පසුගිය මාර්තු 24 වනදා ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, 1984 වසරේ සිට ජනාධිපතිවරුන් වෙනුවෙන් වෙන් කර තිබූ මෙම සුඛෝපභෝගී වාට්ටු සංකීර්ණය, රජයේ නව ප්‍රතිපත්තිය යටතේ පොදු මහජනතාවගේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා විවෘත කරන බවයි. මෙතෙක් කිසිදු ජනාධිපතිවරයෙකු පූර්ණ කාලීනව භාවිත නොකළ මෙම කාමරය, රාජ්‍ය සම්පත් ඵලදායී ලෙස භාවිත කිරීමේ පියවරක් ලෙස මහජනතාවට ලබා දෙන ලදී.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු අමාත්‍ය සරත් වීරසේකර පවසා සිටියේ, රජය විසින් අසාධාරණ ලෙස අත්අඩංගුවට ගෙන සිටින බුද්ධි අංශ ප්‍රධානියෙකු වන සුරේෂ් සලේ හට එම පහසුකම් ලබා දී ආණ්ඩුවේ පව් සමනය කර ගත යුතු බවයි.
“ජනාධිපතිතුමා ජයවර්ධනපුර රෝහලේ වෙච්ච ඇඳ ජනතාවට දෙනවා කියලා දැන් ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් අපි යෝජනා කරනවා සුරේෂ් සලේට ඒ ඇඳ දීල, ප්‍රතිකාර කරලා ඔහුව සුවපත් කරන්න. ඒ මොකද, අසාධාරණ ලෙස සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීම තුළින් අත් කර ගත්ත පවු කන්දරාව හෝ සමනය කරගන්න පුළුවන් වෙයි ඒ වගේ දෙයක් කළොත්…” යනුවෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් සරත් වීරසේකර පවසා සිටියා.
කෙසේ වුවද මෙම සිදුවීමත් සමඟ විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් චෝදනා කරන්නේ, රජය ජනප්‍රිය තීරණ ගනිමින් සැබෑ ගැටලු යටපත් කිරීමට උත්සාහ කරන බවයි. විශේෂයෙන්ම ජාතික ආරක්ෂාව වෙනුවෙන් කැපවූ නිලධාරීන් දේශපාලන දඩයමකට ලක් කරමින් සිටින බව සරත් වීරසේකර මහතා ඇතුළු පාර්ශව නිරන්තරයෙන් අවධාරණය කරයි.
සරත් වීරසේකර මහතා වැනි දේශපාලනඥයන් සිදුකරන මෙවැනි ප්‍රකාශ දේශපාලන උපහාසය අලුත් දෙයක් නොවේ. විශේෂයෙන්ම රාජ්‍ය සම්පත් මහජනතාවට විවෘත කිරීම වැනි ප්‍රතිපත්තිමය තීරණ, පුද්ගල කේන්ද්‍රීය සිදුවීම් සමඟ පටලවා මෙවැනි ප්‍රකාශ නිකුත් කිරීම තුළින් පෙනී යන්නේ පවතින විමර්ශන ක්‍රියාවලිය කෙරෙහි ඇති නොසතුටයි. සරත් වීරසේකර දිගින් දිගටම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන නව විමර්ශන සහ බුද්ධි අංශ නිලධාරීන් අත්අඩංගුවට ගැනීම් දැඩි ලෙස විවේචනය කරමින් සිටී.
ඔහු පෙන්වා දෙන්නේ මෙම අත්අඩංගුවට ගැනීම් “දේශපාලන දඩයමක්” සහ ජාතික ආරක්ෂාව අනතුරේ හෙළන ක්‍රියාවක් බවයි. එම නිසා, ඔහු මෙම විමර්ශනවල ස්වාධීනත්වය ප්‍රශ්න කරන අතර, විධිමත් අධිකරණ ක්‍රියාවලියකට වඩා මෙය පළිගැනීමක් ලෙස හුවා දැක්වීමට උත්සාහ කරන බව ඔහුගේ ප්‍රකාශයන්ගෙන් පැහැදිලි වේ. මේ වනාහි සරත් විරසේකරලාගේ දේශපාලනයයි.
