Sunday, June 16

රතුපස්වල තීන්දුවට එරෙහිව අභියාචනා ගොනු කරන ලෙස තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයෙන් ඉල්ලිමක්

පිරිසිදු පානීය ජලය ඉල්ලමින් වැලිවේරියේ උද්ඝෝෂණය කළ නිරායුධ සාමකාමී උද්ඝෝෂකයන්ට වෙඩි තැබීම සම්බන්ධයෙන් වන රතුපස්වල නඩුවේ තීන්දුවට එරෙහිව ⁣ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා කරන ලෙස තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය අද (20) නීතිපතිගෙන් ඉල්ලීමක් කළේය.

කොළඹ අපරාධ කොට්ඨාසය සාක්කි වසං කරමින් කළ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරන ලෙස ඉල්ලමින් හිටපු පොලිස්පති එන් කේ ඉලංගකෝන් මහතාට තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පැමිණිලි කළ බවත්, විමර්ශන රහස් පොලිසියට පැවරූ පසු කරුණු ගණනාවක් අනාවරණය වූ බවත් එස සංගමය සඳහන් කරයි.

ඉතාම සාමකාමී විරෝධතාවය අසලට පොලු කඩා ගනිමින් දේශප්‍රිය ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් යුත් හමුදා කණ්ඩායම පැමිණීමත්, ඉන් අනතුරුව සාමකාමී උද්ඝෝෂකයන්ට විසිර යන ලෙස අන කිරීමත්, විසිර යෑමට මිනිත්තු කිහිපයක් ඉල්ලා සිටියදී බ්‍රිගේඩියර්ගේ නියමයෙන් පහරදීම සහ වෙඩි තැබීමත්, පැය තුනක් පමණ යනතුරු පහරදීම සහ වෙඩි තැබීම සිදුවීමත්, පල්ලියට පැන පියතුමන්ලා ඇතුළු පිරිසට පහරදී වෙඩි තැබීමත් ගැන සාක්කි ගණනාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විමර්ශනයේදී අනාවරණය වූ බව එම සංගමය යොමු කළ ලිපියේ සඳහන් වේ.

එසේම දීර්ඝ කාලයක් වෙඩි තබද්දී බ්‍රිගේඩියර් දේශප්‍රිය වෙඩි පාලන අනක් නිකුත් කර නැති බව යුද හමුදා මූලික පරීක්ෂණ උසාවි ද වාර්තා ගත කර තිබුණු බවත් සඳහන් කරන තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, මේ සඳහා යුක්තිය ඉටු කිරීමට ත්‍රිපුද්ගල ⁣මහාධිකරණ තීන්දුවට එරෙහිව ශ්‍රෙෂ්ඨාධ්කරණයට අභියානා කරන ලෙස ඉල්ලා ඇත.

නීතිපති වෙත යොමු කළ ලිපිය පහත දැක්වේ.

සංජේ රාජරත්නම් මහතා,නීතිපති,
නීතිපති දෙපාර්තමේන්තුව.

නීතිපතිතුමනි,

රතුපස්වල තීන්දුවට එරෙහිව අභියාචනා කරන ලෙස ඉල්ලා සිටීම

ගම්පහ රතුපස්වල ජල ගැටලුව සම්බන්ධයෙන් බැලුම්හර සහ වැලිවේරියේ පැවැති විරෝධතාවලදී පහරදී සහ වෙඩි තබා තිදෙනකු ඝාතනය කර තවත් පිරිසකට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් වන නඩුවෙන් චූදිත මේජර් ජනරාල් අරුණ දේශප්‍රිය ගුණවර්ධන ඇතුළු පිරිස නිදොස්කොට කොට නිදහස් කරනු ලැබිණි.

රතුපස්වල සිදුවීම යනු උතුරේ සිවිල් යුද්ධයෙන් පසු සාමකාමී විරෝධතාවයකට මිලිටරිය යොදාගනිමින් කළ ම්ලේච්ඡතම ප්‍රහාරය වේ.

එම සිදුවීම වූ 2013 අගෝස්තු පළමු වැනිදා සිට මේ වන තෙක් ඊට යුක්තිය ඉටු කර දීම වෙනුවෙන් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විවිධ ක්‍රියාමාර්ග ගෙන තිබේ. මීට අදාල විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසය මගින් කුමන්ත්‍රණකාරී ලෙස සාක්කි යටපත් කරමින් සිදු කරද්දී එම විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත බාර දෙන ලෙස ඉල්ලමින් 2015 පෙබරවාරි 06 වැනිදා CIB ii 332/19 අංකයෙන් අපි පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් කළෙමු.

ඉන් පසු විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර කෙරුණු අතර එම විමර්ශනයේදී විශාල පිරිසකගෙන් ප්‍රකාශ ලබා ගැණිනි. අවසානයේ ත්‍රිපුද්ගල මහාධිකරණයේ පැවරූ නඩුවේදී සාක්කිකරුවෝ 205 දෙනෙක් නම් කරනු ලැබූහ.

ඉතාම සාමකාමී විරෝධතාවය අසලට පොලු කඩා ගනිමින් දේශප්‍රියගේ ප්‍රධානත්වයෙන් යුත් හමුදා කණ්ඩායම පැමිණීමත්, ඉන් අනතුරුව සාමකාමී උද්ඝෝෂකයන්ට විසිර යන ලෙස අන කිරීමත්, විසිර යෑමට මිනිත්තු කිහිපයක් ඉල්ලා සිටියදී බ්‍රිගේඩියර්ගේ නියමයෙන් පහරදීම සහ වෙඩි තැබීමත්, පැය තුනක් පමණ යනතුරු පහරදීම සහ වෙඩි තැබීම සිදුවීමත්, පල්ලියට පැන පියතුමන්ලා ඇතුළු පිරිසට පහරදී වෙඩි තැබීමත් ගැන සාක්කි ගණනාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විමර්ශනයේදී අනාවරණය විය.

එසේම දීර්ඝ කාලයක් වෙඩි තබද්දී බ්‍රිගේඩියර් දේශප්‍රිය වෙඩි පාලන අනක් නිකුත් කර නැති බව යුද හමුදා මූලික පරීක්ෂණ උසාවි ද වාර්තා ගත කර තිබිණි.

එවැනි තත්ත්වයක් තුල සාමකාමී විරෝධතාවයට පහරදී වෙඩි තැබූ සහ ඊට අනුබල දුන් පිරිස නීතියෙන් ගැලවීම බරපතල තත්ත්වයක් වන අතර එය ලංකාවේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය ගැන වින්දිතයන් සහ සමස්ත පුරවැසියන් ගැටලුකාරී තත්ත්වයට පත් කිරීමකි.

එසේ හෙයින් රතුපස්වල සිදුවීම සම්බන්ධයෙන් පසුගිය 17 වැනිදා ගම්පහ ත්‍රිපුද්ගල මහාධිකරණය ලබා දුන් තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා කරන ලෙස වින්දිතයන් වෙනුවෙන් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ලෙස අපි ඉල්ලා සිටිමු.

ස්තුතියි.

මෙයට,

තරිඳු ජයවර්ධන
සභාපති
තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය

Author

Discover more from WHAT NEWS

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading