Breaking: අටවැනිදා තෙක් චාමර රිමාන්ඩ්!

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ අනුව මන්ත්‍රීවරයා එළැඹෙන 08 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කළා.

නඩු තුනක් සම්බන්ධයෙන් පසුගිය 27 වනදා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා නඩු දෙකකින් ඇප හිමි වුවත් එක නඩුවකට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කළා.

චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් ප්‍රධාන ඇමති ලෙස 2016 වසරේ කටයුතු කළ සමයේ ඌව පළාතේ පෙරපාසල් ළමුන් සඳහා පොත් බෑග් ලබාදීමට බව පවසමින් රාජ්‍ය බැංකු 3කින් මුදල් ඉල්ලා තිබෙනවා.

එහිදී ලංකා බැංකුවෙන් රුපියල් ලක්ෂ 10ක් සහ මහජන බැංකුවෙන් රුපියල් ලක්ෂ 25 බැගින් ලබාදී ඇති අතර ඔහු එම මුදල් ඔහුගේ පෞද්ගලික පදනමේ (චාමර සම්පත් පදනම) ගිණුමට බැර කරගෙන පුද්ගලික පරිහරනය සඳහා යොදාගෙන ඇති බව සඳහන් වනවා.

කෙසේවෙතත් තෙවන බැංකුව වන ජාතික ඉතිරි කිරිමේ ගිණුමෙන් මුදල් ඉල්ලා සිටි අවස්ථාවේදී මුදල් ලබාදීම එම බැංකුව ප්‍රතික්ෂේප කර ඇති අතර එහිදී චාමර සම්පත් දසනායක මහතා විසින් ඌව පළාත් සභාවට ඇති ස්ථාවර තැන්පතු ගිණුම් 6 එම බැංකුවෙන් ඉවත් කරගෙන තිබෙනවා.

මෙමගින් රජයට රුපියල් ලක්ෂ 173ක පාඩුවක් සිදුව ඇති බව පවසමින් අල්ලස් කොමිසම අධිකරණය හමුවේ කරුණු ගොනුකර තිබෙනවා.

අදාළ කරුණු සලකාබැලීමෙන් අනතුරුව පළමු චෝදනා 2 සඳහා චාමර සම්පත් දසනායක මහතාට ඇප හිමි වුවද තුන්වන චෝදනාවට ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළා. ඔහුව බන්ධනාගාරගත කරන්නට හේතුව, ඔහු සාක්ෂිකරුවන් හෙවත් බැංකු නිලධාරීන් ඇතුළු අයට බලපෑම් කරනු ඇතැයි විශ්වාස කිරීමට හේතු තිබීම. ඇප පනත අනුව මූලික විමර්ශන අවසන් වන තෙක් ඔහුව රිමාන්ඩ් කර තැබිය හැකියි.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading