ජනාධිපතිවරයා ඉන්දියාවට… මානව වර්ගයාගේ යහපත උදෙසා කෘත්‍රිම බුද්ධිය…

මානව වර්ගයාගේ යහපත සහ තිරසාර සංවර්ධනය උදෙසා කෘත්‍රිම බුද්ධිය (AI) ප්‍රශස්ත ලෙස භාවිත කිරීමේ අරමුණින් සංවිධානය කර ඇති “India–AI Impact Summit 2026” සුවිශේෂී ලෝක සමුළුව අද (16) ඉන්දියාවේ නවදිල්ලි අගනුවර පිහිටි භාරත් මණ්ඩපම් හිදී උත්කර්ෂවත් ලෙස ආරම්භ විය.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සමුළුව සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද විශේෂ ආරාධිතයෙකු ලෙස සහභාගී වීමට නියමිතය.

දින පහක් පුරා පැවැත්වීමට නියමිත මෙම සමුළුව පෙබරවාරි 20 වනදා දක්වා පැවැත්වෙන අතර, එය ප්‍රධාන වශයෙන් “මිනිසුන්, පෘථිවිය සහ ප්‍රගතිය” යන තේමාවන් තුන මත පදනම් වී ඇත. සංවර්ධනය වෙමින් පවතින රටවල පැවැත්වෙන පළමු ප්‍රධාන පෙළේ කෘත්‍රිම බුද්ධි සමුළුව මෙය වීම විශේෂත්වයකි.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ ඇරයුමකට අනුව සංවිධානය කර ඇති මෙම සුවිශේෂී සමුළුව සඳහා ලොව පුරා රටවල් 20කට අධික සංඛ්‍යාවක රාජ්‍ය නායකයින් සහභාගී වීමට නියමිත අතර, ඒ අතර බ්‍රසීල ජනාධිපති ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා, ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි ඔටුන්න හිමි කුමරු වන ෂෙයික් කලීඩ් බින් මොහොමඩ් බින් සයීඩ් අල් නහියෑන් වැනි ප්‍රබල නායකයෝ ප්‍රමුඛත්වය ගනිති.

මීට අමතරව, එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ඇතුළු ජාත්‍යන්තර සංවිධාන නියෝජිතයින් ද, රටවල් 45කට අධික සංඛ්‍යාවක අමාත්‍යවරුන්, තාක්ෂණික ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සහ සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් විශාල පිරිසක් ද මානව වර්ගයාගේ යහපත උදෙසා කෘත්‍රිම බුද්ධිය භාවිත කිරීමේ මෙම ගෝලීය ප්‍රයත්නයට එක්වීමට නියමිතය.

සමුළුව පුරා ක්‍රියාත්මක වන සැසිවාරවලදී සෞඛ්‍ය, බලශක්තිය, අධ්‍යාපනය, කෘෂිකර්මාන්තය සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය සවිබල ගැන්වීම වැනි ක්ෂේත්‍රයන්හි කෘත්‍රිම බුද්ධිය අනුගත කළ හැකි ආකාරය පිළිබඳව අවධානය යොමු කෙරෙනු ඇත. විශේෂයෙන්ම AI තාක්ෂණය මගින් මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සහ ආර්ථික වර්ධනය වේගවත් කිරීම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරෙනු ඇත.

මෙම සමුළුව අවසානයේදී කෘත්‍රිම බුද්ධිය වගකීම් සහගතව සහ ආරක්ෂිතව භාවිත කිරීම සම්බන්ධයෙන් වන “නවදිල්ලි ප්‍රකාශනය” නිකුත් කිරීමට ද සැලසුම් කර ඇති බව පැවසේ.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading