Saturday, May 18

අනුර- සජිත් එක් විවාදයක් වෙනුවට විවාද දෙකක්! නියමයි අපි ලෑස්ති කරන්නම් වැඩේ! – පුරවැසි විවාද වේදිකාවක් ගොඩනගන්නේ කොහොමද?

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස අතර විවාදය සංවිධානය කිරීම සදහා මේ වෙද්දී මාධ්‍ය ක්ෂේත්‍රයේ ලොකු බලපෑමක් කරපු දැවැන්තයෙක් සූදානමින් සිටින බව කියනවා. එම දැවැන්ත මාධ්‍යවේදී සහ මාධ්‍ය විද්වතා ගැන අපට විරෝධයක් නෑ. ඒත්, මේක සංවිධානය කෙරෙන විදිය ගැන අපට කියන්න දේවල් රැසක් තියෙනවා. එය වඩාත් පුළුල් විය යුතුයි.

එම නිසා, අපගේත් හිතමිතුරෙකු වන අදාල මාධ්‍ය බලවතාට, විවාදයට සහභාගී වන පක්ෂ දෙකට සහ පොදුජනතාවට අවධානයට යොමු කිරීම උදෙසා කරුණු කිහිපයක් අපට කියනවා. මේ අදහස මා ඉදිරිපත් කරන්නේ ලංකාවේ විචාරශීලී දේශපාලනයක් නිර්මාණය කිරීමට වෙහෙස වූ ඔන්ලයින් මාධ්‍ය සම්ප්‍රදාය නියෝජනය කරමින්.

දැන් මේ විවාද කතාව තියෙන්නේ කාටවත් විවාදයෙන් පලා යන්න බැරි තැනක. ජනතාව විවාදයට කැමතියි. අන්තිමේ විවාදය නොපැවැත්වුණොත්, ඔය දෙපාර්ශ්වයේම අවංකභාවය අපි නම් ප්‍රශ්න කරනවා.

කලින් කී තොරතුරු අලුත් අවුරුදු සමය අවසන් වුණාට පස්සේ විවාදය පවත්වන්නට තමන්ගේ නම දැන්ම ප්‍රසිද්ධ වෙනවාට අකමැති වූ පෙර කී මාධ්‍ය ප්‍රබලයා සූදානම් බවත්, එම විවාදය එක් රූපවාහිනී නාළිකාවකට බාර නොදී යම්කිසි පොදු ස්ථානයක පවත්වන බවත් කියනවා.

ඒ අනුව විවාදය විකාශය කිරීමේ හැකියාව ඕනෑම මාධ්‍යයකට සම සමව ලැබෙනවා. ඇත්තටම ඒ ආකෘතිය ඉතා යහපත්. එහෙත්, විවාදය පවත්වන ආකෘතිය ගැන විශේෂ දේවල් කිහිපයක් අපට කියන්න තියෙනවා. එය පසුවට තබමු.

කෙසේ වෙතත් අපි හිතන්නේ මේ දෙපාර්ශ්වයම එකිනෙකා එක්ක විවාදය කරන්න පොඩි නොකැමැත්තක් දැක්වුවා. ඒ නොකැමැත්ත ප්‍රතිවාදියාට තියෙන බයම විතරක් නෙවෙයි. ඔය විවාදය ඉවරවෙද්දී ජයග්‍රාහකයන් ඉතිරි වේවි කියා හිතන්නත් අමාරුයි. හැමදාම ටීවී එකේ අපි විවාද දකිනවා. අහවලා දින්නා කියා කියන්න බෑ. ඔය දෙපැත්තටම විවාදය ඉවරවෙලා තමන්ගෙ නායකයාගෙ කෑලි කප කපා දාලා අපි තමයි දින්නේ කියලා කියන්න පුළුවන්. ප්‍රතිවාදී නායකයාට වචනයක් පැටලෙන මොහොතක් වගේ තිබුණොත් ඒ කෑල්ල අල්ලාගෙන අන්න ප්‍රතිවාදියාට කටඋත්තර නැතිවුණා කියලා කියන්නත් පුළුවන්. ඒ නිසා විවාදය පරදීවි කියන බය ඔය දෙපාර්ශ්වයටම නැති වේවි.

ඇත්තටම කතාව තියෙන්නේ, ඔය විවාදය ඉවරවෙද්දී ඔය දෙපාර්ශ්වයටම නිරාවරණය වෙන්න වෙනවා තුන්වැනි පාර්ශ්වයකට. ජනතාවට.

විවාදයක් ඇයි?

විපක්ෂයේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා අතර වහාම විවාදයක් පැවැත්වීමේ අවශ්‍යතාවක් තියෙනවා. අප පැහැදිලිව විශ්වාස කරන විදියට වත්මන් ආණ්ඩුවට සම්බන්ධ කිසිම කෙනෙකුට ඉදිරි ජනාධිපතිවරණයේදී බලය නොලැබිය යුතුයි. ඒ තමයි මුල්ම කොන්දේසිය. ඒ අනුව අරගල කරපු ජනතාවට අයිතියක් තියෙනවා විපක්ෂයේ තියෙන ප්‍රධාන බලවේග දෙක අතරින් එකක් තෝරාගැනීම සදහා එක් විවාදයක් හෝ විවාද මාලාවක් දිහා බලන්නට.

මෙවැනි විවාදයකදී හෝ සංවාදයකදී හෝ ඕනෑම තැනකදී දෙපාර්ශ්වයෙන්ම බලාපොරොත්තුවන ප්‍රධාන කාරණා කිහිපයක් අප දකිනවා.

  • ණය අර්බුදය විසදන්නේ කොහොමද? (ණය ප්‍රතිව්‍යුහගතකරණය)
  • ආර්ථික වර්ධනය ඇති කරන්නේ කොහොමද?
  • ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කරන්න බලාපොරොත්තු වන්නේ කුමන පදනමින්ද?
  • ආයතන පෞද්ගලිකකරණය ගැන මතය කුමක්ද?
  • ජනවාර්ගික ගැටලු සහ ඒ ආශ්‍රිත කාරණා ගැන සැලසුම මොකක්ද? (බලය බෙදීම සහ අනෙකුත් දේ)
  • දූෂණ මර්දන ප්‍රතිපත්තිය මොකක්ද?
  • ලංකාවේ කෘෂිකර්මාන්තය පිළිබද ප්‍රතිපත්තිය කුමක්ද? ගැමි ගොවි ජීවිතය නගා සිටුවන්නේ කොහොමද?
  • ජාත්‍යන්තර සම්බන්ධතා හසුරුවන්නේ කෙලෙසද?

ඔය උඩින් කීව බුලට් පොයින්ට් කිහිපය උදාහරණ විදියට ගෙනා අදහස් කිහිපයක්. මෙවැනි විෂයන් පිළිබද පක්ෂයක් තනිවම ප්‍රතිපත්ති ඉදිරිපත් කරද්දී ඒවා හරිම දියාරුයි.

මේ විවාදය අවශ්‍ය වන්නේ, පෙර කී දෙපාර්ශ්වය අතර ගැටුමෙන් කවුද දිනන්නේ කියා බලන්න විතරක්ම නෙවෙයි. විශේෂයෙන් සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය හිටගන්නේ මොන ස්ථාවරවලද කියා දැකීම අප වැනි අයට අපේ අදහස් ඍජුව කියන්නටත් උදව්වක් වෙනවා. (මෙම කොටසේදී අප කියන එකෙන් අදහස් වන්නේ මා අයත් වන වෘත්තිය සමිති, විකල්ප විද්වතුන් ඇතුළු රනිල්ගේ ආර්ථික සැලසුම්වලට වඩාත් ජනතාවාදී විකල්ප සොයා යන පිරිසක්. ඊළග කොටසේදී අප කියන එකෙන් අදහස් වන්නේ මේ කණ්ඩායමම නෙවෙයි.)

උදාහරණයක් ලෙස අප කණ්ඩායමක් විශ්වාස කරනවා ණය අර්බුදයට අදාලව මේ රටේ සමස්ත ණය සම්පූර්ණයෙන් විගණනයට ලක් කළ යුතු බව. එයින් පසු, දූෂිත ණය සම්පූර්ණයෙන් කපා හැර දැමිය යුතු බව. ඔන්න ඔය කතාව කීව ගමන් කලබල වෙන ඉතා බලගතු ජාත්‍යන්තර පාර්ශ්වයන් ගණනාවක් සිටිනවා.

දෙවැනියට අපි කියනවා ඩොලර් බිලියන 56කට වැඩි ප්‍රමාණයක් නීතිවිරෝධීව රටින් පන්නා විදේශ රටවල ගොඩගසා තිබෙනා බව. ඒවා ගැන පුළුල් විමර්ශන ආරම්භ කිරීම වහාම සිදු කළ යුතු ක්ෂණික කාර්යභාරයක්. අපට කිව හැකියි කාර්යක්ෂමව පරීක්ෂණ සිදු කළහොත් වසර තුනක වැනි කෙටි කාලයක් ඇතුළත ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපට දෙනවාට වඩා වැඩි දේපළ ප්‍රමාණයක් යළි අත්පත් කරගත යුතු බව.

තුන්වැනියට අපි සම්පූර්ණයෙන් පටහැණි මතයක් දරනවා රාජ්‍ය ආයතන පෞද්ගලිකකරණය කිරීමට අදාලව. විශේෂයෙන් ආණ්ඩුවට බිස්නස් කරන්න බැහැ කියලා රනිල් වික්‍රමසිංහලා කියනවා. රනිල්ලාට උපදෙස් දෙන අයත් ඒකම කියනවා. අපි කියනවා, දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ජර්මනියේ නැගීම, ජපානයේ නැගීම සහ පසුකාලීනව වියට්නාමය සහ කොරියාව අර්බුදවලින් ගොඩයෑම වැනි අවස්ථාවලදී පාවිච්චි කරපු විදියටම- ඒ සියල්ලට වඩා මෑතකාලීන චීනයේ ලෝක ආර්ථිකයේ අංක එකේ බලවතා දක්වා නැගී ආ ආකාරයට රාජ්‍යයට ආර්ථිකය සංවර්ධනය කිරීම පිළිබද සැලසුමක් තිබිය යුතු බව. අපේ රටේ තිබෙනවා මාකට් ෆේලියර් එකක් හෙවත් වෙළදපළ අසමත්වීමක්. අපේ රටේ බලගතු ව්‍යාපාරිකයන් 10 දෙනා නම් කළොත් එක ගොබිලෙක්වත් නවෝත්පාදන මගුලක් කරලා ආර්ථික වර්ධනයක් හදාගත් අය නෙවෙයි. ඉතා දූෂිත විදියට රාජ්‍යය එක්ක ගනුදෙනු කරපු අය. තිරය පසුපස දේශපාලුවන්ගේ හිතවතුන්. මිනිස්සුන්ගෙ මහන්සිය හූරාකමින් මූලිකම වෙළදාම්, සේවාවන් විතරක් කරලා සල්ලි ගොඩගසමින් බදු පැහැරහැරීමෙන් පොරවල් වූ අය. ඔය කිසි කෙනෙකුට බාරදීමෙන් රටේ ආර්ථිකය ගොඩයන්න බෑ. මෙරටට එන ආයෝජකයන් පවා බොහොමයක් ඉතා දූෂිතයි. ඒ නිසා රාජ්‍ය උපායමාර්ගික සැලසුම් සහ ආයෝජන නැතිව ආර්ථිකය ගොඩගන්න බෑ.

මෙවැනි ආකාරයට අප වැනි අය මේ අර්බුදයට අදාලව සම්පූර්ණයෙන්ම රනිල්-අයිඑම්එෆ්- ලෝක බැංකු සහ අනෙක් බටහිර රටවල්වල ඇජෙන්ඩාවට පරස්පර විකල්ප යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. කලින් සදහන් කළ හා නොකළ ධනපතියන්ට බදු ගැසීම්, දූෂණවලින් හොරාකෑ ධනය යළි අත්පත් කරගැනීම් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග යළි මුල සිට සාකච්ඡා ඇරඹීම්, ඒ අතරතුර එම අරමුදලට පරිබාහිර මූලාශ්‍රවලින් සංවර්ධනයට අවශ්‍ය ප්‍රාග්ධනය සපයාගැනීම් ගැන යෝජනා තොග ගණන් තියෙනවා.

ඒ සියල්ල අපි සූත්‍රගත කරගෙන තියෙන්නේ ජනතාවට තවදුරටත් මේ අර්බුදයේ බර දරන්න බැරි හින්දා. ලංකාව ආර්ථික අර්බුදයෙන් ගොඩගැනීමේ සූත්තරේ හදන්න ඕනෑ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විදියට එන විදේශිකයනුත්, ලංකාවේ මහපොළොවේ පය නොගහන අසංවේදී විදියට විෂම ලෙවල් එකක පඩියක් ගන්න මහබැංකුවේ නන්දලාල් මංකොල්ල කල්ලියයි රනිල් වික්‍රමසිංහ වැනි අසංවේදී මිනිස්සුයි නෙවෙයි. ලෝක ආර්ථිකේටම කෙළවපු ආර්ථික චින්තන රටාවක තවදුරටත් මේ රට හිර කරන්න බෑ. ලංකාව ගොඩගන්න සැලසුම ජනතාවාදී වෙන්න ඕනෑ. අරගලයට අවංක වෙන්න ඕනෑ.

ඉතින්! අපි විවාදයක් ඉක්මනින්ම ලෑස්ති කරන්න ඕනෑ ඔය දෙපාර්ශ්වයම එකිනෙකාව ප්‍රශ්න කරගනිද්දී ඒ් දෙපැත්තේම හරි ස්ථාවරයන් ජනතාවට දකින්න ලැබෙන හින්දා. ඔය දෙපැත්තේම මතවාද අපි විග්‍රහයන්ට ලක් කරනවා. එය මොන තරම් ජනතාවාදීද කියා පරීක්ෂාවට ලක් කරනවා. උදාහරණයක් විදියට පහුගිය කාලයේ අපි ජාතික ජන බලවේගයට පවා සුහදව හිටියත්, ප්‍රතිපත්ති විග්‍රහයේදී ඒවා අදාල නැහැ.

විවාද නාට්‍යය

දැන් මේ විවාද කතාව රූපවාහිනී නාළිකාවල ප්‍රවෘත්ති කටගැස්මක් වෙලා තියෙනවා. සාමාන්‍ය යෙන් ටීවී ප්‍රවෘත්ති කියන්නේ කිසි තේරුමක් නැති නාට්‍යයක්. දවල් වරුවේ මිනිස්සු මයික් ඉස්සරහා කරපු විනාඩි පහේ දහයෙ කතාවලින් තප්පර 10 කුණු කෑල්ලක් සෙවීමට අතිදක්ෂ රූපවාහිනී ප්‍රොඩියුසර්ස්ලාව (අපේ යාළුවන්ව) පඩි ගෙවලා තියාගෙන ඉන්නවා ටීවී චැනල් අයිතිකාරයන්.

ඉතින්, විවාදය ගැන කියන චූටි චූටි කෑලි නැගලා යනවා. ඕකෙදී දැන් විවාදය ගැන විවාදයක් ගොඩනැගිලා.

  • විවාදයට මුලින්ම කතා කළේ තමන් බව ජාතික ජන බලවේගය මතක් කරනවා.
  • විවාදය මුලින් එන්න ඕනෑ ජාතික ජන බලවේගයේ සහ සමගි ජන බලවේගයේ ආර්ථික විශේෂඥයන් අතර බව සමගි ජන බලවේගය කියනවා. ඔවුන් හිතන්නේ හර්ෂ ද සිල්වා කියන්නේ සියල්ල කටපාඩම් නිසා පරාජය කරන්න අසීරු හරිම බලවත් චරිතයක් විත්තිය. හර්ෂව පරද්දන්න ජාතික ජනබලවේගයේ කාටවත් දැනුම නැති විත්තිය.
  • ජාතික ජන බලවේගය කියන්නේ විවාද දෙකටම ලෑස්ති නමුත්, මුලින් සජිත්- අනුර විවාදය පවත්වන්න ඕනෑ බව. ඒක ඉක්මනින් පැවැත්වීම වැදගත් බව. හදිසියේවත් සජිත් විවාදයට එන්න කැමති නැත්නම් ඒ බව දන්වන්න කියනවා.
  • ඒ අස්සේ නලින් බණ්ඩාර කියනවා ජාජබ විවාදයට බයයිලු, බල්ලන් නාන්න ගෙනියනවා වගේලු.
  • හරිනි අමරසූරිය කියා තියෙනවා විවාද මාතෘකාව සජබ අරන් තියෙන්නේ සජිත් ප්‍රේමදාසව යට යවන්නලු. ඒක සජබ ඇතුළේම ඇති වූ කුමන්ත්‍රණයක්ලු. ඒ ප්‍රකාශය අනුව විවාදය උඩට ගත්තේ සජබ.
  • ඒත්, නලින්ද ජයතිස්ස නිවේදනයක් දමමින් කියා තියෙනවා විවාදය ගැන මුලින්ම කිව්වේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ජනවාරි 09 වැනිදා සලකුණ වැඩසටහනේලු. දැන් ඒ බව යටපත් කරනවාලු.
  • සජබ ඒ අස්සේ කියනවා, සජිත් විවාදයට එන්න බය නෑලු. ඒත්, විවාදයට හර්ෂ ද සිල්වා එක්කලු එන්න ඕනෑ.
  • නලින්ද ජයතිස්ස කියා තිබෙනවා මෙම විවාදය ගැන බදාදා සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබුණත් ඒකට නලින් බණ්ඩාර ආවේ නැති විත්තියක්.

ඉතින් ඔය විදියට එකම තැන කැරකෙන කතා දෙපැත්තටම වැනෙනවා.

කෙසේ වෙතත් අන්තිමට නලින්ද ජයතිස්ස ඉදිරිපත් කළ නිවේදනයේ යෝජනා දෙකක් තියෙනවා.

01. ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර රට වැටී ඇති සමස්ත අර්බුදයෙන් ගොඩගැනීමේ මාවත පිළිබඳ විවාදයක් පැවැත්වීමට අප සූදානම්ය.

02. යම් හෙයකින් එවැනි විවාදයකට සමගි ජන බලවේගය සූදානම් නොමැතිනම් හා ඒ අනුව එවැන්නක් නොපැවැත්වෙන්නේ නම් ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සලය, සමගි ජන බලවේගයේ ඒ හා සමාන නියෝජනයක් දරන කණ්ඩායමක් සමග විවාදයක් පැවැත්වීමට සූදානම්ය.

සමගි ජන බලවේගය කියා තියෙනවා, දෙවැනි විවාදය හෙවත් ආර්ථික විෂයට අදාල නියෝජිතයන් අතර විවාදය සදහා දිනයක් තීන්දු කරන්නේ නම්- පළවැනි විවාදය පවත්වන්න ඕනෑ බව.

ඒ කියන්නේ එකවර විවාද දෙකටම දින තීන්දු කෙරෙන්න වේවි. තැනක් තීන්දු කරන්න වේවි.

විවාදය මෙහෙවන්න ඕනෑ අපි

තව විශේෂ කරුණක් කියන්න ඕනෑ. මේ විවාදය අයත් වන්නේ අපි මෑත ඉතිහාසයේ ගොඩනැගූ ජනමාධ්‍ය කලාපය අපි කලින් කීව මාධ්‍ය බලවතාගේ මැදිහත්වීම මොහොතකට අමතක කළත් කිසිදු ටීවී චැනල් එකකට මේ විවාදය බාරදීමේ හැකියාවක් නෑ.

ශ්‍රී ලංකාවේ දැනට සිටින කිසිදු ප්‍රධාන රූපවාහිනී නාළිකාවකට මෙවැනි විවාදයක බර දරාගැනීමට අවශ්‍ය මෙහෙයවන්නන් නැති බව අප අනුමාන කරනවා. යම් දුරකට හෝ සුදුසුකම් ඇත්තේ නිව්ස්ෆ්‍රස්ට් ආයතනයේ අශෝක ඩයස් වාගේ කෙනෙකුට පමණයි. එහෙත්, අප විශ්වාස කරන විදියට ඒ ලොකු ලොකු චරිත කාටත් වඩා මෙවැනි විවාදයක බර දරාගැනීමේ හැකියාව, සදාචාරාත්මක අයිතිය සහ සියලු දේවල් ඇත්තේ ඔය ප්‍රධාන ධාරාවේ රූපවාහිනී නාළිකාවලට පිටින් බව.

මේ ගැන මම බෘනෝ දිවාකර එක්කත් කතා කළා. අපි හිතන විදියට එවැනි විවාදයක ආකෘතිය සකස් කිරීමේ, මෙහෙයවීමේ සහ අනෙකුත් කටයුතුවල වගකීම ගැනීමේ අයිතිය, හැකියාව, සදාචාරාත්මක බලය තියෙන්නේ අපට බව. (කලින් කොටසේදී අපි කියා අදහස් කරපු පිරිසම නෙවෙයි මෙතැනදී අපි කියා අදහස් කරන්නේ.) මෙතැනදී අපි කියන එකෙන් අදහස් කරන්නේ කවුද?

  • දැනට සිටින යූටියුබ්, වෙබ් අඩවි සහ සමාජ මාධ්‍යවල කටයුතු කරන ස්වාධීන මාධ්‍යවේදීන්. (සටහන්, සේපාල්, එස්එල් ව්ලොග්, දර්ශන හදුන්ගොඩ, භාරත, නිව්ස් 19, ලයිෆ් ට්‍රැවලර්, නිව්ස් සෙන්ටර්) අපි මේ රටේ ජනමාධ්‍ය අවකාශ්‍ය උඩුයටිකුරු කළා. අලුතින් පටන්ගත් අපේ ජනමාධ්‍ය ආයතන ගොඩකට එකතු වී මෙවැන්නකදී දායකත්වය දිය හැකියි.
  • අනෙක් පැත්තෙන් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඇතුළු නූතනයේ ස්වාධීන ජනමාධ්‍ය අවකාශ්‍යක් වෙනුවෙන් හඩනගපු තරුණ මාධ්‍යවේදීන්ගේ කණ්ඩායම්.

ඒ කියන්නේ අනේ අපි මේ විවාදය සංවිධානය කරන්නම්- අපට බාර දෙන්නකෝ වැඩේ කියලා අපි කාගෙන්වත් ඉල්ලීම් කරනවා නෙවෙයි. ඔය විවාදය අපි කළත් එකයි නැතත් එකයි.

එහෙත්, අපි කියනවා මේ විවාදය මහජනතාව වෙනුවෙන් හරිහැටි සංවිධානය කරන්න පුළුවන් අපට. ඕනෑ නං අපි කරන්නම්. නැත්නම් ඕනෑ මගුලක් කරගන්න කියා.

කෙසේ වෙතත් අන්තිමේ සජිත්, අනුර විවාදයත් ඔය සමහර ටීවී චැනල් අස්සේ ලැග්ගොත්- ඕක මෙහෙයවීම ප්‍රමිතියෙන්, දැනුමෙන් සහ වුවමනාවෙන් මේ වැඩේට නොගැලපෙන ප්‍රසන්ටර්ස්ලා අතට දුන්නොත් අපි නම් අපේ පැත්තෙන් පිළිකුල සහ නොසතුට ප්‍රකාශ කරනවා.

අප කලින් කී, මාධ්‍ය බලවතා විවාදයේ හෝ විවාද මාලාවේ කටයුතු සූදානම් කරන්නේ නම්, එහි ආකෘතිය තුළදී අප වැනි ස්වාධීන මාධ්‍යවේදීන්ට ප්‍රතිපත්තිමය ප්‍රශ්න ඉදිරිපත් කිරීමේ අවස්ථාව අනිවාර්යයෙන් අවශ්‍යයි. විවාදය සැලසුම් කිරීමට අප වැනි අය සහභාගී වූ සාකච්ඡාවක් අවශ්‍යයි. ඒ වගේම වඩාත් පුළුල් සහ දියුණු ආකෘතියක් ගොඩනැගීමට අපට දායකත්වය ලබා දිය හැකියි.

මොකද මේක ඓතිහාසික වැඩක්. අනාගතයට පූර්වාදර්ශයක් විය යුතු වැඩක්. එවැන්නක් ශක්තිමත්ව ගොඩනැගීම අද මේ රටේ පුරවැසි ජනමාධ්‍යකරණයේ ප්‍රමුඛයන් වන අපේ අයිතියක්. කාටවත් ඩීල් දාලා ඒ අයිතිය අපෙන් ඩැහැගන්න අයිතිය නෑ.

ප්‍රාග්ධනය

මෙය ජනමාධ්‍ය කටයුත්තක් පමණක් නෙවෙයි.

මෙවැනි විවාදයක් සංවිධානය සදහා යන විවාදය අති දැවැන්තයි. රූපවාහිනී ස්ටුඩියෝ එකක් වෙනුවට සජීවී ස්ථානයක කරන්න ඕනෑ. පොදු ස්ථානයක් වෙන් කරගැනීම, එයට සජීවී ප්‍රේක්ෂකාගාරයකට ආරාධනා කිරීම, ප්‍රධාන මෙහෙයවන්නා සහ අනෙකුත් ප්‍රශ්න ඇසීම් සදහා මාධ්‍යවේදීන්, සජීවී පටිගත කිරීම, විකාශය කිරීම, පූර්ව සූදානම් වීම් ආදිය සදහා අති දැවැන්ත වියදමක් වැය වේවි.

එවැනි විවාදයක වියදම දැරීම කවුරුහෝ ව්‍යාපාරිකයෙක්ට, ටීවී චැනල් අයිතිකාරයෙක්ට හෝ කළු සල්ලි වියදම් කරන්නෙක්ට පැවරීමේ හැකියාව නැහැ. ඒ වෙනුවට ඒ වගකීම ගත යුත්තේ මෙරට මැතිවරණ නිරීක්ෂණ කිරීම සහ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කටයුතු කරන සිවිල් සංවිධාන විසින්. මාර්තු 12 ව්‍යාපාරය වැනි සංවිධාන තුළ සර්වෝදය, පැෆරල් සංවිධානය ආදිය තියෙනවා. නීතිය හා සමාජ භාරය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ඇතුළු ආයතන මෙහි බරපැන දැරිය යුතුව තිබෙනවා. ශ්‍රී ලංකා නීතිඥ සංගමය හෝ නීතිඥ සාමූහිකය සහ අනෙකුත් සමාජයේ පිළිගත් ස්වෙච්ඡා සංවිධාන මෙම විවාදය සංවිධානය කිරීම සහ සියලු කටයුතු අධීක්ෂණයට ලක් කළ යුතුයි.

අන්න ඒ විදියට අපට මේ වෙලාවේ පුරවැසි විවාද වේදිකාවක් ගොඩනගාගත හැකියි. එවැනි වේදිකාවක මෙම විවාදය එක් තනි විවාදයක් ලෙස නොවෙයි, යෝජනා වී ඇති පරිදි නායකයන් දෙපළ අතර විවාදය සහ ආර්ථික විෂයට අදාල පාර්ශ්ව දෙක අතර ලෙස විවාද දෙකක් පැවැත්විය යුතුමයි.

ඒ අතර ඔය දෙපාර්ශ්වයම වඩාත් පුළුල් ලෙස තම තමන්ගේ ආර්ථික, සමාජ, සංවර්ධන සැලසුම් නිශ්චිත වැඩපිළිවෙලවල් ලෙස ඉදිරිපත් කළ යුතුයි. ආර්ථිකය ගැන කියද්දී අහවල් තැනට මුල් තැන දෙනවා, වඩාත් පුළුල් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනවා, ජාත්‍යන්තරයේදී නොබැදි ප්‍රතිපත්ති අනුගමනය කරනවා වගේ වටේ යන කතා වෙනුවට නිශ්චිත දේවල් කියන්න ඕනෑ. උදාහරණයක් විදියට ටෙලිකොම් විකුණනවාද නැද්ද? ගොවිතැනට අදාලව සහනාධාර ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනවාද නැද්ද? මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබද අහෝසි කරන්න පනතක් කෙටුම්පත් කරනවාද නැද්ද? ඒක දැන්ම කෙටුම්පත් නොකර ඡන්දෙ එනතුරු ඉන්නේ ඇයි? විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවාද? නැද්ද?

මේක හොරගල් අහුලන වෙලාවක් නෙවෙයි. දෙපැත්තම තමන්ගෙ නිශ්චිත වැඩපිළිවෙල කියන්න කාලෙ හරි.

Discover more from WHAT NEWS

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading