ලංකා සීනි පුද්ගලික සමාගමේ සභාපති නීතිඥ සඳමාලි චන්ද්‍රසේකර එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව ලංකා සීනි සමාගමේ සභාපතිවරයා ලෙස පත් කරන ලද රුක්ෂාන් ගුණතිලක කෙටි කලකින් එම ධූරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ නීතිඥ සඳමාලි චන්ද්‍රසේකර එම ධුරය සඳහා පත් කිරීමට කටයුතු කරනු ලැබුවා.
ඒ අනුව විෂය භාර අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති වෙත ලිඛිතව මෙම ඉල්ලා අස්වීම ඇය විසින් දන්වා ඇති අතර, ඇය එහි දී සඳහන් කර ඇත්තේ, පාඩු ලබන, රාජ්‍ය හිමිකාරීත්වය දරන ලංකා සීනි සමාගම දැඩි පාලනය සහ මූල්‍ය නියාමනය යටතේ පාලනය වන බැවින් වගවීම සහ පාලනය සහතික කිරීම අවශ්‍ය වන බවත්, එවැනි තත්ත්වයක් තුළ බාහිර ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්වීමට අනිවාර්ය සීමා පනවා ඇති බවත් ය.
තව ද තම සේවා කාලය තුළ අදාළ සීමා, චක්‍රලේඛ, රෙගුලාසි සහ නීතිමය ක්‍රියා පටිපාටිය උල්ලංඝනය වන ඉල්ලීම් රැසක් ලැබුණ බව සඳහන් කරමින්, අධ්‍යක්ෂ මණ්ඩලය, ප්‍රධාන විධායක නිලධාරී මෙන්ම තමන් ද අදාළ නීතිමය බැඳීම්වලට තදින් ම බැඳී සිටි බැවින් එම ඉල්ලීම් ඉටු කිරීමට නොහැකි වූ බවත් එම ලිපිය මඟින් පෙන්වා දී තිබෙනවා.
තමන් ඇතුළු ආයතන ප්‍රධානීන් දරන ලද එම ස්ථාවරය ඇතැම් ප්‍රාදේශීය දේශපාලඥනයන් සමග ගැටුම් ඇති කර ගැනීමට හේතුවක් වූ බව සඳහන් කරමින්, එවැනි පුද්ගලයන්ට ආයතන පද්ධතියේ නීති රාමුව පැහැදිලි කිරීමට දරන ලද උත්සාහයන් අසාර්ථක වූ බව ද සිය ඉල්ලා අස්වීමේ ලිපියේ අවධාරණය කර තිබෙනවා.
මෙම තත්ත්වයන් යටතේ, ආයතනයේ යහපත වෙනුවෙන් කටයුතු කිරීමට අපහසුවීම හේතුවෙන් වෘත්තීය ආචාර ධර්මවලට අනුකූලව තනතුරෙන් ඉල්ලා අස්වන බවයි ඇය එම ලිපිය මඟින් වැඩිදුරටත් පෙන්වා දී අුැත්තේ.
කෙසේ නමුත් හේ සම්බන්ධයෙන් බීබීසී සිංහල වෙබ් අඩවිය අමාත්‍යවරයාගෙන් විමසීමක් කර ඇති අතර, එහි දී අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ, ආයතන ගණනාවක ම සභාපති ධූරයන් හි වෙනස්කම් කීපයක් සිදු කරන බවත්, මෙය ද එවැනි ආකාරයෙන් සිදු කළ වෙනස්කමක් වන බවත් ය.
අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, සභාපතිනිය ඇතුළු පිරිසට එල්ල වී තිබෙන දේශපාලන බලපෑම් සම්බන්ධයෙන් තමා දැනුවත් නොමැති බවත්, නීතිඥ සඳමාලි චන්ද්‍රෙස්ක ලංකා සීනි සමාගමේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වීමට එවන ලද ඉල්ලා අස්වීමේ ලිපිය ලැබුණ බවත් ය.
