හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් මහතා සහ පොලිස් කොස්තාපල් ලොකුවැල්ලමුරගේ ලක්ෂ්මන් මහතා ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි විත්තිකරුවන් නිදහස් කරමින් කොළඹ මහාධිකරණයේ විශේෂ ජූරි සභාව ලබාදුන් තීන්දුව අභියාචනාධිකරණය විසින් අද දින අවලංගු කරන ලදී.
මෙම නඩුවට අදාළව අලුතින් නඩු විභාගයක් (Retrial) පවත්වන ලෙසද අභියාචනාධිකරණය නියෝග කළේය.
බී. සසි මහේන්ද්‍රන් සහ අමල් රණරාජා යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී. 2016 වසරේදී කොළඹ මහාධිකරණය මගින් විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කිරීමට එරෙහිව ගරු නීතිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද අභියාචනයක් සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය මෙම තීරණයට එළඹුණි.
නීතිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද ප්‍රධාන තර්කය වූයේ, නඩුවේ ප්‍රධාන සාක්ෂිකරු වූ ප්‍රීති විරාජ් (PW1) නමැති අපරාධ සහායකයාගේ (Accomplice) සාක්ෂිය සම්බන්ධයෙන් මහාධිකරණ විනිසුරුවරයා ජූරි සභාව නිසි ලෙස මෙහෙයවා නොමැති බවයි. මෙම නඩුවේ ප්‍රීතිවිරාජ් යන නමින් හදුන්වා ඇත්තේ මේ වෙද්දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ- මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ බවට සැක කෙරෙන සම්පත් මනම්පේරි වේ.
අපරාධ සහායකයෙකුගේ සාක්ෂියක් ස්වාධීන සාක්ෂි මගින් තහවුරු නොවන්නේ නම්, එය විශ්වාස කිරීමේදී ඇති වන අවදානම පිළිබඳව ජූරි සභාවට නිසි උපදෙස් ලබා දීමට මහාධිකරණ විනිසුරුවරයා අපොහොසත් වී ඇත.
සාක්ෂි ආඥාපනතේ 133 සහ 114(ආ) වගන්ති ප්‍රකාරව සහායකයෙකුගේ සාක්ෂියක විශ්වසනීයත්වය පිළිබඳව දැඩි අවධානයක් යොමු කළ යුතු බව අධිකරණය පෙන්වා දුන්නේය.
නඩු විභාගය අවසානයේ ජූරි සභාවට උපදෙස් දීම රාත්‍රී 8:50 ට ආරම්භ කර ඇති අතර, ජූරි සභාව සිය තීන්දුව ලබා දී ඇත්තේ අලුයම 12:50 ට ය. මෙය අතිශය අසාමාන්‍ය තත්ත්වයක් බව අභියාචනාධිකරණය නිරීක්ෂණය කළේය.
2006 නොවැම්බර් 10 වන දින නාරාහේන්පිටදී නඩරාජා රවිරාජ් මහතා වෙඩි තබා ඝාතනය කරන ලදී. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ විත්තිකරුවන් පස් දෙනෙකුට එරෙහිව චෝදනා ගොනු කර තිබුණි. ප්‍රධාන සාක්ෂිකරු ප්‍රකාශ කළේ දෙවන විත්තිකරු විසින් ටී-56 ගිනි අවියකින් රවිරාජ් මහතා ගමන් කළ රතු පැහැති ජීප් රථයට වෙඩි තැබූ බවයි.
පවතින සාක්ෂි අනුව විත්තිකරුවන්ට එරෙහිව නඩුවක් පවත්වාගෙන යාමට ප්‍රමාණවත් කරුණු ඇති බව නිගමනය කළ අභියාචනාධිකරණය, මහාධිකරණයේ නිදොස් කොට නිදහස් කිරීමේ නියෝගය පසෙක තැබීය. ඒ අනුව, විත්තිකරුවන්ට එරෙහිව කොළඹ මහාධිකරණය ඉදිරියේ අලුතින් නඩු විභාගයක් ආරම්භ කරන ලෙස අභියාචනාධිකරණය නියෝග කර ඇත.
