ලෝක බැංකුවේ දකුණු ආසියා උප සභාපතිගෙන් ජනපතිට ප්‍රසංශා ! ලංකාවට අත දෙන්න ලෑස්ති බවත් කියයි !!

ලෝක බැංකුවේ දකුණු ආසියාව සඳහා වන උප සභාපති ජොහැන්නස් සූට් (Johannes Zutt ) ඊයේ සිය පළමු ශ්‍රී ලංකා නිල සංචාරය අවසන් කරනු ලැබුවා.

ඔහුගේ මෙම දෙදින සංචාරයේ දී  ජනාධිපති අනුර කුමාර දිසානායක, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම ඇතුළු මෙරට ආර්ථික ක්ෂේත්‍රයන්හි අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හමුවී සාකච්ඡා පැවැත්වීමට කටයුතු කර තිබුණා.

කෙසේ නමුත්, මැයි මාසයේ දී සිදු වූ ලෝක බැංකු සමූහයේ සභාපති අජේ බංගාගේ ශ්‍රී ලංකා සංචාරය හේතුවෙන් මෙසේ සූට් ගේ සංචාරයට ද පදනම වැටී ඇති අතර, එහි දී ඉදිරි වසර තුන ඇතුළත ලෝක බැංකුව හරහා ශ්‍රී ලංකාවට  ඩොලර් බිලියන 1 කට වැඩි මූල්‍ය පහසුකම් ලබා දීමටයි එහි දී ලෝක බැංකු සමූහය විසින් එකඟ වී ඇත්තේ.

බංගාගේ සංචාරයෙන් අනතුරුව ලෝක බැංකු සමූහය සහ ශ්‍රී ලංකාව ගිගාවොට් 1 ක බලශක්ති ඉලක්කයක් සහිත ඉලක්ක කරගත් පුනර්ජනනීය බලශක්ති වැඩසටහනක් සහ කෘෂිකාර්මික ව්‍යාපෘතියක් සඳහා ගිවිසුම්ගත වී ඇති අතර,  ඉදිරි අවුරුද්දක කාලය තුළ සංචාරක ව්‍යාපාරය, උතුරු හා නැගෙනහිර පළාත් කෙරෙහි වැඩි අවධානය යොමු කරමින් සිදු කරනු ලබන කලාපීය සංවර්ධනය, ඩිජිටල් සංවර්ධන කටයුතු මෙන්ම වරාය සහ සැපයුම් කටයුතු සඳහා අමතර මෙහෙයුම් ද සැලසුම් කර ඇති අතර, සූට් ගේ මෙම සංචාරය ඒ අතර කාලයේ දී සිදු වීම විශේෂත්වයක්.

මෙම සංචාරයේ දී උප සභාපතිවරයා ශ්‍රී ලංකාව දුෂ්කර කැපවීමකින් අනතුරුව ලබාගත් ආර්ථික ස්ථාවරත්වය සඳහා ජනාධිපතිවරයා වෙත දැඩි ලෙස ප්‍රසංශා කළ අතර, නව රැකියා අවස්ථා නිර්මාණය කිරීම, පෞද්ගලික ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීම සහ රජයේ ප්‍රධාන අංශ නවීකරණය කිරීම සඳහා රජය වෙත තම සහය දැක්වීමට ද එකඟ වනු ලැබුවා.

ශ්‍රී ලංකාවට පැමිණ ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවීම හා ඔහුගේ රජය විසින් ආර්ථික උදෙසා සඳහා ක්‍රියාත්මක කරනු ලබන ප්‍රතිපත්ති සම්බන්ධයෙන් අධ්‍යනය කිරීමට ලැබීම සම්බන්ධයෙන් තමා සතුටට පත්වන බව පැවසූ උප සභාපතිවරයා,  රජය මෙරට ආර්ථිකය නැවත ප්‍රකෘතිමත් තත්ත්වයට පැමිණවීම සඳහා අඩිතාලම දමා ඇති බවත්,  රැකියා, ආයෝජන සහ රට තුළ සංවර්ධන කටයුතු සඳහා  අවධානය යොමු කිරීමට දැන් කාලය එළඹ ඇති බවත් සඳහන් කර සිටියා.

ඉදිරි දශකය තුළ ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකායට තරුණයින් මිලියනයකට ආසන්න සංඛ්‍යාවක් ඇතුළත් වනු ඇතැයි අපේක්ෂා කළත්, නව රැකියා 300,000 ක් පමණක් දැනට නිර්මාණය වනු ඇති බව පුරෝකථනය කර ඇති බැවින්,  රැකියා නිර්මාණය සඳහා පෞද්ගලික අංශයේ ව්‍යාපාර වර්ධනය අත්‍යවශ්‍ය වනු ඇති බවයි සූට් අවධාරණය කරනු ලැබුවේ.  

පෞද්ගලික ව්‍යවසායකයන්ගේ ප්‍රාග්ධනය රජය වෙත ආකර්ෂණය කර ගැනීම, ශක්තිමත් වෙළඳපොළ තරඟයක් ඇති කිරීම හා රට පුරා සේවා සැපයීම මෙන්ම රැකියා අවස්ථා පුළුල් කිරීම සඳහා ලෝක බැංකු සමූහය රජය සමඟ හවුලේ කටයුතු කිරීමට සූදානම් බවයි සූට් වැඩිදුරටත් සඳහන් කරනු ලැබුවේ.  

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading