බූස්ස බන්ධනාගාරයේ සහකාර අධිකාරීවරයෙකුට පාතාල තර්ජනයක්

ඩුබායි රාජ්‍යයට පලාගොස් සැඟව සිටින සංඛ නැමති පාතාල ප්‍රබලයෙකු යැයි සැළකෙන පුද්ගලයෙකු විසින් ගාල්ල බූස්ස බන්ධනාගාරයේ සහකාර බන්ධනාගාර අධිකාරීවරයාට මරණීය තර්ජන එල්ල කර ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මෙම නිලධාරියාගේ පියාගේ කටුනායක නිවසට පෙරේදා පස්වරුවේ යතුරුපැදියකින් නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු පැමිණ තිබුණා.

මොවුන් දෙදෙනාගෙන් එක් අයෙකු අත තිබූ ජංගම දුරකථනයක් අදාළ සහකාර බන්ධනාගාර අධිකාරීවරයාගේ පියා අතට දී ඉන් ලැබෙන ඇමතුමට ප්‍රතිචාර දක්වන ලෙස දැනුම් දී ඇති බවයි වාර්තාවන්නේ.

එහිදී අදාළ දුරකතන ඇමතුම ලබාදුන් පුද්ගලයා සංඛ නැමැත්තෙකු බවට හඳුන්වාදී ඇති අතර, ඔහු ප්‍රකාශ කර ඇත්තේ සිය පුත්‍රයා විසින් බූස්ස බන්ධනාගාරයේ සිදු කරන සෝදිසි කටයුතු නවතා දමන ලෙසටයි.

එසේ නොකළහොත් වැඩවැරදිය හැකි ලෙසටද අදාළ පුද්ගලයා තර්ජනය කර තිබෙනවා.

ඇමතුම විසන්ධි කිරීමෙන් පසු යතුරුපැදියේ පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනා එම දුරකතනයද ඉල්ලාගෙන පලාගොස් ඇති බවද වාර්තාවනවා.

මෙම නිලධාරියාට මරණ තර්ජන එල්ලවීමෙන් පසු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කණ්ඩායමක් පෙරේදා රාත්‍රියේ සිට ඊයේ අලුයම දක්වා බූස්ස බන්ධනාගාරය තුළ විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබුණා.

එහිදී රැඳවියන් කිහිපදෙනෙකු රඳවා සිටි සිරමැදිරිවල තිබී ජංගම දුරකතන කිහිපයක් සහ උපාංග හමුවී තිබෙනවා

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading