පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ පොදු දේපළවලට අලාභ හානි සිදුකරන පුද්ගලයින්ට සහ කල්ලිවලට එරෙහිව තරාතිරම නොබලා දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා අවධාරණය කරයි.
අද (10) පෙරවරුවේ මධ්‍යම බස් නැවතුම්පොළේ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
නැවතුම්පොළ පරිශ්‍රයේ සිදුවන ඇතැම් අලාභ හානි හුදකලා සිදුවීම් නොව, යම් සංවිධානාත්මක පිරිසක් විසින් මෙහෙයවන ලද කඩාකප්පල්කාරී ක්‍රියාවන් බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. විශේෂයෙන්ම මගී ජනතාවගේ පහසුව සඳහා ස්ථාපිත කර ඇති පොදු පහසුකම් ඉලක්ක කර ගනිමින් මෙම හානි සිදුකර ඇත.
පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ සිදුව ඇති දේපළ අලාභහානි පිළිබඳව අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා, මෙය හුදෙක් සොරකමක්ම නොව පද්ධතිය අඩාල කිරීම සඳහා සිදුකරන සංවිධානාත්මක කඩාකප්පල්කාරී ක්‍රියාවක් බව පෙන්වා දුන්නේය.
එහිදී ඔහු සඳහන් කළේ, කාන්තා වැසිකිළි පද්ධතියේ සවිකර තිබූ ජල කරාම පළමු දින සොරකම් කිරීමෙන් පසු ඒවා නැවත අලුත්වැඩියා කර සවි කළත්, ඊයේ (09) රාත්‍රියේදී යළිත් වරක් එම කරාම ගලවා දමා ඇති බවයි. මෙවැනි ක්‍රියාවන් හරහා පොදු පහසුකම් විනාශ කිරීමේ පැහැදිලි උත්සාහයක් පෙනෙන්නට තිබෙන බවත්, ඒ සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට මෙන්ම ආරක්ෂක පියවරයන් ශක්තිමත් කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
“කාරණා දෙකක් වෙන්න පුළුවන්. එකක් මෙතන ගැන දැනුමක් නැතිව අනවබෝධයෙන් වෙන වැඩක් වෙන්න පුළුවන්. හැබැයි කරාමයක් කරකවලා කරකවලා කාන්තා වැසිකිළිවල විතරක් ගලවනවා කියන්නේ ඒක සංවිධානාත්මක වැඩක්. ඒ නිසා පෞද්ගලිකව මමත් මෙතන කාර්ය මණ්ඩලය වුනත් විශ්වාස කරන්නේ දේශපාලනයේ අපිට විවිධ මත තියෙන්න පුළුවන්. මේක පොදු ජනතාවගේ දෙයක්, පොදු මහජනතාවගේ බදුමුදලින් හදලා තියෙන්නේ. ඒවගේ අලාභ හානි කරන්න දෙන්න බැහැ අපි මේකට නීතිය ක්‍රියාත්මක කරනවා. මොකද දෙවැනි පාරට හයි කරාට පස්සේ ආයෙත් ගැලවෙනවා කියන්නේ.. ඊයේ රෑ හැදුවාට පස්සේ අද උදේ ආයෙත් ගලවලා.. ඒ කියන්නේ මේක සංවිධානාත්මකව ගලවනවා.
අපි දන්නවා සමාජ මාධ්‍ය තුළත්, එළියේ වුණත් මේකට කොච්චර මඩ ගැහුවාද කියලා. මඩ ගැහුවාට කමක් නැහැ හැබැයි ජනතා බදු මුදලින් හදපු ඒවාට අලාභ හානි කරන්න එපා කියන එක තමයි ඉල්ලන්නේ. අපි හිතනවා ශ්‍රී ලංකා ගුවන් හමුදාව අපිත් එක්ක එකඟ වෙලා තියෙනවා මාස 3කට වැඩි කාලයක් මෙතන ගත කරන්න. ඒ වගේම තමයි මෙතන ආරක්ෂක තත්ත්වෙත් අපි දැඩිව ක්‍රියාත්මක කරනවා. CCTV ප්‍රමාණයේ අඩුවක් තියෙනවා අපි ඒ ප්‍රමාණය වැඩි කරන්න බලාපොරොත්තු වෙනවා.”
පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් මධ්‍යම බස් නැවතුම්පොළේ ආරක්ෂාව තර කිරීමට වහාම පියවර ගන්නා බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. ඒ සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි පියවර සහ ආරක්ෂක සැලසුම් පිළිබඳව විශේෂ සාකච්ඡාවක් අද දිනයේ පැවැත්වීමට නියමිතය.
පොදු දේපළ ආරක්ෂා කර ගැනීම මගී ජනතාවගේ ද වගකීමක් වන අතර, මෙවැනි විනාශකාරී ක්‍රියාවන් සිදුකරන පුද්ගලයින් හඳුනාගෙන ඔවුන්ට උපරිම දඬුවම් ලබාදීමට කටයුතු කරන බව අමාත්‍යවරයා සහතික විය.
