අධිකරණයේදී නිවැරදි සැකකරු සොයාගැනීමට නොහැකි වීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා සම්බන්ධ නඩුව කල් දැමීට අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය අද (22) නියෝගකර තිබෙනවා.
ඒ අනුව, අදාළ නඩුව එළැඹෙන 03 වනදා දක්වා කල් තබා තිබෙන බවයි.
මෝසමක් යොමු කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා අද අධිකරණයට ඉදිරිපත් වූ අතර අදාළ නඩුව කැඳවු අවස්ථාවේ දී අනුරාධපුර පොලීසිය විසින් සැකකරුගේ නම යොදා ඇත්තේ “අර්ජුනා ලෝචන්” ලෙසිනි.
නමුත් ඔහුගේ නම රියදුරු බලපත්‍රයේ සඳහන් ව ඇත්තේ රාමනාදන් අර්චුනා ලෙසයි.
එබැවින් නිවැරදි සැකකරු සොයා අධිකරණයට වාර්තා කරන මෙන් අධිකරණය එම අවස්ථාවේදී නියෝග කළබව මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතාගේ නීතිඥවරයා පවසනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා ඊයේ (21) අලුයම අනුරාධපුර රඹෑව ප්‍රදේශයේ රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් පිරිසක් සමඟ ආරවුලක් ඇති කරගෙන තිබුණා.
ඒ අනුව, රථ වාහන පොලීසියට අවනත නොවී කටයුතු කිරීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතාට එරෙහිව පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භ කළා.
පසුව, මෝටර් රථ ප්‍රවාහන පනත මෙන්න දණ්ඩ නීති සංග්‍රහය යටතේ මන්ත්‍රීවරයාට එරෙහිව පොලීසිය විසින් අධිකරණයට කරුණු ගොනුකර තිබෙනවා.
ඒ අනුව අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගකළේ සැකකාර මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් පවත්නා නීතිය යටතේ කටයුතු කරන ලෙසටයි.
එමෙන්ම පෙබරවාරි මස 3 වනදා මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසද අධිකරණය අනුරාධපුර පොලීසියට නියෝග කර තිබුණා.
