ඩෙල්සි සහ ඇගේ සහෝදරයා වෙනිසුවේලාව බාරගනී! මදුරෝගේ පුතාත් සහායට

ඇමරිකානු හමුදා මැදිහත් වීමෙන් ජනාධිපති නිකොලස් මදුරෝ පැහැරගෙන යාමෙන් දින දෙකකට පසුව වෙනිසියුලානු පාර්ලිමේන්තුව විසින් ඩෙල්සි රොඩ්‍රිගස් එරට අන්තර්වාර ජනාධිපතිනිය ලෙස පත් කර තිබෙනවා.

පසුගිය සඳුදා ජාතික සභාවේ පැවති උත්සවයකදී ඇය සිය ධුරයේ දිවුරුම් දුන් අතර, මන්ත්‍රීවරුන් සහ දහස් සංඛ්‍යාත ජනතාවගේ සහයෝගය ඇයට හිමි වුණා.

“ජනතාවගේ නාමයෙන් මම මේ වගකීම භාර ගන්නවා”

දිවුරුම් දීමෙන් පසු සභාව ඇමතූ ඩෙල්සි රොඩ්‍රිගස් මහත්මිය ප්‍රකාශ කළේ, ඇමරිකාව විසින් ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවාගෙන සිටින නිකොලස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ සිලියා ෆ්ලෝරස් වෙනුවෙන් තමන් දැඩි ලෙස කම්පනයට පත්ව සිටින බවයි.

 “සමස්ත වෙනිසියුලානු ජනතාවගේ නාමයෙන් මම මෙම පත්වීම භාර ගන්නවා. අපගේ වීරයන් පැහැර ගැනීම ගැන අපි ඉන්නේ වේදනාවෙන්,”   යනුවෙන් ඇය සඳහන් කළා..

වෙනිසියුලානු නායකයා පැහැර ගැනීමෙන් පසු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැඩි ප්‍රකාශයක් කරමින් කියා සිටියේ මෙතැන් සිට වෙනිසියුලාව ඇමරිකානු පාලනය යටතට පත්වන බවයි.

තමන්ට එරෙහි වන්නන්ට නැවත පහර දෙන බවටද ඔහු අනතුරු ඇඟවූවා.

මීට අමතරව, සිය තෙල් ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණවලට අවනත නොවන්නේ නම් රොඩ්‍රිගස්ට ද නිකොලස් මදුරෝට වඩා දරුණු ඉරණමකට මුහුණ දීමට සිදුවනු ඇතැයි ඩොනල්ඩ් ට්‍රම්ප් වැඩිදුරටත් තර්ජනය කර තිබෙනවා.

එමෙන්ම ඩෙල්සි රොඩ්‍රිගස් අන්තර්වාර ජනාධිපතිනිය ලෙස පත්වන අතරතුර, ඇයගේ සහෝදරයා වන ජෝර්ජ් රොඩ්‍රිගස් නැවතත් පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස තේරී පත් වුණා.

මේ සමඟ වෙනිසියුලාවේ විධායක සහ ව්‍යවස්ථාදායක යන අංශ දෙකෙහිම බලය මෙම සහෝදර සහෝදරියන් දෙපළ සතු වී තිබෙනවා.

සැසිය ආරම්භයේදී මන්ත්‍රීවරු “නිකෝට ජයවේවා!” යනුවෙන් ඝෝෂා කරමින් සිය නායකයාට සහය පළ කළා.

ජ්‍යෙෂ්ඨ මන්ත්‍රී ෆර්නැන්ඩෝ සෝටෝ රොහාස් මෙහිදී කියා සිටියේ, “ට්‍රම්ප් තමන් ලෝකයේ නඩුකාරයා සහ පොලිස් නිලධාරියා කියා සිතා සිටියත්, තම නීත්‍යානුකූල ජනාධිපතිවරයා නැවත මිරාෆ්ලෝරස් මන්දිරයට ගෙන්වා ගැනීමට උපරිම සහය දෙන බවයි.

මදුරෝගේ පුත් මන්ත්‍රී නිකලස් මදුරෝ ගේරා ද වැඩබලන ජනාධිපතිනියට සිය සහය පළ කළා.

ඔහු පවසන්නේ, තම දෙමාපියන් නැවත එන තෙක් රට “ආරක්ෂිත දෑත්වල” පවතින බවයි.

මේ අතර ව්‍යවස්ථාදායකය පිටත රැස්වූ දහස් ගණන් ජනතාව “වෙනිසියුලාව නැගී සිටිනවා!” යනුවෙන් සටන් පාඨ කියමින් ඇමරිකානු මැදිහත්වීමට එරෙහිව විරෝධය පළ කළා.

හමුදාවේ සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ පූර්ණ සහය ඇතිව ඩෙල්සි රොඩ්‍රිගස් පාලනය භාරගෙන ඇති අතර, ඇය වොෂින්ටනයට සහයෝගීතාවයේ දෑත් දිගු කර තිබෙනවා.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading