෙන් සිදු වන අන්දමේ පිළිස්සීම් තුවාල නොවන බවත්, තම සිරුරේ වැදුණේ කඳුළුගෑස් උණ්ඩ නොවන බවත් ඔවුන් කියා තිබෙනවා.

2023 අප්‍රේල් 30 වැනිදා ‘ද මෝනිං‘ පුවත්පත වෙනුවෙන් මාධ්‍යවේදී ස්කන්ධ ගුණසේකර කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව කියා තිබුණේ ශ්‍රී ලංකා පොලීසිය 2002 සිට 2022 දක්වා වසර 20කින් රබර් උණ්ඩ විරෝධතා විසුරුවීම සඳහා පාවිච්චි කර නොමැති බව. ‘නැවත රබර් උණ්ඩ පාවිච්චි කරන්නේ නම් එම තීන්දුව පොලිස්පතිවරයා විසින් ගත යුතුයි‘ යනුවෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා එහිදී කියා තිබුණා. ‘රබර් උණ්ඩ මාරාන්තික විය හැකියි. විශේෂයෙන් එය විරෝධතාකරුවෙකුගේ හිසට වැදුණහොත් මියයෑමේ පවා අවදානමක් තිබෙනවා.‘ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා තිබුණා.

අප මේ සටහන ලියන මොහොත වන විට ගුරු-විදුහල්පති විරෝධයට රබර් උණ්ඩු පාවිච්චි කිරීම රජය පැත්තෙන් තහවුරු කර තිබුණේ නෑ. විරෝධතාවලට සහභාගී වූවන් තුවාල ලැබීම් රබර් උණ්ඩ නිසා සිදු වූ බව ප්‍රකාශ කළා.

රබර් උණ්ඩ පාවිච්චි නොකරන බව කීවත්, ශ්‍රී ලංකා පොලීසිය විරෝධතාවලදී කඳුළු ගෑස් එල්ල කරද්දී රබර් උණ්ඩ එල්ල කරන ආකාරයට පුද්ගලයන්ගේ හිස් ඉලක්ක කරමින් එය සිදු කරන ආකාරය පසු ගිය වර්ෂයකට අධික කාලයක් තිස්සේ දැක ගැනීමට ලැබුණා. ඒ නිසා තුවාල ලැබූවන්ද මීට පෙර වාර්තා වී තිබුණා. ඊට අමතරව රඹුක්කනදී ඇතුළු ස්ථාන ගණනාවකදී ජීව උණ්ඩවලින් පවා වෙඩි තබා විරෝධතාකරුවන් ඝාතනය කිරීමට සහ දරුවන් සදාකාලිකව ආබාධිත කිරීමට ශ්‍රී ලංකා පොලීසිය කටයුතු කර තිබුණා.

ගෝඨාභය රාජපක්ෂ පාලනය ගෙදර යැවූ ගමන ආරම්භ වුණේ ගුරු- විදුහල්පති සටනෙන්. ගුරුවරුන් අඛණ්ඩව සටන් කොට තමන්ට හිමි වැටුප් වැඩි වීම දිනා ගැනීමෙන් පසු ඇරඹුණු විරෝධතා රැල්ල, එම ආණ්ඩුව බලයෙන් පහ කරනතුරු අවසන් වුණේ නෑ. ගුරු වෘත්තිය සමිති නායකයන් වන ජෝසෆ් ස්ටාලින් වැනි නායකයන් මැයි 09 වැනිදා මහින්ද රාජපක්ෂ අගමැතිවරයාට ඉල්ල අස්වීමට බල කෙරුණු මැයි 06 හර්තාලය සංවිධානය කිරීමේදීත් මූලිකත්වය ගත්තා.

මෙම ගුරු සටන්වලට පාදක වී තිබුණේ දීර්ඝ කාලයක් තිස්සේ රජයේම කොමිෂන් විසින් තහවුරු කරන ලද ගුරු සේවයේ වැටුප් හා සේවා මට්ටමේ ප්‍රමිතියට අදාල ඉල්ලීම්. මෙරට දරුවන්ට අදාල සංවේදීම රැකියාවක යෙදෙන ගුරවරුන්ගේ වැටුප් සහ රැකියා මට්ටමේ ප්‍රමිතිය පහළ මට්ටමක පැවතීම නිසා එම සේවයේ සිටිය යුතු විශිෂ්ඨයන් සේවයට ඇතුළත් නොවීමේ හෝ සේවයේ සිටි අයත් සේවය හැර යෑමේ සිදුවීම් වාර්තා වී තිබෙනවා. වැටුප සහ සේවා තත්වය එම සේවයේ ප්‍රමිතියට බලපානවා. එනම්, අපේ රටේ දරුවන්ගේ අධ්‍යාපනයට ගුරු සේවයේ ප්‍රමිතිය බලපානවා.

එමෙන්ම අර්බුද සමයක මෙරට පීඩිත දරුවන්ගේ අධ්‍යාපන අවශ්‍යතා සම්පූර්ණ කිරීමේ වගකීමත් රජය සතුයි. අධ්‍යාපනය වෙනුවෙන් වැඩි මුදලක් වෙන් කිරීමත්, දරුවන්ගේ අනේකවිධ ප්‍රශ්නවලට විසඳුම් සැපයීමටත් පුළුල් ක්‍රියාමාර්ග ගත යුතුයි. උදාහරණයක් ලෙස ඇතැම් දුෂ්කර ප්‍රදේශවල දරුවන්ට තමන්ගේ ගමේ සුදුසු පාසල් නොමැතිකම නිසා විශාල වියදමක් දරා නගරවල පාසල්වලට යෑමට සිදු වෙනවා. එහෙත් අධික ප්‍රවාහන වියදම් දරාගැනීමට නොහැකි නිසාත්, නිවෙස්වල විදුලි බිල් ඇතුළු අනෙකුත් වියදම් අධික නිසාත් දරුවන්ට අධ්‍යාපනයම අත්හරින්නට සිදු වෙන තත්වයන් වාර්තා වී තිබෙනවා.

මේ ආර්ථික අර්බුදය විසඳීමට යැයි කියමින් රනිල්- රාජපක්ෂ පාලනය දිගින්  දිගටම අර්බුදයේ බර ජනතාව මත පටවමින් ඉන්නවා.

ආණ්ඩුව කළ යුතු දේවල් නොකරනවා වගේම, නොකළ යුතු දේවල් කරනවා. රටක් විනාශ කරපු හොරුන්ම රට හදා දෙනවායැයි කියද්දී, නිහඬව බලා සිටීම විධායක ජනාධිපතිවරයෙක් ගෙදර යැවූ මහජනතාවකට තරම් නැහැ.

ඩොලර් බිලියන 56කට (අයිඑම්එෆ් දෙන්නේ ඩොලර් බිලියන 2.9යි) වඩා මෙරටින් පන්නා පිටරට ගොඩගසාගෙන සිටින ධනවතුන්ගේ මුදල් නැවත රටට ගෙන ඒමට කිසිදු පියවරක් නොගැනීම, ඩොලර් බිලියන 6කට වැඩි වන්දි ලබාගත හැකි එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ වන්දිය නිසිපරිදි අය කර නොගැනීම, රුපියල් බිලියන 900කට වැඩි (සැබෑ අගය ට්‍රිලියන 2කට වැඩි) බදු පැහැරහැරීම්වලට අදාලව පියවර නොගැනීම, දේශීය ආර්ථිකය සහ නිෂ්පාදන නගා සිටුවීමට කටයුතු නොකිරීම, නිදහස් සෞඛ්‍ය සේවය සම්පූර්ණයෙන්ම අඩපණ කිරීම, ධනවතුන් තව තවත් බදුවලින් නිදහස් කිරීම, පෞද්ගලික ධනවතුන් නිදහස් කරමින් ඊපීඑෆ් මත පමණක් දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේ බර පැටවීම, ලොව පිළිගත් ප්‍රමිතියෙන් යුක්ත ණය විගණනයක් සිදු කිරීමෙන් පසු, නොගෙවා ඉඳීමේ හැකියාව හොඳටම තිබෙන -දූෂිත ණය- පවා බලහත්කාරයෙන් ජනතාවගෙන් කොල්ලකා ගෙවීමට කටයුතු කිරීම ආදී රනිල් වික්‍රමසිංහ පාලනයේ දුර්වල පාලන ක්‍රියාවන් රැසක් නිසා ඔවුන් ගෙදර යා යුතුයි.

ඒ සටන සඳහා මූලිකත්වය ගත යුත්තේ මෙරට වෘත්තිය සමිති ව්‍යාපාරය, ශිෂ්‍ය ව්‍යාපාරය. මේ වෙද්දී ගුරු- විදුහල්පති සටනට සමගාමීව තවත් ක්ෂේත්‍ර ගණනාවක වෘත්තිය සමිති තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කිරීම සඳහා පෙළගැසෙමින් සහ සාකච්ඡා කරමින් ඉන්නවා.

පොදු මහජනතාව මේ හැම සටනක්ම ජයගැනීම වැදගත්. ජනතාවගේ ජයග්‍රහණ විදියට සලකමින්, ඡන්ද පවත්වන්නට බය වී, ජාතිවාදය අවුස්සන නාට්‍ය රඟදක්වමින් මහා විනාසයකට රට ගෙන යන මේ ආණ්ඩුව එළවා දැමීමේ ගමනේ එක්තරා වැදගත් සන්ධිස්ධානයක් බවට ගුරු- විදුහල්පති අරගලය නැවත පත් විය යුතුයි. ඒ සමග ගෝඨාභය පාලන සමයේදී මෙන්ම දැනුත් ජනතාව නොපැකිලව සිටගත යුතුයි.

Author

%d bloggers like this: