Monday, June 17

බලවේග විවාදය ජුනි 06ත් නොකෙරෙන ලකුණු! මාළිමා ප්‍රතිචාරය සජබට ප්‍රමාණවත් නැහැ! දින දෙකම නොදුන්නොත් බෑ!

විවාදය සඳහා සජිත් ප්‍රේමදාස මහතා දුන් දිනවලින් ජුනි 6 දිනය අනුර කුමාර දිසානායක මහතා භාරගත් බව ජාතික ජන බලවේගය පක්ෂයේ විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. කෙසේ වෙතත්, එලෙස දිනයක් දැනුම් දී ඇත්තේ සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර අතර විවාදයට පමණක් බවත් විවාද දෙකටම දිනයක් නොදෙන්නේ නම්, ජුනි 06 වැනිදා සජිත් ප්‍රේමදාස සහභාගී නොවන බව අප කළ විමසීමකදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර පැවසීය.

මීට පෙර සමගි ජන බලවේගය ජුනි 01 වැනිදා සිට 07 වැනිදා දක්වා දින අතරින් ආර්ථික කමිටු අතර විවාදය සහ නායකයන් දෙදෙනා අතර විවාදයට සුදුසු දින ලබා දෙන ලෙස ජාතික ජන බලවේගයෙන් ප්‍රසිද්ධියේ ඉල්ලා තිබුණා.

මේ පිළිබද නලින්ද ජයතිස්ස මහතාගෙන් අප කළ විමසීමකදී ඔහු පැහැදිලි කළේ සමගි ජන බලවේගය විසින් ජුනි 03 වැනිදා සිට 7 වැනිදා දක්වා දින අතරින් ජුනි 06 වැනි දිනය සජිත් ප්‍රේමදාස සහ අනුුර කුමාර දිසානායක විවාදයට ලබා දුන් බවය. ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටුව නියෝජනය කරන්නේ විවිධ ක්ෂේත්‍රවල කාර්යබහුල පුද්ගලයන් බවත්, අදාල දින එකකවත් ඒ සියලුදෙනාගේ කාලය වෙන් කරගැනීමට නොහැකි වූ බවත් නලින්ද ජයතිස්ස මහතා පැහැදිලි කළේය. ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ, මැයි 20 දක්වා ජාතික ජන බලවේගය කාලය ලබා දී තිබුණත්, සමගි ජන බලවේගය ලබා දුන්නේ එම කාලය පසු වූ දිනයක් බවය.

කෙසේ වෙතත්, මේ පිළිබද අප සමග අදහස් දැක්වූ නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ මෙය ආර්ථික කමිටු අතර විවාදය මගහැරීමේ උත්සාහයක් බවය. ඔහු ප්‍රකාශ කරන්නේ, ජාතික ජන බලවේගයට සිංහල භාෂාව නොතේරෙන බවත්, විවාද දෙකම සිදු වන්නේනැයි සහතිකයක් නොමැතිව එක් විවාදයක් පමණක් පැවැත්විය නොහැකි බවත් ඔහු කීය. එක් විවාදය නැති නම් අනෙක පමණක් සලකා බලන්නයැයි කියමින් අපැහැදිලි පිළිතුරු ලබා දීම පිළිගත නොහැකි බවත් ඔහු කීය. ඒ අනුව, උක්ත දිනවලට පසු දිනයක් හෝ ආර්ථික කමිටු අතර විවාදය වෙනුවෙන් ලබා දෙන ලෙස ඉල්ලා සිටින බව ඔහු කිය.

කෙසේ වෙතත් නලින්ද ජයතිස්ස මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ, සමගි ජන බලවේගය විවාදයේ කටයුතු සූදානම් කිරීම සඳහා පත්කළ නලින් බණ්ඩාර මහතා සමඟ ස්ථානය වේලාව විවාදයේ විෂය පථය ඉදිරියේදී සාකච්ඡා කර තීරණය කරන බවය.

අප කළ විමසීම්වලදී දැනගැනීමට ලැබුණේ මෙම පක්ෂ දෙක අතර විවාදය පිළිබද ඍජු ගනුදෙනුවක් සිදු නොවන බවත්, දෙපාර්ශ්වය අතර සම්බන්ධීකරණය සදහා පිළිගතහැකි අතරමැදි පාර්ශ්වයක්ද නොමැති බවත්ය. ඒ අනුව මෙම විවාදය සිදු නොවීමේ වැඩි ඉඩක් ඇතැයි අපගේ ආරංචිමාර්ග පවසයි.

Author

Discover more from WHAT NEWS

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading