හෝමූස් සමුද්‍ර සන්ධිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ යෝජනාවට චීනය සහ රුසියාව විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරයි…

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ක්‍රියාමාර්ග සෑම විටම ගැටුම් අවම කිරීම සහ සමනය කිරීම කෙරෙහි යොමු විය යුතු බවත්, කිසිදු හේතුවක් මත අනවසර හමුදා ක්‍රියාමාර්ග නීත්‍යනුකූල කිරීමට ඉඩ නොදිය යුතු බවත් චීනය අවධාරණය කරයි.

හෝමූස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඉදිරිපත් වූ විශේෂ කෙටුම්පත් යෝජනාවක් පිළිබඳව ඊයේ (7) පැවති ඡන්ද විමසීමෙන් අනතුරුව චීනයේ නිත්‍ය නියෝජිත ෆූ කොං මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.

ආරක්ෂක මණ්ඩලය තුළ බලය අනිසි ලෙස භාවිත කිරීමට ඉඩ දිය නොහැකි බව පෙන්වා දුන් ඒ මහතා, කලාපීය ආතතීන් තවදුරටත් උත්සන්න වන අයුරින් කටයුතු කිරීම ගැටුම් වඩාත් දරුණු වීමට හේතු විය හැකි බවට ද අනතුරු අඟවා තිබේ.

බහරේනය ඇතුළු ගල්ෆ් කලාපීය රටවල් කිහිපයක මූලිකත්වයෙන් ඉදිරිපත් වූ මෙම කෙටුම්පත් යෝජනාවට පක්ෂව ආරක්ෂක මණ්ඩල සාමාජික රටවල් 11 ක් ඡන්දය ප්‍රකාශ කරන ලදී. පකිස්ථානය සහ කොලොම්බියාව ඡන්දය දීමෙන් වැළකී සිටියහ.

කෙසේ වෙතත්, ආරක්ෂක මණ්ඩලයේ ස්ථිර සාමාජිකයන් වන චීනය සහ රුසියාව සිය නිෂේධ බලය භාවිතා කරමින් මෙම යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීම හේතුවෙන් එය සම්මත කර ගැනීමට නොහැකි විය. මෙම රටවල් දෙක ඡන්දය දීමෙන් වැළකී සිටිනු ඇතැයි යන බලාපොරොත්තුවෙන් මෙම කෙටුම්පත කිහිප වතාවක්ම සංශෝධනය කර එහි දැඩි බව ලිහිල් කර තිබුණි.

චීන නියෝජිතයා වැඩිදුරටත් සඳහන් කළේ අදාළ කෙටුම්පත මගින් ගැටුමට තුඩු දී ඇති මූලික හේතු නිසි ලෙස හඳුනාගෙන නොමැති බවයි. මැදපෙරදිග පවතින අර්බුදකාරී වාතාවරණය හමුවේ හමුදා බලය භාවිත කිරීම හෝ ඊට අනුබල දීම වෙනුවට රාජ්‍ය තාන්ත්‍රික විසඳුම් කෙරෙහි අවධානය යොමු කිරීම ජාත්‍යන්තර ප්‍රජාවේ වගකීම බව චීනය පෙන්වා දෙයි.

හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන නාවික ගමනාගමනයට එල්ල වන බාධා සම්බන්ධයෙන් බටහිර රටවල් සහ ගල්ෆ් කලාපීය රටවල් දැඩි කනස්සල්ල පළ කර ඇති පසුබිමක චීනය සහ රුසියාව ගත් මෙම තීරණය ජාත්‍යන්තර දේශපාලන කරළියේ දැඩි කතාබහට ලක්ව තිබේ. මෙම ඡන්ද විමසීම පැවැත්වුණේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ලබා දී තිබූ දැඩි කාලසීමාවක් අවසන් වීමට පැය කිහිපයකට පෙරය. ඉරානය විසින් මෙම උපායමාර්ගික මුහුදු මාර්ගය විවෘත කළ යුතු බවත්, එසේ නොමැති වුවහොත් එරට විදුලි බලාගාර සහ පාලම් වෙත ප්‍රහාර එල්ල කරන බවත් පවසමින් ට්‍රම්ප් විසින් නැගෙනහිර වේලාවෙන් රාත්‍රී 8:00 දක්වා අවසන් කාලසීමාවක් නියම කර තිබුණි.

රුසියාවේ එක්සත් ජාතීන්ගේ තානාපති වසීලි නෙබෙන්සියා (Vassily Nebenzia) සහ චීන තානාපති ෆූ කොං (Fu Cong) යන මහත්වරුන්, මෙම යුද්ධය ආරම්භ කිරීම සහ ගෝලීය අර්බුදයක් දක්වා එය ව්‍යාප්ත කිරීම සම්බන්ධයෙන් අමෙරිකාවට සහ ඊශ්‍රායලයට චෝදනා කළ බව විදෙස් මාධ්‍ය පවසයි. ඔවුන් පසුගිය සතියේ ආරක්ෂක මණ්ඩලය හමුවේ ප්‍රකාශ කළේ, දැනට පවතින වඩාත්ම හදිසි ප්‍රමුඛතාවය විය යුත්තේ මිලිටරි ක්‍රියාමාර්ග වහාම නතර කිරීම බවයි.

හෝමූස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඉදිරිපත් වූ මෙම විශේෂ කෙටුම්පත් යෝජනාව, කලාපීය ගැටුම් මධ්‍යයේ ජාත්‍යන්තර නාවික ගමනාගමනය යථා තත්ත්වයට පත් කිරීම අරමුණු කරගත් එකක් බව පැවසේ.

හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන වාණිජ නාවික මාර්ග භාවිතා කිරීමට කැමැත්තක් දක්වන රටවල් වෙත, ආරක්ෂිත ස්වභාවයේ උත්සාහයන් සම්බන්ධීකරණය කරන ලෙස මෙම යෝජනාව මගින් මූලික වශයෙන් උනන්දු කරවන ලදී.

මෙයට විශේෂයෙන්ම වෙළඳ සහ වාණිජ නැව්වල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අවශ්‍ය ආරක්ෂක යාත්‍රා සැපයීම සහ ජාත්‍යන්තර නාවික ගමනාගමනයට බාධා කිරීමට හෝ අවහිර කිරීමට ගන්නා ඕනෑම උත්සාහයක් වැළැක්වීම ඇතුළත් විය. එසේම, මෙම අරමුණු වෙනුවෙන් ගනු ලබන සෑම ක්‍රියාමාර්ගයක්ම ජාත්‍යන්තර මානුෂීය නීතියට පූර්ණ වශයෙන් අනුකූල විය යුතු බව ද මෙම කෙටුම්පත් යෝජනාව මගින් අවධාරණය කර තිබුණි.

මෙම කෙටුම්පත් යෝජනාව මගින් ඉරාන රජය වෙත සෘජු ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කර තිබූ අතර, එහිදී වෙළඳ සහ වාණිජ නැව්වලට එල්ල කරන සියලුම ප්‍රහාර වහාම නතර කරන ලෙසත්, හෝමූස් සමුද්‍ර සන්ධියේ නිදහස් නාවික ගමනාගමනයට බාධා කිරීම් සිදු නොකරන ලෙසත් අවධාරණය කෙරිණි.

මීට අමතරව, තෙල් සහ ගෑස් පද්ධති, ජල යටිතල පහසුකම් මෙන්ම ලවණ ඉවත් කිරීමේ මධ්‍යස්ථාන ඇතුළු සිවිල් යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් එල්ල කරන ප්‍රහාරයන් ද වහාම නතර කළ යුතු බවට එම යෝජනාව මගින් වැඩිදුරටත් ඉල්ලා තිබුණි.

පවතින තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා මෙම යෝජනාව මගින් ක්‍රියාමාර්ග කිහිපයක් ද යෝජනා වී ඇති බව පැවසේ. ඒ අනුව, මෙම යෝජනාව සම්මත වී දින හතක් ඇතුළත එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා විසින් ආරක්ෂක මණ්ඩලය වෙත ලිඛිත වාර්තාවක් ඉදිරිපත් කළ යුතු අතර, ඉන් අනතුරුව සෑම දින 30 කට වරක්ම සිදුවන ප්‍රහාර හෝ උසිගැන්වීම් පිළිබඳ වාර්තා ලබා දීම ද සිදු කළ යුතුව තිබුණි.

එසේම, මෙහි නීතිමය රාමුව පිළිබඳ කරුණු දක්වමින්, නාවික නිදහසට හානි වන අයුරින් සිදුවන උසිගැන්වීම්වලින් සිය නැව් ආරක්ෂා කර ගැනීමට සාමාජික රටවලට ඇති අයිතිය අවධාරණය කර ඇති අතර, එක්සත් ජාතීන්ගේ මුහුදු නීතිය පිළිබඳ සම්මුතිය (UNCLOS) මෙහිදී යළිත් වරක් තහවුරු කර තිබේ.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading