අගමැතිනි අස්වෙන්නෑ, මේක කුමන්ත්‍රණයක් බව හෙළිවේවි – දේවානන්ද

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පාදක කරගනිමින් රජයට සහ අග්‍රාමාත්‍යවරියට එරෙහිව එල්ල වන විවේචන හමුවේ, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය හෝ කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වීමේ කිසිදු සූදානමක් නොමැති බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා පැවසීය.

6 ශ්‍රේණියේ පෙළපොත් සම්බන්ධයෙන් මතුවූ ගැටලුව හිතාමතා සිදුකළ කුමන්ත්‍රණයක්ද නැතහොත් අත්වැරදීමක්ද යන්න පිළිබඳ පරීක්ෂණ වාර්තා ඉදිරි දින කිහිපය තුළ අනාවරණය වනු ඇතැයිද ඒ මහතා සඳහන් කළේය.

රටේ පවතින පීඩාකාරී විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමය වෙනස් කිරීම රජයේ පරම අරමුණ බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා, මෙම ප්‍රතිසංස්කරණ කිසිසේත්ම අධ්‍යාපනය විකිණීමේ හෝ අබ්බයන් බිහිකිරීමේ අරමුණින් ගෙන ආ ඒවා නොවන බව පැවසීය.

මතුව ඇති දෝෂය සම්බන්ධයෙන් මේ වන විටත් ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ඉවත් කර ඇති අතර, අධ්‍යාපන ලේකම්වරයා හරහා නීතිමය ක්‍රියාමාර්ග සහ විශේෂ කමිටු පරීක්ෂණ ආරම්භ කර ඇති බවද  මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා සඳහන් කළේය.

2025 වසරේදී ශ්‍රී ලංකාව ලබාගත් ආර්ථික ජයග්‍රහණ සමඟ රජය 2026 වසරට පියමනින්නේ ඉතා ශක්තිමත් පදනමකින් බව සුරවීර මහතා මෙහිදී පෙන්වාදුන්නා.

ඒ අතර විදේශ ප්‍රේෂණ ඩොලර් බිලියන 07 ඉක්මවා යාම, අපනයන ආදායම ඩොලර් බිලියන 18ක් දක්වා වාර්තාගත ලෙස ඉහළ යාම,රේගු බදු ආදායම රුපියල් බිලියන 2500ක් සහ දේශීය ආදායම් රුපියල් බිලියන 2200ක් ලෙස ඉලක්ක ඉක්මවා යෑම වැනි දේ 2025 වසරේදී ශ්‍රී ලංකාව ලබාගත් ආර්ථික ජයග්‍රහණ බව ඔහු සිහිපත් කළා.  

මෙම ආර්ථික ස්ථාවරත්වය හමුවේ රජය අපහසුතාවයට පත්කිරීම සඳහා විපක්ෂය “කුහක සහගත විවේචන” ඉදිරිපත් කරන බවට මන්ත්‍රීවරයා චෝදනා කළේය.

එමෙන්ම විපක්ෂය සහ ඇතැම් බලවේග අග්‍රාමාත්‍යවරිය හුදෙකලා කර ඇයට ප්‍රහාර එල්ල කිරීමටත්, ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර බෙදීම් ඇති බව පෙන්වීමටත් උත්සාහ කරන බව සුරවීර මහතා පැවසීය.

 “අගමැතිතුමිය ඉල්ලා අස්වෙන්නෙත් නැහැ, අපේ කැබිනට් මණ්ඩලය අයින් වෙන්නෙත් නැහැ. වැඩ කරනකොට සිදුවන අඩුපාඩු අපි නිවැරදි කරගන්නවා. හැබැයි රාජපක්ෂලා හෝ රනිල් වික්‍රමසිංහලා වගේ රට පාවා දෙන උපාය මාර්ගික වැරදි අපි කරලා නැහැ,” යනුවෙන් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2030 වසර දක්වා ක්‍රියාත්මක වන පුළුල් ක්‍රියාවලියක් බවත්, යහපත් අරමුණින් ඉදිරිපත් වන ඕනෑම විද්‍යාත්මක යෝජනාවක් භාර ගැනීමට රජය සූදානම් බවත් මන්ත්‍රී දේවානන්ද සුරවීර  පැවසීය.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading