Sunday, June 16

පුංචි ජන්දය ඉල්ලන සජබ පෙත්සමට දින දිලා

නියමිත කාලයේ නොපවත්වා කල් දමා ඇති පළාත් පාලනය මැතිවරණය වහාම පැවැත්වීමට නියම කරන්නැයි ඉල්ලමින් සමගි ජන බලවේගය ඇතුළු පක්ෂ හා සංවිධාන ගොනු කර ඇති මුලික අයිතිවාසිකම් පෙත්සම් පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ දින හතරක කාලයක් පුරා විභාගයට ගෙන අවසන් කිරීමට ‍‍ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (21) තීරණය කළා.

පළාත් පාලනය මැතිවරණය පසුගිය වසරේ මාර්තු 09 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූණත් මෙතෙක් එය නොපවත්වා කල් දමා ඇතැයි සඳහන් කරමින් ගොනු කර ඇති මුලික අයිතිවාසිකම් පෙත්සම් සිව්පුද්ගල ‍ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම පෙත්සම් ලබන 29 සහ 31 යන දිනවලද ජුනි 03 සහ 05 වැනි දිනවලද දවස පුරා විභාගයට ගෙන අවසන් කිරීමට තීරණය කර තිබෙනවා.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන විජිත් මලල්ගොඩ, ගාමිණී අමරසේකර සහ මුර්දු ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් සලකා බැලුවා.

පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් ඊයේ (21) විභාගයට ගැනීමට නියමිතව තිබුණත් විනිසුරු මඬුල්ලේ නිශ්චිත සංයුතිය නොමැතිවීම හේතුවෙන් පෙත්සම් විභාගය කල් තැබුණා.

සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, ජාතික ජන බලවේගයේ මහ ලේකම් නිහාල් අබේසිංහ, ජාතික ජන බලවේගයේ ආචාර්ය හරිණි අමරසූරිය, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති යන මහත්වරුන් ඇතුළු පිරිසක් ගොනු කර ඇති මෙම පෙත්සම්වල වගඋත්තකරුවන් වශයෙන් මැතිවරණ කොමිසම සහ එහි සාමාජිකයෝ නම් කරනු ලැබ සිටිනවා.

පළාත් පාලන මැතිවරණය පසුගිය වසරේ මාර්තු 09 වැනිදා පැවැත්වීමට දින නියම කර තිබුණත් නියමිත දින එම මැතිවරණය නොපැවැත්වීමෙන් රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩකර ඇතැයි සඳහන් කරන පෙත්සම්කරුවෝ අදාළ මැතිවරණය වහාම පැවැත්වීමට නියෝගයන් නිකුත් කරන්නැයි ඉල්ලා සිටිනවා.

පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් වන ෆයිස් මුස්තාපා සහ උපුල් ජයසූරිය යන මහත්වරුන් පෙනී සිටි අතර වගඋත්තරකරුවන් වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ නෙරින් පුල්ලේ මහතා පෙනී සිටියා.

Author

Discover more from WHAT NEWS

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading