ව්‍යාජ හැඳුනුම්පත්වලින් බැංකු ගිණුම් 08ක්… නීතිඥ තමරා අබේරත්න ගැන CIDයෙන් අධිකරණයට කරුණු දන්වයි…

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට ආධාර අනුබල දීමේ චෝදනාව මත රඳවාගෙන සිටින නීතිඥ තමරා අබේරත්න සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (19) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට විශේෂ කරුණු වාර්තා කර තිබේ.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම හමුවේ කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසා ඇත්තේ, මෙම සැකකාර නීතිඥවරිය ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර සකස් කළ ගිණුම් හරහා විශාල වශයෙන් මුදල් ගණුදෙනු සිදු කර ඇති බවයි.

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින නීතිඥ තමරා අබේරත්න විසින් ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර ආරම්භ කළ බැංකු ගිණුම් අටක් (08) පිළිබඳව විමර්ශන පවත්වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.

වැඩිදුර කරුණු දක්වමින් පොලිසිය සඳහන් කර ඇත්තේ, මෙම බැංකු ගිණුම් විවෘත කිරීම සඳහා සැකකාර නීතිඥවරිය විසින් ව්‍යාජ ජාතික හැඳුනුම්පත් සහ වෙනත් ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර ඇති බවයි. මෙම ගිණුම් හරහා මහා පරිමාණයෙන් මුදල් හුවමාරු වී ඇති බවට තොරතුරු ලැබී ඇති අතර, සංවිධානාත්මක අපරාධවලින් උපයාගත් මුදල් මෙලෙස හුවමාරු වී ඇත්ද යන්න පිළිබඳව මේ වන විට පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව ද පැවසේ.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා, මෙම බැංකු ගිණුම්වල සිදුව ඇති ගනුදෙනු සහ ව්‍යාජ ලේඛන සකස් කිරීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවල ප්‍රගතිය මීළඟ නඩු වාරයේදී අධිකරණයට වාර්තා කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත.

දැනට රැඳවුම් නියෝග මත සිටින සැකකාරිය සම්බන්ධයෙන් පවත්වන මෙම විමර්ශනය ගණේමුල්ල සංජීව ඝාතන කුමන්ත්‍රණයේ තවත් තීරණාත්මක තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට ඉවහල් වනු ඇතැයි පොලිසිය විශ්වාසය පළ කරයි.

නීතිඥ තමරා අබේරත්න දැනට රඳවා තබා ගැනීමේ නියෝග මත පසුවන අතර, ඇයට එරෙහිව ඇති ප්‍රධාන චෝදනාව වන්නේ ගණේමුල්ල සංජීව ඝාතනය කිරීමට පැමිණි වෙඩික්කරුට නීතිඥයෙකු ලෙස පෙනී සිටීමට අවශ්‍ය පහසුකම් සැලසීමයි.

මීට පෙර පැවති නඩු වාරවලදී CIDය අනාවරණය කළේ, වෙඩික්කරුට නීති ක්ෂේත්‍රයේ අයෙකු බව ඒත්තු ගැන්වීමට අවශ්‍ය ටයි පටි, නීති පොත් සහ නීතිඥ නිල ලාංඡන සහිත ස්ටිකර් පවා ඇය විසින් සපයා ඇති බවයි. එසේම ඇයගේ නමින් තිබූ කෝටි දෙකහමාරක් පමණ වටිනා සුඛෝපභෝගී මෝටර් රථයක්ද මීට පෙර පොලිස් භාරයට ගැනුණි.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading