නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය සිවසුබ්‍රමනියම් රවින්ද්‍රනාත් මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි TMVP නායක සහ හිටපු රාජ්‍ය අමාත්‍ය ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් “පිල්ලෙයාන්”, රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය අද (02) නියෝග කළේය.
මෙම දීර්ඝ කාලය තුළ සිව් වතාවක් ඔහුට රැඳවුම් නියෝග ලබාගෙන තිබූ අතර, අවසන් වරට නිකුත් කළ රැඳවුම් නියෝගය අප්‍රේල් 03 වන දින අවසන් වීමට නියමිතව තිබියදී මෙලෙස අධිකරණ නියෝග මත රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
පිල්ලෙයාන් මීට පෙර ද දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වසර කිහිපයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටියේය. 2005 වසරේ නත්තල් දින මඩකලපුව ශාන්ත මරියා දේවස්ථානයේ පැවති මධ්‍යම රාත්‍රී දේව මෙහෙය අතරතුර පරරාජසිංහම් මහතා වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් පිල්ලෙයාන් 2015 වසරේදී අත්අඩංගුවට ගැනුණි.
නැගෙනහිර විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ලෙස කටයුතු කළ මහාචාර්ය රවින්ද්‍රනාත් මහතා පැහැර ගැනීමට ලක්වූයේ 2006 දෙසැම්බර් මස 15 වනදාය. ඒ මහතා කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි විද්‍යාභිවර්ධන සංගම් (SLAAS) මූලස්ථානයේ පැවති වාර්ෂික සමුළුවකට සහභාගී වී එළියට පැමිණෙමින් සිටියදී, කොළඹ අතිශය ආරක්ෂිත කලාපයක් තුළදී නන්නාඳුනන පිරිසක් විසින් ඔහු පැහැරගනු ලැබීය.
එකල නැගෙනහිර පළාතේ ප්‍රබලව ක්‍රියාත්මක වූ කරුණා අම්මාන් සහ පිල්ලෙයාන් නායකත්වය දුන් (එල්.ටී.ටී.ඊ යෙන් කැඩී ගිය) සන්නද්ධ කණ්ඩායම මෙම පැහැර ගැනීමට සම්බන්ධ බවට මුල සිටම චෝදනා එල්ල විය.
