අකුරේගොඩ ද්විත්ව ඝාතනයේ පාතාල සැලසුම්: මල්වානේ ටුටූගේ සහ මෝදර නිපුණගේ යාළුවා පොල්ගස්ඕවිට ඩිලා පාපොච්චාරණයක…

පසුගියදා අකුරේගොඩ ප්‍රදේශයේදී නීතීඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය මුළු රටම කැළඹූ ආන්දෝලනාත්මක සිදුවීමකි. වෘත්තීය නීතීඥවරයෙකු ඉලක්ක කර ගනිමින් එල්ල වූ මෙම ප්‍රහාරය ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ ද දැඩි විරෝධයට ලක්වූ අතර, ඔවුන්ගේ වෘත්තීයබාවය සහ පාතාල ක්‍රියාකාරීන් සමග නීතිඥයන් ගණු දෙනු කරන ආකාරය පිළිබඳව සමාජය තුළ දැඩි කතා බහක් ඇති වී තිබේ.

කෙසේ නමුත් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් දැනට ඇත අඩංගුවට ගෙන පොලීසිය විසින් සිදු කරන ප්‍රශං කිරීම් හමුවේ මේ වන විට ඝාතනයට සම්බන්ධ සුලමුල රැසක් අනාවරණය වෙමින් පවතී.

ඝාතන සිද්ධියට අදාළ විමර්ශන කටයුතු සඳහා පොලිස් කණ්ඩායම් 12ක් යොදවා ඇති අතර, මේ වන විට ප්‍රධාන සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ සමත්ව තිබේ. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචි සනෝජ් කෝකිල ලියනාරච්චි සහ නදුන් කවීෂ ලියනාරච්චි යන සහෝදරයින් දෙදෙනා සහ ඝාතනයට සෘජුවම ආධාර අනුබල දුන් බව කියන “පොල්ගස්ඕවිට ඩිලා” නමැති පුද්ගලයාය. විමර්ශන තොරතුරු වලට අනුව, සිද්ධියට සම්බන්ධ බවට හඳුනාගත් මුළු සැකකරුවන් සංඛ්‍යාව 8ක් පමණ වන අතර, ඉන් තිදෙනෙකු මේ වන විටත් අත්අඩංගුවේ පසුවේ.

තවදුරටත් අත්අඩංගුවට ගැනීමට නියමිත අනෙක් සැකකරුවන් තිදෙනා අතර ප්‍රහාරය එල්ල කළ වෙඩික්කරුවන් සහ ඔවුන්ට මඟ පෙන්වූවන් සිටින අතර, මෙම සමස්ත අපරාධය පිටුපස විදේශගතව සිටින ප්‍රධාන මෙහෙයවන්නන් දෙදෙනෙකු ද සිටින බවට තොරතුරු අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලදී මෙම ඝාතන සැලසුමේ තොරතුරු රැසක් අනාවරණය වී ඇති අතර, එහි ප්‍රධාන මෙහෙයවීම ඩුබායි හි සැඟව සිටින “මල්වානේ ටුටු” සහ “මෝදර නිපුණ” යන පාතාල සාමාජිකයන් විසින් සිදුකර ඇති බව හෙළි වී තිබේ.

ඝාතනය සිදුවූ දින නීතිඥවරයා සහ ඔහුගේ බිරිඳ සුපිරි වෙළඳසැල් රථගාලෙන් පිටතට පැමිණෙන නිශ්චිත මොහොත පිළිබඳව වෙඩික්කරුවන් වෙත ඔත්තු ලබා දී ඇත්තේ “පොල්ගස්ඕවිට ඩිලා” නමැත්තා වන අතර, ඔහු දුරකථනයෙන් “ඔන්න දැන් එනවා” යනුවෙන් ලබා දුන් සංඥාවත් සමඟ වෙඩික්කරුවන් සිය ප්‍රහාරය එල්ල කර ඇති බව පැවසේ.

මේ සඳහා අවශ්‍ය ගිනිඅවි කොටිකාවත්ත ප්‍රදේශයේදී ලබාගෙන, ඒවා කුලී පදනම මත ලබාගත් මෝටර් රථයකින් අකුරේගොඩ වෙත ප්‍රවාහනය කර වෙඩික්කරුවන් අතට පත් කිරීමට රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු ලියනාරච්චි සහෝදරයන් දෙදෙනා සෘජුවම සහාය වී ඇති බව විමර්ශනවලදී තහවුරු වී තිබේ.

පොලිස් විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ, අත්අඩංගුවට ගත් “පොල්ගස්ඕවිට ඩිලා” නමැත්තා වර්තමානයේ ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින ප්‍රබල පාතාල සාමාජිකයන් දෙදෙනෙකු වන “මල්වානේ ටුටු” සහ “මෝදර නිපුණ” යන අයගේ සමීපතම මිතුරෙකු බවයි. මෙම මිතුදම හරහා ඔහු විදේශගතව සිටින එම පාතාල කල්ලි සාමාජිකයන් සමඟ සෘජුව සම්බන්ධ වෙමින් මෙම ඝාතන සැලසුම මෙරට තුළ ක්‍රියාත්මක කිරීමේ ප්‍රධාන සම්බන්ධීකාරකයෙකු ලෙස කටයුතු කර ඇති බවට පොලීසිය සැක කරයි.

සනෝජ් කෝකිල ලියනාරච්චි සහ නදුන් කවීෂ ලියනාරච්චි යන සැකකාර සහෝදරයින් දෙදෙනා ලබන මස 4 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර, ඔවුන් මහේස්ත්‍රාත්වරයා හමුවේ පැයකට අධික කාලයක් රහස් ප්‍රකාශයක් ද ලබා දී ඇත. ඝාතනයට සම්බන්ධ අනෙක් සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.

පසුගිය 2026 පෙබරවාරි 13 වන දින පස්වරු 4:00 ට පමණ අකුරේගොඩ ත්‍රිවිධ හමුදා මූලස්ථානයට මීටර් 600ක් පමණ ආසන්නයේ පිහිටි සුපිරි වෙළඳසැලක රථ ගාලේදී මෙම අමානුෂික ද්විත්ව ඝාතනය සිදුවිය. මෙහිදී ඝාතනයට ලක්වූයේ ගාල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 44 හැවිරිදි නීතීඥ බුද්ධික මල්ලවආරච්චි මහතා සහ ඔහුගේ 42 හැවිරිදි බිරිඳ වන නිසංසලා මහත්මියයි. ඔවුන් දෙදෙනා සිය මෝටර් රථය තුළ සිටියදී මෙම ප්‍රහාරයට ලක්ව ඇති අතර, ඉලක්කගත වෙඩි තැබීමක් ලෙස මෙය සැලසුම් කර තිබූ බව විමර්ශනවලදී තහවුරු වී තිබේ.

මෙම ඝාතනය සඳහා ටී-56 වර්ගයේ ස්වයංක්‍රීය ගිනිඅවියක් භාවිතා කර ඇති අතර, සැකකරුවන් මෝටර් රථයකින් පැමිණ නීතීඥවරයා සහ බිරිඳ ගමන් කළ වාහනයට වෙඩි තබා වහාම එම ස්ථානයෙන් පලා ගොස් ඇත. අපරාධය සිදු කිරීමෙන් අනතුරුව සැකකරුවන් පලා යාමට භාවිතා කළ මෝටර් රථය පසුව ගාල්ල, බද්දේගම ප්‍රදේශයේ දමා ගොස් තිබියදී පොලීසිය විසින් සොයා ගන්නා ලදී. එම වාහනය පරීක්ෂා කිරීමෙන් ලද සාක්ෂි සහ CCTV දර්ශන ඔස්සේ සිදුකළ පුළුල් විමර්ශන මගින් ඝාතනයට සම්බන්ධ සැකකරුවන් කිහිප දෙනෙක් මේ වන විට හඳුනා ගැනීමට හැකිවී තිබේ.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading