රනිල්ගේ නඩුවෙන් දිලීප ඉවත් වෙන්නේ නෑ! රනිල් පිළෙන් බොරු ප්‍රචාරයක්

රජයේ මුදල් අවභාවිත කරමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ එංගලන්තයේ පුද්ගලික සංචාරයකට සහභාගී වීම පිළිබද නඩුවෙන් ඉවත් වීමට අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා ඉල්ලීම් කර ඇතැයි පැතිරෙන ප්‍රචාරය අසත්‍ය එකක් බව විශ්වාස කටයුතු ආරංචිමාර්ග පවසනවා.  

මේ වන විට විමර්ශන අවසන්ව ඇති එම සිදුවීමට අදාලව ජනවාරි 28 වැනිදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු දැක්වීමට නියමියි.

එසේ තිබියදී මෙලෙස ප්‍රචාරය කිරීමෙන් එම නඩුවට බලපෑම් කිරීම සහ දිලීප පීරිස් මහතාට බලපෑම් කිරීම සදහා කුමන්ත්‍රණකාරී උත්සාහයක් ඇතිදැයි සැකයක් මතු වනවා.  

මෙම නඩුවේ කරුණු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ වසරේ පළවැනි මාස කිහිපය ඇතුළතම  ත්‍රිපුද්ගල මහාධිකරණයක අධිචෝදනා ගොනු කිරීමට සැලසුම් කර තිබෙනවා.

ඒ සදහා නිර්දේශ කර ඇත්තේද අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් විසින්.

මේ වන විට පොලිස්පතිවරයාද ත්‍රිපුද්ගල මහාධිකරණයක් ඉදිරියේ නඩු ගොනු කිරීම සුදුසු බවට විශේෂ ඉල්ලීමක් සිදු කර තිබෙනවා.  

දැනට විමර්ශනවලට අවශ්‍ය වී තිබෙන්නේ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකගේ අත් අකුරු තක්සේරු වාර්තාවක් පමණක් බව ආරංචි මාර්ග පැවසුවා.

හිටපු ජනාධිපතිවරයාට සහ හිටපු ජනාධිපති ලේකම්වරයා යන දෙදෙනාටම එරෙහිව අධිචෝදනා ගොනු කිරීමට අපේක්ෂා කරන බවද වාර්තා වුණා.  

මෙම නඩුව ඓතිහාසික නඩුවක් වන අතර හිටපු ජනාධිපතිවරයෙකු ජනාධිපති ධුරයේ සිටියදී සිදු කළ අපරාධ වරදක් සම්බන්ධයෙන් මහාධිකරණයේ අධිචෝදනා ගොනු කරන ඉතිහාසයේ පළවැනි අවස්ථාව මෙය වනු ඇති.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading