උදිත ලොකුබණ්ඩාරගේ මල්ලේ තිබූ ගිනි අවිය අත්අඩංගුවට ! බලපත්‍ර නැති ගිනි අවියක් බව පොලිසිය කියයි !

පසුගිය දා නුගේගොඩ දී පැවති විපක්ෂයේ විරෝධතා රැලියේ දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පෞද්ගලික ලේකම්වරයකුව සිටි උදිත ලොකුබණ්ඩාර වේදිකාව මත ගමන් මල්ලක් තුළ සඟවා ගෙන සිටි පිස්තෝලය නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ පිළිබඳ සඳහන් කරමින් දිවයින පුවත්පත වාර්තා කරන්නේ එම අත්අඩංගුවට ගැනිම පසුගිය අඟහරුවාදා (25) දින සිදු කර ඇති බවයි.

ඒ අනුව විශාල ජනකායක් රැස්ව සිටි ස්ථානයක වේදිකාවක් මත පිස්තෝලයක් සඟවාගෙන සිටීම සම්බන්ධයෙන් එල්ල වී තිබෙන චෝදනාව මත උදිත ලොකුබණ්ඩාරගෙන් පොලිසිය පෙරේදා ප්‍රශ්න කර ප්‍රකාශයක් ද ලබා ගෙන ඇති අතර, කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ පිහිටි ඔහුට අයත් නිවසේ දී මෙම ගිනි අවිය අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව හා එම ගිනි අවිය අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඊට බලපත්‍රයක් නොතිබූ බවයි පොලිසිය සඳහන් කරන්නේ.

කෙසේ නමුත්, මීට පෙර උදිත ලොකුබණ්ඩාර සතුව ලියාපදිංචි පිස්තෝලයක් සහ රිවෝල්වරයක් තිබී ඇති අතර එම අවි දෙකම ලියාපදිංචි පිස්තෝල සහ ගිනිඅවි ආරක්ෂක අමාත්‍යාංශය වෙත භාරදෙන ලෙස කර තිබූ නියෝගය අනුව ආරක්ෂක අමාත්‍යාංශය වෙත භාරදීමටයි කටයුතු කර තිබුණේ.

මෙහි දී ආරක්ෂක අමාත්‍යාංශය විසින් එසේ භාරදුන් ගිනිඅවි දෙකෙන් එකක් මීට මාසයකට පමණ පෙර උදිත ලොකුබණ්ඩාර වෙත ආපසු භාරදී ඇති අතර, ගිනි අවිය භාර ගැනීමෙන් පසුව ඊට අවශ්‍ය ලියාපදිංචි බලපත්‍රය ලබා ගැනීමට කටයුතු කරන ලෙසයි ඔහුට දැනුම් දීමට කටයුතු කර ඇත්තේ.

නමුත්, උදිත ලොකුබණ්ඩාර නුගේගොඩ රැලියට සහභාගි වන අවස්ථාව වනවිටත් මෙම අවිය සඳහා වාර්ෂික බලපත්‍රය ලබාගෙන තිබී නොමැති අතර, මේ සම්බන්ධයෙන් විමර්ශනයක් පොලිසිය විසින් ආරම්භ කර ඇති බවත්, එම විමර්ශනයෙන් පසුව උදිත ලොකුබණ්ඩාරට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවත්, උසස් පොලිස් නිලධාරියෙක් පැවසු බවයි දිවයින පුවත්පත වැඩිදුරටත් වාර්තා කර සිටින්නේ.

විපක්ෂයේ පක්ෂ කීපයක් විසින් නුගේගොඩදී පවත්වන ලද විරෝධතා රැස්වීමේ දී නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ජනතාව අමතමින් සිටි අවස්ථාවේ ඔහු අසලින් සිටි උදිත ලොකුබණ්ඩාර සිය ගමන් මල්ල තුල පිස්තෝලයක් සඟවාගෙන සිටින ආකාරය ඡායාරූපවල මෙන්ම වෙබ් අඩවිවල ද පළ වී තිබූ අතර, මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය උදිත ලොකුබණ්ඩාර සඟවාගෙන සිටියේ පිස්තෝලයක් බව හෙළිකර ගෙන තිබුණා.

ඒ අනුව මේ සම්බන්ධයෙන් උදිත ලොකුබණ්ඩාර නුගේගොඩ කොට්ඨාස අපරාධ ඒකකය වෙත කැඳවා ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුවයි මෙලෙස එම පිස්තෝලය අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙන්නේ.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading