නතාෂා එදිරිසූරියගෙන් සීඅයිඩී නිලධාරියා සමාව ඉල්ලයි… අත්අඩංගුවට ගැනීමේ ක්‍රමවේද වෙනස් කර ගැසට් එකක් නිකුත් කිරීමට පොලීසිය එකඟ වෙයි..

සිවිල් ක්‍රියාකාරිනියක සහ ප්‍රහසන ශිල්පිනියක වන නතාෂා එදිරිසූරිය මෙනවිය සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත (ICCPR) යටතේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සයිබර් අපරාධ සහ බුද්ධි විශ්ලේෂණ ඒකකයේ හිටපු ස්ථානාධිපති එම්. එම්. යූ. සුබසිංහ මහතා අද ශ්‍රේෂ්ඨාධිකරණයේදී ඇයට ලිඛිතවම කනගාටුව පළ කළේය.

​එසේම මෙම පනත යටතේ නීති විරෝධී අත්අඩංගුවට ගැනීම් සිදු වීම වැළැක්වීම සඳහා පොලිස්පතිවරයා විසින් සියලුම පොලිස් නිලධාරීන් වෙත චක්‍රලේඛයකින් උපදෙස් මාලාවක් නිකුත් කිරීමට කටයුතු කරන බව වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

​එම චක්‍රලේඛය සති දෙකක් තුළ නිකුත් කරන බවත්, පෙත්සම්කාර නතාෂා එදිරිසූරිය එම මාර්ගෝපදේශ පරීක්ෂා කර බලා ඊට එකඟත්වය පළ කළ බවත් නීතිපති දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේය.

​තමන් නීති විරෝධීව අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් නතාෂා එදිරිසූරිය මෙනවිය ගොනු කළ මූලික අයිතිවාසිකම් නඩුව අද විනිසුරු පී. පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී මෙලෙස කනගාටුව පළ කිරීමත්, පොලිස් චක්‍රලේඛය නිකුත් කිරීම පිළිබඳ දැනුම් දීමත් සිදු විය.

​ඒ අනුව අදාළ පොලිස්පති චක්‍රලේඛය නිකුත් කර සති දෙකක් ඇතුළත මෝසමක් මඟින් අධිකරණයට දැනුම් දෙන ලෙස වගඋත්තරකරුවන්ට නියම කළ අධිකරණය, නඩු කටයුතු අවසන් කිරීමට ද නියෝග කළේය.

නතාෂා එදිරිසූරිය මෙනවිය අද විවෘත අධිකරණය ඉදිරියේ පෙනී සිටි අතර, නඩු කටයුතු මෙලෙස අවසන් කිරීම සම්බන්ධයෙන් අගවිනිසුරු පී. පද්මන් සූරසේන මහතා ඇය අමතමින් සඳහන් කළේ අධිකරණය එය අගය කරන බවයි.

​ලිඛිතව ඉදිරිපත් කළ කනගාටුව පළ කිරීමේ ලිපියේ මෙසේ සඳහන් විය:

“අත්අඩංගුවට ගත් නිලධාරියා ලෙස, සමස්ත තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්, 2023 මැයි මස 27 වන දින සිදු කරන ලද අත්අඩංගුවට ගැනීම සහ ඒ හේතුවෙන් 2023 ජූලි මස 5 වන දින දක්වා ඔබ රක්ෂිත බන්ධනාගාරගතව සිටීම සම්බන්ධයෙන් මම මගේ බලවත් කනගාටුව ප්‍රකාශ කරමි. එමෙන්ම මෙම අත්අඩංගුවට ගැනීම සහ රක්ෂිත බන්ධනාගාරගත කිරීම හේතුවෙන් ඔබගේ කීර්තිනාමයට සහ ගෞරවයට සිදු වූ හානිය මෙන්ම ඔබට ඇති වූ මානසික හා චිත්තවේගීය පීඩාවන් සම්බන්ධයෙන් ද මම මගේ බලවත් කනගාටුව ප්‍රකාශ කර සිටිමි.”

පෙත්සම්කාර නතාශා එදිරිසූරිය ඉදිරිපත් කළ කොන්දේසි අනුව මෙම කණගාටුව පල කිරීම සහ චක්‍රලේඛ යොමු කිරීම සිදු විය.

කොළඹ ප්‍රමුඛ පෙළේ පාසලක පැවැති ‘මොඩභිමානය’ නම් ප්‍රහසන වැඩසටහනකදී ඇය විසින් සිදුකළ ප්‍රකාශ ඇතුළත් වීඩියෝවක් සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වීමත් සමඟ මෙම මතභේදාත්මක තත්ත්වය නිර්මාණය විය. එහිදී බුදුදහමට සහ සිද්ධාර්ථ කුමාරෝත්පත්තියට අපහාස වන අයුරින් අදහස් දක්වා ඇති බවට එල්ල වූ පැමිණිලි මත විමර්ශන ආරම්භ කෙරිණි.

සැකකාරිය 2023 මැයි 28 අලුයම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ හරහා සිංගප්පූරුව බලා පිටත්ව යාමට සූදානම් වූ අවස්ථාවේදී ගුවන්තොටුපොළ පොලිසිය සහ CID නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී. බුදුදහමට සහ ආගමික හැඟීම්වලට අපහාස වන අයුරින් ප්‍රකාශ සිදුකළ බවට චෝදනා ලැබූ ප්‍රහසන ශිල්පී නතාෂා එදිරිසූරිය ලබන ජුනි මස 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය 2023 මැයි 28 නියෝග කළේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සයිබර් අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගත් සැකකාරිය කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කරන ලදී.

බුදුදහමට අපහාස වන අයුරින් ප්‍රකාශ සිදුකළ බවට චෝදනා ලබා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ප්‍රහසන ශිල්පිනී නතාෂා එදිරිසූරිය, 2023 ජූලි මස 05 වනදා කොළඹ මහාධිකරණය විසින් රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හැරීමට නියෝග කළේය. මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා මෙම නියෝගය නිකුත් කළේ ඇය වෙනුවෙන් ඉදිරිපත් කළ ඇප පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව වන අතර, නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයාද ඇප ලබාදීමට විරුද්ධ නොවන බව එහිදී ප්‍රකාශ කර සිටියේය.

ඇය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා අධිකරණයට දන්වා සිටියේ, “මෝඩාභිමානය” වැඩසටහනේදී ඇය කළ ප්‍රකාශය තුළින් බුදුදහමට අපහාස කිරීමේ චේතනාවක් නොවූ බවත්, කිසියම් පිරිසකගේ සිත් රිදීමක් වූයේ නම් ඒ පිළිබඳව ඇය සමාව අයැද සිටින බවත්ය.

කෙසේ වෙතත්, පැමිණිල්ල පාර්ශවයෙන් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා පෙන්වා දුන්නේ ඇයගේ ප්‍රකාශ අසභ්‍ය මෙන්ම ද්වේශ සහගත බවත්, එවැනි වීඩියෝ මගින් ඇය විශාල මුදලක් උපයාගෙන ඇති බවත්ය.

නඩුව විභාගයට ගත් අවස්ථාවේදී මහාධිකරණ විනිසුරුවරයා විසින් යූටියුබ් වීඩියෝ මගින් මුදල් ඉපයීම නීතිවිරෝධී නොවන බව අවධාරණය කරන ලදී. තවද, යම් ප්‍රකාශයකින් පුද්ගලයන්ගේ සිත් රිදවීමක් වූ පමණින් එය වෛරී ප්‍රකාශයක් ලෙස හැඳින්විය නොහැකි බවත්, විද්‍යාව විශ්වාස කරන පුද්ගලයන්ට ආගමික කරුණු ප්‍රශ්න කිරීමට අයිතියක් ඇති බවත් විනිසුරුවරයා පෙන්වා දුන්නේය. බුදුදහමට අනුව පවා ඕනෑම දෙයක් විමසා බලා පිළිගැනීමේ නිදහස ඇති බව ඔහු මෙහිදී සිහිපත් කළේය.

එක්සත් ජාතීන්ගේ ICCPR පනත මෙරටට හඳුන්වා දුන්නේ මානව හිමිකම් තත්ත්වය වර්ධනය කිරීමට මිස පුද්ගලයන් මර්දනය කිරීමට නොවන බව විනිසුරුවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

යම් බලවත් පුද්ගලයෙක් හෝ භික්ෂූන් වහන්සේ නමක් පැමිණිලි කළ පමණින් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම ICCPR පනතේ මූලික අරමුණුවලට පටහැනි බවත්, ජාත්‍යන්තර නිර්ණායක අනුව වෛරී ප්‍රකාශ යන්න අර්ථකථනය කළ යුතු බවත් ඔහු පැහැදිලි කළේය.

අවසානයේදී විනිසුරුවරයා තීන්දු කළේ නතාෂා එදිරිසූරියගේ ප්‍රකාශය නිසා මහජන කැළඹීමක් ඇති වූ බවට සාක්ෂි බී වාර්තාවේ ඇතුළත් නොවන බැවින්, ඇයව තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අවශ්‍ය නොවන බවයි. ඒ අනුව ඇයව ඇප මත මුදා හැරීමට නියෝග කරන ලදී.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන සිටින නතාෂා එදිරිසූරියට එරෙහිව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති (ICCPR) පනත යටතේ කරුණු වාර්තා නොකරන ලෙස ඉල්ලමින් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ද පොලිස්පතිවරයා වෙත ලිපියක් යවනු ලැබුවා. මෑත කාලීනව ශ්‍රී ලංකා පොලිසිය මෙම පනත භාවිත කරනු ලබන්නේ පුද්ගලයන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සීමා කිරීම සඳහා බවත්, එය පනතේ මූලික අරමුණුවලට පටහැනි බවත් එම සංගමය සිය ලිපිය මගින් අවධාරණය කර ඇත.

එම ලිපිය මගින් ඔවුන් වැඩිදුරටත් පෙන්වා දී සිටියේ, ICCPR සම්මුතියේ 20 වැනි වගන්තියේ සඳහන් වන කරුණු සලකා බැලිය යුත්තේ එම සම්මුතියේම 19 වැනි වගන්තියෙන් තහවුරු කර ඇති අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට අනුකූලව බවයි. ආගමික වෛරය පැතිරවීම වැළැක්වීමට අදාළ විධිවිධාන අත්තනෝමතික ලෙස භාවිත කරමින් පුද්ගල නිදහස අහුරා දැමීම වෙනුවට, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරක්ෂිත වන පරිදි නීතිය ක්‍රියාත්මක කළ යුතු බව තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය මෙමගින් ඉල්ලා සිටියා.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading