මධ්‍යම අධිවේගී මාර්යේ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටසේ අවසාන අධියර වූ මදිටියාවල සහ කුරුණෑගල අතර ඉදිකිරීමේ දී වන්දි ලබා දීමේ කටයුතුවල දී සිදුවූ බව කියන බරපතල වංචා හා ගැටළු ගැන සොයා බැලීම සඳහා විශ්‍රාමික විනිසුරුවරයකුගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත් කිරීමට කටයුතු කරන බව මහාමාර්ග අමාත්‍යංශ ලේකම් කපිල සී. කේ පෙරේරා අද (10) එම ප්‍රදේශවාසීන්ගේ නියෝජිතයන්ට දැනුම් දෙනු ලැබුවා.
අදාල වන්දි නොගෙවීම සහ ප්‍රමාණවත් නොවන ලෙස වන්දි ගෙවීම සම්බන්ධයෙන් මහාමාර්ග අමාත්‍යංශයේදී අද පැවැති රැස්වීමකදී ප්‍රදේශවාසීන් පෙන්වා දුන් කරුණු සැලකිල්ලට ගනිමින් ලේකම්වරයා මේ බව සඳහන් කළ අතර, එහි දී මීට පෙර ද අමාත්‍යංශ ලේකම්ව සිටි මායාදුන්න මහතා විසින් මේ පිළිබඳව සොයා බැලීමට කමිටුවක් පත් කළ බවත්, පසුගිය රජය සමයේ එම කමිටු වාර්තාව නිලධාරීන් විසින් යටපත් කළ බවත්, වසර ගණනක් තිස්සේ තමන් දැඩි පීඩාවකින් සිටින බවත් ප්‍රදේශවාසීහු පෙන්වා දෙනු ලැබුවා.
ප්‍රදේශවාසීන් වෙනුවෙන් අදහස් දැක්වූ සංජීව කුලතිලක ප්‍රකාශ කළේ අදාල කොටසේ කිසිම වන්දියක් නොලැබුණු නිවාස 152ක් තිබෙන බවත්, ප්‍රමාණවත් වන්දි මුදලක් ලබා නොදී විනිවිද බවකින් තොරව වන්දි ගෙවූ නිවාස 254ක් තිබෙන බවත්, ඊට අදාළ ලේඛන මානව හිමිකම් කොමිසමට සහ මාර්ග සංවර්ධන අධිකාරියට ලබා දුන් නමුත්, නිලධාරීන් එම තොරතුරු යටපත් කර ඇති බවත් ය.
ඒ අනුව එහි දී වන්දි ගෙවීමේ දී වංචා සිදුවීමට අදාලව සාක්ෂි ලෙස ලේඛන ද ප්‍රදේශවාසීන් විසින් එහි දී ඉදිරිපත් කරනු ලැබුවා.
මෙම අවස්ථාවේ දී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අමාත්‍යංශ ලේකම්වරයා අදාල කොටසේ නිවාස 33ක් ද ඇතුළුව සමස්ථ නිවාස 80ක් ගොඩනැගිලි පර්යේෂණ ඒකකය ලවා පරීක්ෂා කර වන්දි ලබා දෙන බව සඳහන් කළ අතර, අද දින බරලතල ගැටලු පෙන්වා දුන් කොටස සම්බන්ධයෙන් සොයා බැලීමට මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක සමඟ සාකච්ඡා කර විශ්‍රාමික විනිසුරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට කටයුතු කරන බව ද වැඩිදුරටත් සඳහන් කරනු ලැබුවා.
මෙම අවස්ථාව සඳහා කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මප්‍රිය දිසානායක, මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති ඇතුළු පිරිසක් සහභාගි වී සිටියා.
