- දැනට ක්‍රියාත්මක ගැටුම ගැන එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ පළමු විවෘත විවාදයේදී ගාසාහි මානුෂීය අර්බුදය මැද සටන් විරාමයක් පිළිබඳ හඩ මතු වෙද්දී, බලවතුන් එරෙහි වේ!
- තත්වයේ බරපතලකම හරිහැටි ආවරණය නොවෙන නමුත්, පලස්තීනයේ ජාත්‍යන්තර නීතිය කඩ වී ඇති බව සඳහන් ඇල්මැරුණු ප්‍රකාශයක් එක්සත් ජාතීන්ගේ මහලේකම් සිදු කරයි!
- ඒ ටික කීවාටත් කේන්ති ගිය ඊශ්‍රායලය මහලේකම්ට ඉල්ලා අස්විය යුතු බවත්, එක්සත් ජාතීන්ගේ නිලධාරීන්ට වීසා නොදෙන බවත් කියයි
- ලෝක නීතිය සහ පිළිගත් ආයතනවල අසමත්කම මැද හමාස්- හිස්බුල්ලා ඒකාබද්ධ සටනක් ගැන සාකච්ඡා පවත්වයි!
ඊශ්‍රායලය ගාසා තීරයට ප්‍රහාර එල්ල කරමින්, ඔක්තෝබර් 07 වැනිදා සිට සිදු කරගෙන යන නවතම ගැටුම්කාරී තත්වය ගැන පළමු විවෘත විවාදය පැවැත්වීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක කවුන්සිලය කටයුතු කළා. එය ඉතා උණුසුම් මුහුණුවරක් ගත් විවාදයක් වී තිබුණා.
ආරක්ෂක කවුන්සිලයේ සාමාජිකයන් 15ක් අතරින් බහුතරයක් වහාම යුධ විරාමයකට යා යුතු බවත්, මානුෂීය ආධාර සඳහා නිසි ඉඩ පහසුකම් ලබා දිය යුතු බවත් තදින් පවසා තිබුණා. මේ වෙද්දී නොනැවතී ගාසා තීරයට එල්ල කරන බෝම්බ ප්‍රහාරවලින් මිය ගිය සංඛ්‍යාව 5,791 ඉක්මවා තිබෙනවා. ඒ අතර 2,360 ඉක්මවූ දරුවන් සංඛ්‍යාවක් සිටිනවා. 24 වැනි අඟහරුවාදා පලස්තීනය වාර්තා කර තිබුණේ ඒ වන විට ගත වූ පැය 24 තුළ පමණක් 704 දෙනෙකු ඝාතනයට ලක් කර ඇති බව.
මේ අතර ගාසා තීරයේ රෝහල්වලට ඉන්ධන ආදී බලශක්ති පහසුකම් නොමැති නිසා බදාදා දිනය තුළ වසා දැමීමට සිදු වන බව වාර්තා කර තිබෙනවා.

ඊශ්‍රායලය හමාස් යටතේ නොමැති, වෙස්ට් බෑන්ක් ප්‍රදේශයේ තිබෙන ජෙනින් නම් අවතැන් කඳවුරට ඩ්‍රෝන් ප්‍රහාරයක් එල්ල කර තිබෙන අතර අවම මට්ටමින් තිදෙනෙකු ඝාතනයට ලක් වී තිබනවා. ඒ අනුව ඔක්තෝබර් 07 වැනිදායින් පසු වෙස්ට් බෑන්ක් එකේ ඝාතන සංඛ්‍යාව 100 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එක්සත් ජාතීනගේ සංවිධානයේ සාමාජික රටවල් 15 අතර නිෂේධ බලය හිමි ස්ථීර සාමාජිකයන් වූ රටවල් 5ක් සිටිනවා. ඇමෙරිකා එක්සත් ජනපදය සහ රුසියාව නිෂේධ බලය හිමි රටවල්. ඊශ්‍රායලයේ අතිජාත මිත්‍ර රාජ්‍යය වූ ඇමෙරිකා එක්සත් ජනපදය පසුගිය සතියේදී රටවල් 12ක සහයෝගය ඇතිව ගෙන ආ යෝජනාවට එරෙහිව නිෂේධ බලය පාවිච්චි කරමින්, එම යෝජනාව පරාජය කළා. එනම් මුළුමහත් ලෝක ප්‍රජාව අතරින් බහුතර රටවල් එකඟ වූ යෝජනාවක්, ආරක්ෂක කවුන්සිලයේම රටවල් 3ක් හැර අන් හැමෝම සහයෝගය ලබා දුන් යෝජනාවක් තමන්ගේ තනි මතයට ප්‍රතික්ෂේප කළා. ඊට පෙර රුසියාව විසින් ඉදිරිපත් කළ යෝජනාවකුත් ප්‍රතික්ෂේප වුණා. පලස්තීන- ඊශ්‍රායල් කතාව ඇමෙරිකාවේ අයුක්ති සහගත බලය පිළිබඳ කතාවක් වන්නේ ඔය විදියට.
ඇමෙරිකාව ඒ විදියට තනි මතයට නවත්වා තිබෙන්නේ, උක්ත විවාදයේදී අදහස් දක්වන රටවල් ලැයිස්තුවේ සිටි රටවල් 90ක පමණ ප්‍රමාණයකුත්, ඒ අතර සිටි විදේශ අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් 30ක පමණ ප්‍රමාණයකුත් දැඩිව ඉල්ලා සිටි සටන් විරාම යෝජනාව.

එයට නිදහසට කරුණ ලෙස ඇමෙරිකාව සඳහන් කර තිබෙන්නේ, ඊශ්‍රායලයට ත්‍රස්තවාදයෙන් තමන්ව ආරක්ෂා කර ගැනීමේ අයිතිය තිබෙන බව. එහිදී මානව හිමිකම් කඩකිරීම් සම්පූර්ණයෙන් නොතකා හැරීමේ ඇමෙරිකානු ප්‍රතිපත්තිය, ශ්‍රී ලංකාවේ යුද්ධය හෝ වෙනත් බොහෝ ස්ථානවල සිදු වූ මානව හිමිකම් කඩ කිරීම්වලදී ඇමෙරිකාව අනුගමනය කළේ නෑ. එවැනි තැන්වල යුක්තිය, මානුෂීය ආධාර මෙන්ම ජාත්‍යන්තර යුධ නීතිය සිහිපත් කළ ඇමෙරිකාව මෙම ප්‍රහාර මාලාවේදී සම්පූර්ණයෙන්ම ඊශ්‍රායලය ආරක්ෂා කරනවා.
‘අඩු තරමේ සටන් විරාමයක් සඳහාවත් එකඟ වීමට මෙම කවුන්සිලය දෙවතාවක්ම අසමත් වීම දෙස අපි කණගාටුවෙන් බලා සිටිනවා.‘ යනුවෙන් ඊජිප්තු විදේශ අමාත්‍ය සාමෙහ් ෂොක්රි ප්‍රකාශකර තිබුණා.
ඊශ්‍රායලය ගාසා තීරය ‘බිමට සමතලා කරමින් සිටින‘ නමුත් කිසි දෙයක් කරන්නට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය අසමත් වී සිටින බව ජෝර්දාන විදේශ අමාත්‍ය ආයිමන් සාෆාඩි කියා තිබුණා. ඒ අරාබි රටවල් 24ක් නියෝජනය කරමින් කළ අදහස් දැක්වීමේදී.
බිලියන දෙකක් වූ අරාබි සහ මුස්ලිම් ජාතිකයන්ට ජාත්‍යන්තර නීතිය අදාල වන බව තහවුරු කිරීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය කටයුතු කළ යුතු බව ඔහු කියා තිබුණා.
දෙපාර්ශ්වයෙන්ම සිවිල් වැසියන් මරා දැමීම හෙළා දකින ලෙසත්, යුද්ධය නවත්වන ලෙසත්, සාගින්න නවත්වන ලෙසත්, පලස්තීන වැසියන් සියලුදෙනාට සාමූහිකව දඬුවම් කිරීම නවත්වන ලෙසත් ඔහු බල කර කියා තිබුණා.
ඒ අතර ඇමෙරිකා එක්සත් ජනපදය වඩාත් විධිමත් සහ ස්ථිරසාර ක්‍රමවේදයක් වන සටන් විරාමයක් වෙනුවට ‘මානුෂීය විරාමයක්‘ යෝජනා කරන වෙනත් යෝජනාවක් ආරක්ෂක කවුන්සිලයට ඉදිරිපත් කිරීමට සැරසෙනවාලු. මේ ගැන රොයිටර්ස් වාර්තා කර තිබුණා. ඇමෙරිකාව යෝජනා කරන මානුෂීය විරාමය අවිධිමත්, නොනිල සහ ඉතාම කෙටි කාලීන එකක් වනු ඇති. එමෙන්ම, ඇමෙරිකාව ලංකාව වැනි රටවලට අදාලව නොකී නමුත්, දැන් හැමවිටම මතුරන ‘රාජ්‍යයකට ත්‍රස්තවාදයෙන් ආරක්ෂා වෙන්න සියලු රාජ්‍යයන්ට තියෙන අත්හළ නොහැකි‘ අයිතිය එම යෝජනාවෙන් ඉස්මතු කරනවාලු. ඒ අනුව මානුෂීය ආධාර ප්‍රහාරයට ලක් වන ප්‍රදේශය වෙත ඇතුළු කිරීම සඳහා ‘මානුෂීය විරාමයක්‘ යෝජනා කරන එම යෝජනාවලිය යුද්ධය වඩාත් විධිමත්ව නතර කොට විසඳුමක් යෝජනා කිරීම සඳහා වන සටන් විරාමයකට එකඟතාව දක්වන්නේ නෑ.

ඒ අතර රුසියාවද තමන්ගේ යෝජනාවක් නැවත ඉදිරිපත් කිරීමට නියමිතයි. එහි ඡන්ද විමසීමත් මේ සතිය තුළ පැවැත්වෙනු ඇති. රුසියාව කියා තිබුණේ කොන්දේසි විරහිත, නිශ්චිත සටන් විරාමයක් ආරක්ෂක කවුන්සිලය හරහා ලෝකයම බලාපොරොත්තු වන බව.
මේ අතර ඊශ්‍රායලය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයන්ට වීසා නොදෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඊශ්‍රායල් තානාපතිවරයා වන ගිලාඩ් එර්ඩන් කළ ප්‍රකාශයක් ඊශ්‍රායල් මාධ්‍යවලින් වාර්තා කර තිබෙනවා. ඊට අමතරව එර්ඩන් ප්‍රසිද්ධියේ කියා තිබුණේ එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ඉල්ලා අස් විය යුතු බව.
ඒ බලපෑම් එල්ල වන්නේ එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා වක්‍රාකාරයෙන් උතුරු ගාසා තීරයේ සිට දකුණු ප්‍රදේශයට යෑම සඳහා පලස්තීන වැසියන්ට කළ අණ කිරීම විවේචනය කළ නිසාත්, ඔක්තෝබර් 7 වැනිදා හමාස් ප්‍රහාරය රික්තයක සිදු වූවක් නොවන බව ප්‍රකාශ කළ නිසාත්. ඊට අමතරව ඔහු කියා තිබුණේ ඊශ්‍රායලය ජාත්‍යන්තර නීතිය කඩ කළ අවස්ථා පැහැදිලිව දක්නට තිබෙන බව.
එයට ප්‍රතිචාර ලෙස ඊශ්‍රායල් විදේශ ඇමති එලි කොහෙන් එම ප්‍රකාශ ප්‍රතික්ෂේප කරමින් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ලැජ්ජා විය යතු බව කියා තිබුණා.

එර්ඩාන් ‘ආමි රේඩියෝ‘ නම් ආයතනයට කියා තිබුණේ මේ වන විටත් මානුෂීය ආධාර මෙහෙයුම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ උප මහලේකම්වර මාටින් ග්‍රිෆිත් සඳහා දැනටමත් වීසා නොදී ප්‍රතික්ෂේප කර ඇති බව. ‘එයාලාට පාඩමක් උගන්වන්න කාලය ඇවිත්.‘ කියා ඊශ්‍රායලය කියා තිබුණා.
කෙසේ වෙතත්, ඊශ්‍රායලය සිදු කර ඇති දරුණු ගණයේ මානව හිමිකම් කඩකිරීම් ගැන ප්‍රමාණාත්මක මැදිහත්වීමක් එක්සත් ජාතීන්ගේ සංවිධානය හෝ එහි මානව හිමිකම් කවුන්සිලය සිදු කර නෑ. ඊශ්‍රායලයට ‘ඩෝං ගිහින්‘ තිබෙන්නේ පලස්තීන වැසියන් වෙනුවෙන් සිදු කළ ප්‍රමාණාත්මක මැදිහත්වීමක් නිසා නෙවෙයි, කුඩා ප්‍රකාශයක් නිසා පමණයි.
‘පලස්තීන වැසියන්ගේ වේදනාව මතින් පමණක් හමාස් සංවිධානය සිදු කළ බිහිසුණු ප්‍රහාර සාධාරණීකරණය කළ නොහැකියි. එම බිහිසුණු ප්‍රහාර සඳහා යුක්තිය ඉටු කිරීම පලස්තීන ජනතාවට සාමූහිකව දඬුවම් කිරීමෙන් සිදු කළ නොහැකියි.‘ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් කියා තිබුණා.
හමාස් විනාශ කිරීම ඊශ්‍රායලයේ අයිතියක් පමණක් නොව, එය වගකීමක් බව මේවාට ප්‍රතිචාර දක්වන අවස්ථාවේ එර්ඩන් වැඩිදුරටත් කියා තිබුණා.
‘අපි මෙතැන ඉන්නේ ඝාතන නවත්වන්න.. මේ වෙද්දී පද්ධතිගතව, ආයතනගතව, සිතාමතා වගේම ගෝත්‍රික ලෙස ඊශ්‍රායලය සිදු කරමින් සිටින සමූල ඝාතන නවත්වන්න. ජාත්‍යන්තර නීතිය යටතේ එය නැවැත්වීමේ මානුෂීය වගකීම අපි හැමෝටම තියෙනවා.
ලොව විධිමත් සහ පිළිගත් ආයතන සාමාන්‍ය ජනතාව ආරක්ෂා කරන්නත්, මේ අර්බුදවලට විසඳුම් සොයන්නත් අසමත් වෙද්දී වඩාත් බිහිසුණු මෙන්ම හිත්පිත් නැති ආකාරයෙන් බලවතුන්ට එරෙහිව යුධ ප්‍රකාශ කර විසඳුම් හොයන හමාස් සංවිධානයේ නියෝජ්‍ය නායක සාලෙහ් අල්-අරෞරි ඇතුළු නායකයන් පිරිසක් හිස්බුල්ලා සංවිධානයේ නායකයා හසාන් නසාරාල්ලාහ් සහ ඉස්ලැමික් ජිහාඩ් නායක සියෙඩ් අල්- නඛාලා මුණගැසී ඇතැයි හිස්බුල්ලා සංවිධානය සතු මාධ්‍යයක් වාර්තා කර තිබෙනවා. මෙම සාකච්ඡාවල අරමුණ වී ඇත්තේ ඉරානය, සිරියාව, පලස්තීනය, ලෙබනනය ඇතුළු රටවල සිටින සියලු සන්නද්ධ සංවිධාන ඒකාබද්ධව ගෝලීය සටනක් දියත් කිරීම පිළිබඳලු.
ලොව පිළිගත් ආයතන පද්ධති, රාජ්‍යයන්, නීති පද්ධති වගේම බලවතුන් මුග්ධ ලෙස හැසිරෙන තරමට අන්ත සහ බිහිසුණු කණ්ඩායම් ශක්තිමත් වෙනවා. බලවත් රාජ්‍යයන්ගේ ත්‍රස්තවාදය, බලවතුන්ගේ ත්‍රස්තවාදය හැමවිටම ප්‍රතිවිරුද්ධ අන්තවාදයන් ශක්තිමත් කරනවා.
මේ අර්බුදයේදී, අප හැමවිටම ප්‍රශ්න කළ යුත්තේ බලවතුන්ගේ අසමත්කම. මුග්ධකම. මිනිස් ඝාතන දැක දැක නිහඩව සිටින තිරිසන්කම. ශිෂ්ඨයැයි කියාගත් රාජ්‍යයන් පාලනය කරන මිනිසුන් කෙතරම් තිරිසන්ද යන්න මේ සිදුවීම් මාලාව මනාව පැහැදිලි වෙනවා. ඒ තිරිසන්කමට උත්තර දෙන්නට එයට නොදෙවනි තිරිසන් අමානුෂික කණ්ඩායම් පැනනැගීම ගැන පුදුම වෙන්නට දෙයක් තියෙනවාද?