අල් ජසීරා සහ ඒඑෆ්පී වැනි ජාත්‍යන්තර මාධ්‍ය ආයතන ලංකාව ගැන බොරු කියනවා ‍! ආයෙමත් රාජපක්ෂ හෝ රනිල් පාලනයකට ජනතාවගෙන් ඉඩක් නෑ !! – ඇමති බිමල්

අල් ජසීරා (Al Jazeera) සහ ඒඑෆ්පී (AFP) වැනි ජාත්‍යන්තර මාධ්‍ය ආයතන විසින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය අඩපණ වී ඇති බව පෙන්වීම සඳහා වසා දැමූ ඉන්ධන පිරවුම්හල්වල පැරණි ඡායාරූප යොදාගනිමින් වැරදි මතයක් ගොඩනැගීමට හා සමාජගත කිරීමට උත්සාහ කරන බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක පවසනවා.

සත්‍ය කරුණු හා තොරතුරු මත පදනම් නොවී මෙලෙස අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම පිළිබඳව තමා දැඩි ලෙස කනගාටු වන බව ඊයේ (07) පාර්ලිමේන්තුවේ දී මේ පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කරනු ලැබුවා.

ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ යාම හේතුවෙන්, ඕස්ට්‍රේලියාව වැනි රටවල පවා ඉන්ධන පිරවුම්හල් සිය ගණනින් වසා දමා තිබියදීත් ශ්‍රී ලංකාව තුළ කිසිදු ඉන්ධන පෝලිමක් දක්නට නොලැබෙන බවත්, පිරවුම්හල් වසා දැමීමක් සිදු නොවුණු බවත් අවධාරණය කළ අමාත්‍යවරයා, බදාදා නිවාඩු දිනය අහෝසි කිරීමට හේතුව වූයේ ද තෙල් සැපයුමේ අඛණ්ඩතාවය පිළිබඳ වන විශ්වාසය මත වන බව ද සඳහන් කරනු ලැබුවා.

එහි දී අමාත්‍යවරයා ප්‍රශ්න කළේ, රටේ ආර්ථිකය 5.2% ක වර්ධනයක් අත්කර ගනිමින් පවතින මොහොතක, මෙලෙස සෘණාත්මක චිත්‍රයක් මවන්නට උත්සාහ කරන්නේ කාගේ උවමනාවකට ද යනුවෙනුයි.

කෙසේ නමුත්, අමාත්‍යවරයා මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් පැරණි පාලකයන් නැවත බලයට ගෙන ඒමේ අභිලාෂයක් කිසිවකු තුළ පැවතිය ද එවැනි දෑ මෙම රට තුළ තවදුරටත් සිදු නොවන බව අවධාරණය කරමින් රාජපක්ෂවරුන්ගේ හෝ රනිල් වික්‍රමසිංහගේ පාලන සමයන් දැන් අවසන් වී ඇති බවත්, නැවත එවැනි පාලනයන් ඇති වීමට ජනතාව ඉඩ නොදෙන බවත් සඳහන් කරනු ලැබුවා.

මෙරට ජනතාව මීළඟට ගොඩනගනු ලබන්නේ වත්මන් පාලනයටත් වඩා ප්‍රගතිශීලී උසස් ආණ්ඩුවක් මිස, මීට වඩා නරක ආණ්ඩුවක් නොවන බවයි ඔහු එහි දී අවසාන වශයෙන් අවධාරණය කරනු ලැබුවේ.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading