Monday, June 17

ජනමතවිචාරණයකින් රනිල්ට තව අවුරුදු පහක්? රංගේගේ කතාව වෙන්න පුළුවන්දැයි අසා ව්‍යවස්ථා විශේෂඥයන්ගෙන් අපි ජෝක් වූ හැටි!

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට තව වසර පහක කාලයකට ජනාධිපතිධුරය ලබා දිය යුතු බවත්, ඒ සදහා ජනමතවිචාරණයක් පැවැත්විය යුතු බවත් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් රංගේ බණ්ඩාර කළ ප්‍රකාශයකට විශාල දේශපාලන හාස්‍යයක් එල්ල වෙමින් තිබේ.

ජනාධිපතිවරයා දරණ දේශපාලන පක්ෂයේ මහලේකම්වරයා ලෙස, ජනාධිපතිවරණයක් නොපැවැත්විය යුතු බව ප්‍රකාශ කිරීම කිසිවෙකු විසින් බරපතල ලෙස ගත යුතු ප්‍රකාශයක් නොවුණත්, එක්සත් ජාතික පක්ෂයේ බිහිසුණු ගරාවැටීමක් මෙම ප්‍රකාශයෙන් පෙනෙන්නට තිබේ.

ඔහු මෙලෙස ප්‍රකාශ කරන්නට හේතු වී ඇත්තේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේදැයි ප්‍රශ්නය මගහැරීම උදෙසා වන අතර, මේ දක්වා ජනාධිපතිවරයා ඉදිරි ජනාධිපතිවරණයට නිල වශයෙන් ඉදිරිපත් වෙන බව ප්‍රකාශ කිරීමට අපොහොසත් වී තිබේ. තවමත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු පක්ෂ ගණනාවක් ජනාධිපතිවරයාට ජනාධිපතිවරණයේදී සහයෝගය දෙන බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කොට නොමැත.

මෙලෙස ජනාධිපතිවරයාගේ ධුර කාලය දීර්ඝ කිරීමේ ජනමතවිචාරණයක් පැවැත්වීමට කිසිදු නීතිමය පසුබිමක් නොමැති අතර, ඒ ගැන අප විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබද විශේෂඥ ජනාධිපති නීතිඥවරයෙකුගෙන් විමසූ විට ඔහු අනවශ්‍ය දේශපාලන විහිළු නොකරන ලෙසත්, මෙවැනි විහිලු කතාවලට අනවශ්‍ය විශේෂත්වයක් ලබා දෙන ලෙසත් අපට ප්‍රකාශ කර සිටියේය.

‘ඔයා ලියන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දන්න කෙනෙකුගෙන් මේ ගැන ඇහුවා. ඔහු කීවා, මෙවැනි විහිළු ප්‍රකාශවලට උත්තර දෙන්න බැහැ කියලා. දැන් පවතින ව්‍යවස්ථාවේ කිසිම පදනමක් නැහැ එවැනි දෙයක් කරන්නට. එහෙම නම් ව්‍යවස්ථා සංශෝධනයක් කරන්න ඕනෑ. ඒ ව්‍යවස්ථා සංශෝධනයට උසාවිය අනුමැතිය ලබා දුන්නත්, තුනෙන් දෙකක් සහ ජනමතවිචාරණයක් අනිවාර්යයෙන්ම ඕනෑ. මේ කිසිවක් දේශපාලනිකව සිදු විය නොහැකි අද්භූත සිදුවීම්.‘ යනුවෙන් එම විශේෂඥයාගේ අදහස කැටි කොට දැක්විය හැක.

එක්සත් ජාතික පක්ෂය රනිල් වික්‍රමසිංහගේ නායකත්වය යටතේ පරාජිත සහ දුර්වල තත්වයකට ඇදවැටුනු අතර, එහි මහලේකම් ධුරයට සුදුස්සෙකු නොමැති නිසා, පුත්තලම් දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන පාලිත රංගේ බණ්ඩාර එහි මහලේකම් ධුරයට පත් කරන ලදී. පසුගිය මාස කිහිපයක් තිස්සේ, එක්සත් ජාතික පක්ෂයට සමගි ජන බලවේගයෙන් පිරිස් එකතු වීමට නියමිත බව ඔහු ප්‍රකාශ කළත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොවන දෙවැනි පෙළ පිරිසක් හැර කිසිවෙකු එම පක්ෂය හා එකතු නොවිය.

කෙසේ වෙතත්, ජනාධිපතිවරයා රට ආර්ථිකයමය වශයෙන් යම් ස්ථාවරයකට පත් කර ගනිමින් ගෙන යන වැඩපිළිවෙල තවත් ශක්තිමත් කිරීමට සඳහා ජනමත විචාරණයකින් ඔහුට තවත් වසර පහකට බලය ලබා දීම සුදුසු බව ඔහු ප්‍රකාශ කොට තිබුණේ සිරිකොත, එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදීය.

මෙය පක්ෂයේ මතයදැයි කළ විමසීමකදී ඔහු කීවේ, එය තමන්ගේ මතය බවය. එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා කවුදැයි විමසීමකදී,

‘රටට හෙණ ගැහුවත් කමක් නෑ, ඡන්දය තියන්න කියලා. ප්‍රශ්නයක් නෑ. රට ගැනවත් අධ්‍යාපනය ගැනවත්, කොටස් වෙළදපොළ ගැනවත් නෙවෙයිනේ මේ කියන්නේ. තමන් ඡන්දෙට එනවා. මම කියන්නේ රට වෙනුවෙන් තීන්දුවකට එන්න කියලා.‘ යනුවෙන් පාලිත රංගේ බණ්ඩාර පැවසීය.

‘මම කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය නැති කරන්න කියලා නෙවෙයිනේ. කාලෝචිත තීන්දුවක් ගන්න කියලානේ. මැතිවරණයට එන්න ඕනෑ විසුරුවාට පස්සේනේ.‘ යනාදී වශයෙන් ඔහු අරුත්සුන් ප්‍රකාශ කිහිපයක් කර තිබුණි.

Author

1 Comment

  • Anonymous

    Othana inna chug golayanta oya dey kiyanawa misa goda enna kramayak nehe. Mung wage ewun in a ratak kawadawath hadanna behe.

Comments are closed.

Discover more from WHAT NEWS

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading