Sunday, June 16

‘දැන් ඉන්නේ තවත් යුද්ධයක! සිහිකිරීම උදෙසා යුද්ධයක‘ යාපනය විශ්වවිද්‍යාලයේ ආචාර්ය තිරුවරංගන් සමග විශේෂ සාකච්ඡාව

ආචාර්ය මහේන්ද්‍රන් තිරුවරංගන් – යාපනය විශ්වවිද්‍යාලය

සංවාදය මෙහෙයවීම- තරිදු උඩුවරගෙදර

මැයි 18 වැනිදා වන විට උතුරේ මුල්ලිවයික්කාල් සැමරීම් සිද්ධවුණා. දකුණේ ඇතැම් අය එය කොටි සංවිධානය සැමරීම් විදියට අර්ථකතනය කරද්දී තව සැලකිය යුතු පිරිසක් දෙමළ ජනතාවට එලෙස සැමරීමේ අයිතිය ලැබිය යුතු බව ප්‍රකාශ කළා. උතුරේ ජීවත්වෙන, දෙමළ ජනතාව නියෝජනය කරන කෙනෙකු මෙන්ම විද්වතෙකු ලෙස ඔබෙන් අප විමසන්නේ, දෙමළ ජනතාවට මේ සැමරීම්වලින් ඇති වැදගත්කම මොකක්ද?

යුද්ධය අවසන්ව වසර 15ක් ගතවනතුරු මේ දක්වා, දෙමළ සමාජය යුද්ධයේදී මියගියවුන් සිහි කිරීමට සැමරුම් පවත්වනවා. මුල්ලිවයික්කාල්වල වගේම, දිවයිනේ උතුරු- නැගෙනහිර ප්‍රදේශ ගණනාවක මෙවැනි සැමරුම් සංවිධානය කෙරෙනවා. සෑම වසරකදීම සංවිධායකයන් පොලිස් ආවේක්ෂනය, මිලිටරි ආවේක්ෂණය, හිංසා කිරීම්, තහනම් කිරීම්, හිංසනය ආදියට මුහුණ දී තිබෙනවා. මෙය දෙමළ සමාජය කෙරෙහි රාජ්‍යය යුද්ධයෙන් පසු මුදාහැර ඇති මර්දනයේ එක් ස්වරූපයක්. නිශ්චිතව දෙමළ ජනතාවගේ මතකයන් අපරාධකරණය කිරීම, මර්දනයට ලක් කිරීමට හා නියාමනය කිරීමට උත්සාහ කර තිබෙනවා. මට දැනෙන්නේ ඒ ආකාරයට.

දෙමළ ජනයාගේ පැත්තෙන් බැලුවොත් එහෙම කරන්නේ ඇයි?

එය ඔවුන්ගේ සිංහල බෞද්ධ හෙජමොනික ආධිපත්‍යය පශ්චාත් යුධ සමයේ ස්ථාපිත කර පවත්වාගෙන යෑමට ගන්නා උත්සාහයක දිගුවක්. ඒ ආධිපත්‍යය යටතේ දෙමළ ජනතාවට අඩු තරමේ තමන්ගේ අහිමිවූවන් සිහිපත් කිරීමට සහ සැමරීමටවත් ඉඩක් නැහැ. යුද්ධයේ අවසන් සමයේදී දසදහස් ගණනාවක් ජනතාව මරා දැමුණා. දැන් එම මතකයන් යටපත් කිරීමට සිංහල රාජ්‍යය උත්සාහ කරනවා. මේ තත්වය යුද්ධයටත් වඩා අසීරුයි. ඔවුන් දැන් ඉන්නේ තවත් යුද්ධයක. සිහිකිරීම උදෙසා තවත් යුද්ධයක ඔවුන් ඉන්නවා. මට මෙම හිංසනය දැනෙන්නේ ඒ වීදියට. ජනතාවට තමන්ගේ වේදනාවෙන් සහ කම්පනයෙන් සුවපත් වීම උදෙසා ශෝක වීමට ඉඩක් තියෙන්න ඕනෑ. ඒ වගේම මෙය ඉතා වැදගත් සමාජයීය සහ සාමූහික ක්‍රියාවක්. ඒ වගේම මෙම සිහිපත් කිරීම් ඇත්තටම සිදු වූ දේ සෙවීමටත්, යුක්තිය ඉටු කරවාගැනිමටත් උදෙසා වූ ක්‍රියාවලියේ කොටසක්ද වෙනවා. ඒ අනුව මේ සැමරීම් පුද්ගලික මට්ටමේ පමණක් නොව සාමූහික සහ සමාජයීය මට්ටමෙනුත් අතිශය වැදගත් ක්‍රියාවලියක්.

රජය අධිකරණ නියෝග සහ අනෙකුත් ක්‍රමවලින් එය නවත්වන්නට හා තහනම් කරන්නට උත්සාහ කරද්දී…

එයින් කියැවෙන්නේ දෙමළ ජනතාව හැමදාම දෙවැනි පන්තියේ පුරවැසි කොටසක් බව. ඔවුන් මුහුණදුන් හිංසනයේ වේදනාව ගැනවත් කතා කරන්නට පළමු පන්තියේ පුරවැසියන්ගෙන් අවසර නැහැ. එයින් තවදුරටත් දෙමළ ජනතාවගේ බියක්, සැකයක් තහවුරු කරනවා. දේශීය මට්ටමෙන් කිසිදාක ඔවුන්ට යුක්තිය ඉටු වෙන්නේ නැති විත්තිය. ඔබට සිහිපත් කරන්නවත් ඉඩ නැති බව කියනවා නම්, අධිකරණය හරහාත් එම අවස්ථා සීමා කරනවා නම්, කොහොමද කිසිදු ආකාරයක හෝ යුක්තියක් මෙරට අධිකරණය හරහා ඉටු කරගන්නේ කොහොමද කියන ප්‍රශ්නය මතු වෙනවා. එය තමයි අපට සෑම වසරකදීම යළි යළිත් ලැබෙන පණිවිඩය.

මෙය උතුරේ තියෙන එකම ප්‍රශ්නය නෙවෙයි. අතුරුදන්වූවන්ගේ ප්‍රශ්නය, සාමූහික මිනීවළවල්, ඉඩම් අයිතිය අහිමිවීම්, කර්මාන්තශාලා මෙරටට පැමිණීම්, යුක්තිය අහිමිවීම් ආදී මෙකී නොකී දේශපාලන, සමාජයීය සහ ආර්ථික ප්‍රශ්න ගණනාවක් තියෙනවා..

ඔව්, සැමරීමට ඉඩ නොදීම එම ප්‍රශ්නවලින් තව එකක් පමණයි. දැන් රාජ්‍යය උත්සාහ කරන්නේ ජනතාවගේ හැගීම්, සංවේදනා, මතකයන් පාලනය කරන්න උත්සාහ කරන්නයි. එම මතකයන් කැටි වී තිබෙන්නේ ප්‍රශ්න ගොඩක් සමග ගැටගැසිලායි.

ඉතින්, ඉතා බිහිසුණු සහ සමූලඝාතක ආකාරයෙන් අවසන් වූ යුද්ධයකින් පසුව පවා ඒ විදියට පාලනය කරන්නට උත්සාහ කරද්දී දෙමළ ජනතාවට දැනෙන්නෙ මොකක්ද? අඩු තරමේ යුද්ධය ඉතා බිහිසුණු විදියට අවසාන වුණත් මිනිස්සුන්ට යම් හෝ බලාපොරොත්තුවක් තියෙන්න ඇති එයින් පස්සේවත් අලුත් තත්වයක් උදා වේවි කියලා. සමහරවිට අවුරුදු 15කට පස්සේ දෙමළ ජනතාවට නව අවබෝධයක් ලැබෙනවා ඇති….

මම හිතන්නේ ලැබෙන අවබෝධය තමයි කිසිදු අවකාශයක් නොමැති බව. මිනිස්සු ප්‍රසිද්ධියේ ප්‍රශ්න කතා කරන්න උත්සාහ කරන බව ඇත්ත. එහෙත් රාජ්‍යය ඔවුන්ගේ හඩවල් යටපත් කරනවා. ඔවුන්ගේ කතා අපරාධකරණය කරනවා. එය අනුබද්ධ වෙන්නේ දෙමළ සමාජය විසින් මුහුණදුන් ඓතිහාසික අත්දැකීම්වලට. ඉතිහාසය පුරා සිද්ධවෙච්ච දේවල්, අත්දැකීම් එක්ක මේකත් අනුබද්ධ වෙනවා. මේක එහි පශ්චාත් යුධ අදියර පමණයි. සිංහල බෞද්ධ රාජ්‍යය කියන ඕනෑ දෙයක් යටහත්ව බාර ගන්නට එම ජන සමාජයට සිද්ධ වෙනවා. එසේ නැති නම් දරුණු හිංසනයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඔවුන්ට තමන්ගේම හැගීම්, වේදනාවන්, ආවේගයන් යටපත් කරගන්නට සිද්ධ වෙනවා. ඔවුන්ට බිය සහ තර්ජනයන්ට මුහුණදෙන්නට සිදු වන පරිසරයක වාසය කරන්න සිද්ධ වෙනවා.

ඔබ උගතෙකු ලෙස දෙමළ ජාතිකවාදය ගැන කතා කරන බව පේනවා. දෙමළ ජනතාවගේ සමහර දේශපාලන ප්‍රවණතාවන් ඔබ විසින් විවේචනයට ලක් කර තිබෙනවා. දෙමළ ජනතාවගේ දේශපාලනය ගැන දකුණේ සිංහලෙන් සහ දෙමළෙන් වාර්තා වී ඇති ඉතිහාසය තුළ අප දකින්නේ දෙමළ ජනතාවගේ ප්‍රසිද්ධ දේශපාලනයේත් භාෂාව හරි විදග්ධ එකක් වූ බව. දේශපාලන සමානාත්මතාව, ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ, බලතල බෙදීම්, යුක්තිය පිළිබද ප්‍රසිද්ධ දේශපාලනයත් සෑහෙන දේශපාලනික වුණා. එහෙත්, වත්මනෙහි අපට පෙනෙනවා දෙමළ ජනතාවගේ ප්‍රසිද්ධ දේශපාලනය ඊට වඩා හැගීම්වලට බර වූ එකක් බව. කලින් කතා කළ ගැඹුරු භාෂාව අපට පෙනෙන්නේ නෑ. ඒ වගේම දකුණේත්  බලතල බෙදීම්, ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ආදී සංවාද දේශපාලනයෙන් ගිලිහිලා ගිහින්. දැන් ජාතික ප්‍රශ්නය ගැන කලින් තිබුණ සද්දය නිහඩ වෙලා. මැතිවරණ සමයකදී වුණත් ජාතික ප්‍රශ්නය යටපත් වෙලා. මගේ මිතුරන් වූ ඇතැම් දෙමළ සහෝදරයන් දැන් ඉන්නේ ඔය දේශපාලන ප්‍රතිසංස්කරණමය සාකච්ඡා ගැන කළකිරීමකින්. යහපාලන ආණ්ඩුව දියුණු වචන එක්ක දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් ලොකු ලොකු පොරොන්දු දුන්නා. අතුරුදන්වූවන්ගේ කාර්යාල ආදිය පිහිටවූවා. ඒත්, ඒ සියල්ල වතුරේ ගියා. දකුණේ සිටින අපට ඔය සංවාදයේ කඩාවැටිමක් පෙනුණාට, උතුරේ තත්වයත් ඒකමද?

දීර්ඝ කාලයක් තිස්සේ දෙමළ ජනතාව විසින් ස්වයං නිර්ණය අයිතිය උදෙසා සටන් කළා. මට පුද්ගලිකව එහි ඇතැම් ස්වරූපයන් ගැන විවේචන තියෙනවා. මම මේ මොහොතේ ඒ ගැන ගැඹුරින් කතා කරන්නේ නැහැ. මට තිබෙන ප්‍රශ්න ගැන. කෙසේ වෙතත් දෙමළ ජාතිකවාදී පක්ෂ අද පවා දෙමළ ජනතාවගේ ස්වයං නිර්ණය අයිතිය ඉල්ලා සිටිනවා. එම ඉල්ලීම තවමත් පණපිටින් තිබෙනවා. වසරින් වසර, මැතිවරණයෙන් මැතිවරණය දෙමළ ජනතාව මහා පරිමාණයෙන් එම සටන්පාඨය වෙනුවෙන් ඡන්දය දෙනවා. ප්‍රශ්නය තමයි, දකුණේ එම ප්‍රශ්නය ගැන කිසිම සාකච්ඡාවක් නැති වීම. දැන් උතුරෙන් එන ඉල්ලීම් සම්පූර්ණයෙන්ම පාහේ දකුණ නොතකා හරිනවා. එහෙත්, දෙමළ දේශපාලන සංවාදය තුළ තවම ඒක තියෙනවා. දැන් වෙනම රාජ්‍යයකට වඩා ඔවුන් ෆෙඩරල් ක්‍රමයක් දැඩිව යෝජනා කරනවා. කෙසේ වෙතත් එම බලය බෙදාහැරීමේ ක්‍රියාවලිය මධ්‍යම රජයත් එක්ක සිද්ධ වෙන්න ඕනෑ. මේ වෙද්දී ෆෙඩරල්, සාංගමික රාජ්‍යයක් ආදී යෝජනා තිබුණත් මම හිතනවා, විසදුමක් උදෙසා අඩු තරමේ පොලිස්- ඉඩම් බලතල පමණක් හෝ බෙදාහැරිය යුතුයි. ඒ වගේම එලෙස පැවරූ බලය නැවත මධ්‍යම ආණ්ඩුවෙන් ලබා ගන්න බැහැ. දෙමළ සමාජය බලාපොරොත්තු වෙන්නේ බලය දෙමළ ජනතාවගේ කැමැත්තකින් තොරව යළි පවරාගත නොහැකි ආකාරයේ ස්ථාවර බලයක්. ප්‍රශ්නය අදටත් සජීවීයි. එහෙත්, එය ඉටු කිරීම සදහා කිසිදු සාධාරණ ක්‍රියාවලියක් නැහැ. අදත් ජේවීපීය බලය බෙදීමට විරුද්ධයි. ඔවුන් ජාතිවාදී නැති රාජ්‍යයක් බිහි කිරීමට යෝජනා කරනවා. ඔවුන් ජාතිවාදී නැති ප්‍රවණතාවක් දැන් නියෝජනය කරන බව කිව යුතුයි. එයත් වැදගත් ලෙස අප දකිනවා. එහෙත්, දීර්ඝ කාලයක් තිස්සේ උතුරේ ඉඩම් සහ අනෙකුත් අයිතීන්ට අදාල ඉල්ලීම් සලකා බලන විටත්, දෙමළ හා මුස්ලිම් ජනතාවගේ තිබෙන සැකයන් සහ බිය ගැන සලකා බලද්දී මා හිතනවා අඩු තරමේ ඉඩම් බලතල පමණක් හෝ බෙදා හැරීමට සිදු වෙන බව. එය දෙමළ ජනතාවට දේශපාලන විශ්වාසයක් ඇති කිරීමට යම් මට්ටමක හෝ බලපෑමක් වේවි. රජය මීට පෙර ප්‍රතිසංස්කරණවලදී සිදු වූ දේවල් කිව යුතුයි. මේ මොහොතේ පුරාවිද්‍යාව සහ වනජීවී- වන සංරක්ෂණ ඉඩම් ලෙස ඉඩම් ලබා ගැනීමේ ක්‍රියාවලියක් තිබෙනවා. උතුරු- නැගෙනහිර සිංහල බෞද්ධකරණය කිරිමේ ව්‍යාපෘතියක් අදටත් පවතිනවා. එය නතර විය යුතුයි.

ජාතික ජන බලවේගය තමයි මේ මොහොතේ දකුණේ ජනප්‍රියම දේශපාලන කණ්ඩායම, ඔවුන් උතුරේ මැයි දින රැළියක් කළා. ඊට කලින් කරපු රැස්වීමකට සුමන්තිරන් මහතාත් පැමිණියා. ඔබ කීවා වගේ ජාතිවාදී නැති රාජ්‍යයක් ගොඩනැගීමයි ඔවුන්ගේ පොරොන්දුව. ආර්ථික- දේශපාලන සමානාත්මතාව සහ නීතියේ ආධිපත්‍යය සමග ජනවාර්ගික ප්‍රශ්න යටපත් වනු ඇති බව ඔවුන් සෑහෙන දුරට පොරොන්දු වෙනවා. වෙනසකට තිබෙන්නේ මහින්ද රාජපක්ෂ වාගේ, අනුර කුමාර දිසානායකලා තමන්ගේ දේශපාලන වාසියට ජාතිවාදය පාවිච්චි නොකරනු ඇති බව අපට විශ්වාස කරන්නට ඉඩකඩ තිබීමයි..

ජනතා විමුක්ති පෙරමුණට දැඩි ජාතිවාදී ඉතිහාසයක් තියෙනවා. යුද්ධයට සම්පූර්ණ සහයෝගය දෙමින් ඔවුන් කටයුතු කරපු ආකාරය, ඒ වගේම 2005 දී රාජපක්ෂ ආණ්ඩුව බලයට ගෙන ඒම සදහා ඔවුන්ගේ මැදිහත්වීම ආදිය. සාම සාකච්ඡාවලට විරුද්ධ වූ ආකාරය ආදී ඉතිහාසයක් තියෙනවා. ඔවුන්ගේ දේශපාලනයේ  ඉතිහාසය ගැන ඔවුන් ජනවාර්ගික දේශපාලනය ගැන තමන්ගේ ඉතිහාසය වෙනුවෙන් සමාව ඉල්ලා සිටිය යුතුයි. ඔවුන් කිව යුතුයි, තමන්ගේ දේශපාලන ඉතිහාසයෙන් දැන් තමන් වෙනස් වී සිටින බව. එම ඉතිහාසය ආමන්ත්‍රණය කිරීම ඉතා වැදගත් බව පළමු කාරණය විදියට මා දකිනවා. දෙවැනි කාරණය, බලයට බෙදීමට අදාලව. සමානාත්මතාව, වෙනස් කොට සැලකිමෙන් වැළකීම ආදී ඔවුන් දැනට ඉදිරිපත් කරන කරුණු වැදගත්. එහෙත්, ඔවුන්ගේ ඉතිහාසය සහ අතීතයේ කළ දේවල් එක්ක බැලුවාම උතුරු- නැගෙනහිර දෙමළ ජනතාව ඔවුන්ව විශ්වාස කරන්නේ නෑ. ඔවුන් බලයට ඇවිදින් ජනපදකරණය නැවැත්වුවත්, පැහැරගත් ඉඩම් නැවත ලබා දුන්නත්, පුරාවිද්‍යාව යොදාගෙන සිදුකරන දැන් සිදුවෙන හිංසනය නැවැත්වුවත්, දෙමළ ජනතාව එක්ක දේශපාලන නායකයන් විදියට මැදිහත් වුණත් එයින් පසු ජනතාව ඔවුන්ව විශ්වාස කරන්න පටන් ගනීවි. එහෙත්, මේ මොහොතේ දෙමළ ජනතාවට ඔවුන් කියන්නට උත්සාහ කරන දේ විශ්වාස කරන්නට අසීරුයි. ඒ වගේම, එසේ විශ්වාස කරනු ඇතැයි ඔවුන් විශ්වාස කරනවා නම් එය ටිකක් පදනම් සහගත නොවන විශ්වාසයක්. ඔවුන් ක්‍රියාකාරීව කටයුතු කළොත් ඔවුන් විශ්වාස කරන්නට පටන් ගනීවි.

දකුණේ ජනමාධ්‍ය සහ පොලීසිය කියන්නේ උතුරේ සැමරුම්වලදී එල්ටීටීඊය ප්‍රවර්ධනය කරන බව. එහෙත්, සැබෑ ලෙසම සිදු වෙන්නේ මරණයට පත් වූ පුද්ගලයන් සිහි කිරීම. ඉඩම් අත්පත් කරගැනීම ගැන පවා උතුරේ සහ දකුණේ දෘෂ්ඨිය සම්පූර්ණයෙන් එකිනෙකට වෙනස්. ඒ කියන්නේ උතුරේ එක් කතාන්දරයක් සහ දකුණේ වෙනත් කතාන්දරයක්. ඒ නිසා යමක් පැහැදිලි කරන එක අමාරුයි. ඒ නිසා බොහෝ දේශපාලන නායකයන්, ක්‍රියාකාරීන්, වෘත්තිය සමිති උත්සාහ කරන්නේ නිහඩව ඉන්න. එයින් පසු ඒ ඉතිහාසය ඉබේම අමතක වී යාවි කියා බලාපොරොත්තු වෙනවා. අරගලයේදී රාජපක්ෂලා කරපු කියපු හැමදේම දකුණ ප්‍රශ්න කළා. දූෂණය, පාස්කු ඉරිදා ප්‍රහාරය ආදී සියලු දේ ප්‍රශ්න කළත් රාජපක්ෂලා යුද්ධය කරපු විදිය ප්‍රශ්න කළේ නෑ. මෙම තත්වය ගැන ඔබේ හිතේ කුකුසක් තියෙනවාද? 

මම හිතන්නේ ඔබ කියන එක හරි. මම දකුණේ ඉන්න කෙනෙක් නෙවෙයි. එහෙත් මා දන්න විදියට දකුණ රාජපක්ෂලා පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට වගේම ආර්ථික අර්බුදයට වගවිය යුතු බව ඉල්ලනවා. ඒත්, යුද්ධය ගැන කතා කරන්නේ නෑ. යුද්ධයට පාදක වූ දේශපාලන හේතු පිළිගැනීමට දකුණේ ජනතාව සූදානම් නැහැ. දකුණේ ශිෂ්‍ය ව්‍යාපාරය, වෘත්තිය සමිති ව්‍යාපාරය වගේම සිවිල් සමාජයේ ඇතැම් පාර්ශ්වවලින් අපට ඒ බව පේන්න තියෙනවා. එහෙත්, දැන් ප්‍රශ්න අහන්න පටන් ගන්න ඕනෑ. ඇයි දෙමළ ජනතාව තමන්ගේ අයිතිය වෙනුවෙන් සටන් කළේ. ඔවුන් යුද්ධයට පෙර තමන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින්නට උත්සාහ කළ මොහොතේ ඔවුන්ට මුහුණ දෙන්නට සිද්ධවුණේ කොහොමද? දකුණේ දේශපාලන නායකයන් විසින් ඔවුන්ව පාවා දුන්නේ කොහොමද? දකුණේ සිංහල ජනතාව තමන් යුද්ධයට සහයෝගය දුන් බව සහ සුළුතරයට එරෙහි හිංසනයට ක්‍රියාකාරීව හෝ අක්‍රියව සිටීමෙන් සහයෝගය දුන් බව පිළිගන්න වේවි. ඒ වගේම, අපට ඕනෑ සියලු ජනකොටස් සමානව සැලකීමට ලක් වෙන රටක් අපට ඕනෑ බව තේරුම් ගන්නට සිදු වේවි. අපට ඕනෑ බුද්ධාගමට පමණක් ප්‍රමුඛත්වය දුන්, දෙමළ ජනතාවගේ ඉඩම් සිංහලකරණයට නතු කරගත්, දෙමළ ජනතාවට හිමි අවස්ථා සීමා කරන ලද රටක් නෙවෙයි. යුද්ධයේ වේදනාව සිහිපත් කිරීම පවා මර්දනය කරන ලද රටක් නෙවෙයි. දෙමළ ජනතාව යුක්තිය ඉල්ලා සිටියදී ඒ හඩ යටපත් කරන ලද රටක් නෙවෙයි. දකුණේ ජනතාව උතුරේ අරගලය අවබෝධ කරගැනීම ඉතා වැදගත්.

Author

Discover more from WHAT NEWS

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading