පසුගියදා ජින්තුපිටිය ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය වැළැක්වීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පොලිස් සැරයන්වරයා සහ කොස්තාපල්වරයා ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඕෂද මිගාර මහරච්චි මහතා විසින් මෙම නියෝගය නිකුත් කරන ලද අතර, ඒ අනුව සැකකාර නිලධාරීන් දෙදෙනා රුපියල් ලක්ෂ තුන බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට තීරණය කර ඇත.
කොළඹ උතුර අපරාධ විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් විසින් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු දක්වා සිටි අතර, එහිදී පොලිසිය සිය බී වාර්තාව මගින් ඉල්ලා ඇත්තේ පොලිස් දෙපාර්තමේන්තුවේ කීර්ති නාමය ආරක්ෂා කිරීම සඳහාත්, සෙසු නිලධාරීන්ට ආදර්ශයක් සැපයීම සඳහාත් මෙම සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි. නමුත් එවැනි නියෝග නිකුත් කිරීමට ඇප පනත යටතේ ප්‍රතිපාදන නොමැති බව ඇප නියෝගය ප්‍රකාශයට පත් කරමින් කොළඹ අතිරේක මහේෂ්ත්‍රාත් ඕෂද මිගාර මහරච්චි මහතා ප්‍රකාශ කර තිබේ.
වෙඩි තැබීම සිදුවන අවස්ථාවේදී මොවුන් ජංගම මුර සේවාවේ නිරතව සිටි බව පෙන්වා දුන් පොලිසිය, මොවුන් අදාළ අපරාධයට කිසියම් ආකාරයකින් ආධාර අනුබල දීමක් සිදු කර තිබේද යන්න පිළිබඳව වැඩිදුර විමර්ශන පවත්වන බවත් සඳහන් කර ඇත.
එබැවින් මෙම සැකකරුවන්ට ඇප ලබා දීමට විරුද්ධ වන බව ප්‍රකාශ කළ පොලිසිය, විමර්ශන කටයුතු සඳහා ඔවුන්ගේ දුරකථන ඇමතුම් විස්තර වාර්තා ලබා ගැනීමට අවශ්‍ය බැවින් ඒ සඳහා සුදුසු නියෝගයක් නිකුත් කරන ලෙසද අධිකරණයෙන් ඉල්ලා තිබේ.
පොලිසිය විසින් සිය සේවාදායකයන්ට එල්ල කරන චෝදනා අපැහැදිලි බවත්, අපරාධයකට ආධාර අනුබල දීමක් සිදු කළ බවට චෝදනා කිරීමට නම් ඔවුන්ට ඒ පිළිබඳ පූර්ව දැනුමක් තිබිය යුතු වුවද පොලිසිය එවැනි කරුණක් මෙතෙක් තහවුරු කර නොමැති බවත්, සැකකාර නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටි ඇත.
පසුගියදා අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළ වෙඩි තැබීමක් සිදු වූ අවස්ථාවේදී පොලිස් නිලධාරීන් දහසකට අධික පිරිසක් සහ විශේෂ කාර්ය බලකා නිලධාරීන් එහි සිටි බව පෙන්වා දුන් නීතිඥවරුන්, පොලිසිය පවසන පරිදි ක්‍රියා කරන්නේ නම් ඒ සියලු දෙනාද අත්අඩංගුවට ගත යුතු බව අවධාරණය කළහ.
ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට තරම් ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් වී නොමැති බව තීරණය කරමින් ඔවුන් ඇප මත මුදා හැරීමට නියෝග කර ඇති අතර, විමර්ශනවල ප්‍රගතිය විමසීම සඳහා පැමිණිල්ල ලබන අප්‍රේල් මස 27 වනදා යළි කැඳවීමට නියම කර තිබේ.
