සංස්කෘතික ඇමතිගේ සිංහලකම හා නාට්‍යකරුවන් බලු වීම මැද පුනරුද යුගයක නාට්‍ය කලාව !

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ රාජ්‍ය නාට්‍ය අනුමණ්ඩලය විසින් 52 වන වරටත් සංවිධානය කරනු ලබන රාජ්‍ය නාට්‍ය උලෙළේ අවසාන වටයේ නාට්‍ය තරග මෙම මස 10 වන දින සිට එළැඹෙන 28 දින දක්වා මරදාන එල්ෆින්ස්ටන් රඟහල කේන්ද්‍රකරගනිමින් පැවැත්වෙනවා.

ඒ අනුව 10 සිට 18 වන දින දක්වා කෙටි නාට්‍ය අංශයට අදාල නාට්‍ය වේදිකාගත වූ අතර, 19 වන දින සිට 28 දක්වා දිගු නාට්‍ය අංශයට අදාළ නාට්‍ය වේදිකාගත වනවා.

මෙහි දී 28 වන දින වේදිකාගත වන පූජිත ද මැල් ගේ පළිඟු රෑන නාට්‍යය පමණක් අධ්‍යක්ෂවරයාගේ ඉල්ලීම මත කොළඹ BMICH කමත පරිශ්‍රයේ මිහිලක මැදුරේ දී රංගගත කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

කෙසේ නමුත් මෙම ‘දිගු නාට්‍ය’ තරග අංශයට පෙර ඉල්ලීම් කිහිපයක් මූලික කරගනිමින් එම වටය සඳහා ඉදිරිපත් වූ සිංහල නාට්‍යකරුවන් 7 දෙනෙකු (පරාක්‍රම නිරිඇල්ල, ප්‍රියංකර රත්නායක, පූජිත ද මෙල්, බුද්ධික දමයන්ත, ජෙහාන් අප්පුහාමි, චාමර ගුරුගේ, විජිත හෙට්ටිගේ යන නාට්‍යකරුවන්) සිය අත්සනින් යුතුව තම නාට්‍ය නියමිත දිනයේ දී තරගයට ඉදිරිපත් කළ යුතු නම් එකී ඉල්ලීම් සම්බන්ධයෙන් සලකා බලන ලෙස බලකරමින් බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිඳුම සුනිල් සෙනෙවි වෙත ලිපියක් යොමු කරනු ලැබුවා.

ඒ අනුව එහි සඳහන් වූයේ, 2025 රාජ්‍ය නාට්‍ය උළෙල පුනරුද රජයේ පළමුවන ජාතික නාට්‍ය උලෙළ වන නමුත්, මෙම උළෙල කිසිදු පුනරුද බවක් රහිතව පසුගිය රාජ්‍ය නාට්‍ය උළෙලවල් මෙන් කිසිදු ප්‍රචාරයක්, අනුග්‍රහයක්, ප්‍රේක්ෂක සහභාගිත්වයක් මෙන්ම නාට්‍යකරුවන් ආර්ථිකමය ලෙස අසරණතාවයට පත්කරමින් පවත්වන හුදු නාට්‍ය උළෙලක් ලෙස පමණක් පැවැත්වෙවෙ බව ය. ඔවුන් නාට්‍ය අනුමණ්ඩලය වෙත චෝදනා කළේ, කඩිමුඩියේ වසර අවසන්වීමට පෙර නාට්‍ය උළෙල නිමාකිරීම පමණක් අරමුණු කොටගෙන පවත්වන මෙම නාට්‍ය උලෙළ පුවත්පත් හෝ විද්‍යුත් මාධ්‍ය, සමාජ ජාලාවල කිසිදු ආකර්ෂණීය ප්‍රචාරයක් නොමැතිව, නාට්‍යකරුවන් (දිගු හා කෙටි – දෙමළ හා සිංහල) බරපතල ආර්ථික හිංසනයකට ලක් කරමින් පැවැත්වෙන බව ය.

ඒ අනුව ඔවුන් එම ලිපිය මගින් ඉල්ලා සිටි ඉල්ලීම් මෙසේ ය.

  • මෙම උළෙලේ රෙගුලාසි අනුව දෙවන වටයක් පැවැත්විය යුතු වුවත් එසේ නොකිරීමෙන් නාට්‍ය රඟ දැක්වීමේ අවස්ථා අහිමිවීම මෙන්ම අහිමි වූ දෙවන වටය සඳහා වෙන්කළ මුදල්වලට සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳ දැනුවත් කිරීම.
  • පළමුවන වටය සඳහා නාට්‍ය ඉදිරිපත් කළ සියලුම හා අවසන් වටයට තේරුණු නාට්‍ය සඳහා නාට්‍යකරුවනට විශාල පිරිවැයක් දැරීමට සිදුවීම හා එම පිරිවැය සඳහා නාට්‍ය අනුමණ්ඩලයේ කිසිදු ප්‍රතිචාරයක් නොමැති විට මේ පිළිබඳ අවධානය යොමු කිරීම.
  • අවසන්වටයේ නාට්‍ය ඉදිරිපත් කිරීම සඳහා දිගු හා කෙටි නාට්‍යකරුවන්ට ලබාදෙන මූල්‍ය පහසුකම් ප්‍රමාණ- වත් නොවන බැවින් එම මුදල දෙගුණයක් කරන ලෙස අප යෝජනා කරන අතර එය කිරීම සඳහා බල කිරීම.
  • අවසන් වටයේ නාට්‍ය ප්‍රදර්ශනය සඳහා ලබා දෙන මුදල මෙන් සිවු ගුණයක් පමණ මුදලක් නාට්‍යකරුවන්ට නාට්‍ය ප්‍රදර්ශනය සඳහා වැය වන අතර එම පිරිවැය දිගු හෝ කෙටි නාට්‍ය ඉදිරිපත් කරන නාට්‍ය කරුවන්ට මූල්‍යමය වශයෙන් දරාගත නොහැකි වීම.

මේ අනුව එම සිංහල දිගු නාට්‍ය නිර්මාණකරුවන් බල කර සිටියේ, අවසන් වටයේ දිගු හා කෙටි නාට්‍ය සඳහා දැනට ලබාදෙන මුදල දෙගුණයක මුදලක් ඒ සඳහා ලබා දෙන ලෙසයි.

මීට අමතරව නාට්‍ය උළෙලේ දිගු හා කෙටි නාට්‍ය සම්මාන සඳහා ලබා දෙන මුදල ප්‍රමාණවත් නොවීම පිළිබඳව ද අවධානය යොමු කර තිබූ අතර, ඒ අනුව නාට්‍ය නිර්මාණරුවන් සඳහන් කර තිබුණේ, එම මුදල සම්මාන මුදල් දෙන රජයටත්, සම්මාන ලබාගන්නා නාට්‍ය කරුවන්ටත් ලැජ්ජා සහගත මුදලක් බවත්, සමහර සම්මාන සඳහා ලබාදෙන මුදල පෙදරේරුවෙකුගේ සහායකයෙක් ලබනා දෛනික වැටුපකටත් වඩා පහළ මුදලක් වන බවත් ය.

එබැවින් දිගු හා කෙටි නාට්‍ය සම්මාන සඳහා ලබාදෙන මුදල අවම වශයෙන් දෙගුණයක් කරන ලෙසයි ඔවුන් රජයෙන් ඉල්ලා සිටියේ.

මීට අමතරව අනු මණ්ඩල රැස්වීමේදී උළෙලේ නාට්‍ය ප්‍රදර්ශනය කරන අවස්ථාවේ දී  ලබා දෙන තාක්ෂණික උපකරණ (ආලෝක පහන්, ධූම උත්පාදන යන්ත්‍ර ආදිය) ලබාදීමට කටයුතු කරන බව දැන්වූ නමුත්, ඒ සඳහා නාට්‍ය කරුවන්ට එම වියදම් පෞද්ගලිකව දැරීමට සිදුවීම පිළිබඳව ද සඳහන් කරමින් එක්කෝ අනුමණ්ඩලය මැදිහත් වී ලබාදෙන ලෙස හෝ ඒ සඳහා වන මුල්‍ය පිරිවැය ලබා දීමට කටයුතු කරන ලෙස ඉල්ලීමක් කර තිබූ අතර,  සම්මත පින්තූර රාමු වේදිකාවෙන් බැහැර වූ තරඟ අංශ නියෝජනය කිරීමට අවශ්‍ය පර්ශද සහ පහසුකම් හෝ මූල්‍ය සහය ලබා දීමට කටයුතු සැලසුම් කරන ලෙස ද ඉල්ලා සිටිනු ලැබුවා.

තවද නාට්‍ය කණ්ඩායම් සඳහා සංග්‍රහ වියදම් ලබා දෙන ලෙස ද ,  නාට්‍ය උළෙල සඳහා  වඩාත් ආකර්ෂණීය හා ප්‍රේක්ෂකයා කැඳවාගත හැකි විද්‍යුත්, මුද්‍රිත හා සමාජ ජාලා ප්‍රචාරයක් සඳහා කටයුතු කරන ලෙස ද නාට්‍යකරුවන් විසින් ඉල්ලීම් කර තිබූ අතර,  අවසාන වශයෙන් ඔවුන් සඳහන් කර තිබුණේ, දැනට ලැබෙන ප්‍රවේශ පත්‍ර ආදායම දිගු නාට්‍ය හෝ කෙටි නාට්‍ය සඳහා කිසිසේත්ම ප්‍රමාණවත් නොවන හෙයින්  අවම වශයෙන් දිගු නාට්‍ය ප්‍රවේශ පත්‍රයක් රුපියල් 500/= කටවත් මිල කරන ලෙසයි.

මෙම ඉල්ලීම් සියල්ල ඉදිරිපත් කරමින්  ඒවා ඉටුකිරිමට මුදල් හෝ කාලය නොමැතිනම්  අවශ්‍ය ප්‍රතිපාදන සපයාගෙන නාට්‍යකරුවන්ගේ උක්ත ඉල්ලීම් ඉටුකරන නාට්‍ය උළෙලක් හා පුනරුද රජයේ ගෞරවය රැකෙන නාට්‍ය උළෙලක් පැවැත්වීමට නාට්‍ය උළෙල කල්දමා හෝ එය නිසිලෙස සංවිධානය කරන ලෙස නාට්‍යකරුවන් බල කළ අතර, ඔවුන් වැඩිදුරටත් සඳහන් කර තිබුණේ,  රාජ්‍ය භාණ්ඩාගාරයේ මුදල් උතුරන මෙවැනි යහපත් යුගයක නාට්‍ය උළෙල දැනට පවත්වන ආකාරය රජයේ ද නාට්‍යකරුවන්ගේ ද ගෞරවයට අවමානයක් වන බවයි. ‍

ඔවුන් මෙම ඉල්ලීම් ඉටු වන තෙක් සිය නාට්‍ය ප්‍රදර්ශනය නොකරන බව ද ලිපිය මගින් දැනුම් දුන් අතර, ජෙහාන් අප්පුහාමි නාට්‍යකරු සිය ප්‍රසිද්ධ ෆේස්බුක් අවකාශයේ මේ පිළිබඳව සඳහන් කර තිබුණේ, “පුනරුදයේ කලාකරුවනි, අපිට පාන් ද කියලා අහන්න එපා.” යනුවෙන් ද සඳහන් කරමිනි.

නාට්‍යවේදී ජෙහාන් අප්පුහාමිගේ සටහන

කෙසේ නමුත් පූජිත ද මෙල්ගේ නාට්‍යය සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම ආදී කරුණු කිහිපයක් හැරුණුකොට මෙම ලිපිය මගින් ඉල්ලා සිටි බොහෝ ඉල්ලීම් ඉටු නොවුණ ද මෙකී නිර්භීත නාට්‍යකරුවන් සිය විරෝධය අකුලාගනිමින් නියමිත පරිදි නාට්‍ය ප්‍රදර්ශනය නියමිත වේලාවට සිදු කළේ ඉමහත් බැතියෙනි. නාට්‍යවේදී බුද්ධික දමයන්ත සඳහන් කර තිබුණේ, “අපේ දුක කියන්න ගියාම ආණ්ඩුවේ දුක අපිට කිව්වා” යනුවෙනුයි.

නාට්‍යවේදී බුද්ධික දමයන්තගේ සටහන

එනම් සරලවම ආණ්ඩුවේ කඳුලුවලට වෙඬරු වැනි හදවත් හුණු වී නාට්‍යකරුවන් සිය නාට්‍යය ප්‍රදර්ශනයට එකඟ වී ඇත. අවසානයේ පෙදරේරුවෙකුගේ අතවැසියාගේ දෛනික වැටුප ගෙන ආණ්ඩුවේ කඳුලු පිස දැමීම නාට්‍යකරුවන්ට “අපිට පාන් ද” කියා කළ හැකි වී ඇත. සතුටු විය හැකි කරුණ නම් මෙවැනි විප්ලවීය නාට්‍යකරුවන් දැක බලා ගැනීමට අප පින් කර තිබීම ය. තමන්ගේ කෙටි නාට්‍යය අවසානයේ දී ආණ්ඩුවට බලපෑම් කරමින් ජිනිදු පද්ම ශ්‍රී තනිව කළ විරෝධය පෑම ද මීට වඩා සිය ගුණයක් ඉදිරියෙන් බව ව යුතු ය .

නාට්‍යවේදී ජිනිදු පද්ම ශ්‍රී ගේ විරෝධය

කෙසේ නමුත් මෙම විරෝධය අමු අමුවේ පාවා දී දිගු නාට්‍ය ප්‍රදර්ශනය වීමට ආරම්භ වී දින කීපයක් ගෙවුණු තැන බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිඳුම සුනිල් සෙනෙවි සිය ෆේස්බුක් ගිණුමේ මෙම නාට්‍ය උලෙළ පිළිබඳ සටහන් තමබින් නාට්‍ය දැන්වීම් ද පළ කර තිබුණා.

රාජ්‍ය නාට්‍ය උලෙළ …..

හැකිතාක් නාට්‍ය බලමු….

දිගු නාට්‍ය පටන් ගත්තා. හොඳ චිත්‍රපට බලන්න ප්‍රේක්ෂකයා රොද බඳිනවා මේ දිනවල. නාට්‍යත් එහෙමයි. අප අතර ඌ.. බලන්න එල්පින්ස්ටන් පිරුණා. ඊයෙ පරාක්‍රම නිරිඇල්ලගෙ නාට්‍ය සාර්ථක ඇති . මං මඩකළපුවට යන අතරෙ ඉන්නෙ. ඔක්කොම බලන්න තිබුණා නම් මරු. බුද්ධික හා ප්‍රියංකර සොයුරන්ගේ නාට්‍ය කලින් බැලුවා. පළිඟු රෑන පාර්ලිමේන්තුවෙත් පෙන්නුවා.

මිතුරු මිතුරියනි… ඇවිත් පිරෙන්න.

වේදිකා නාට්‍ය කියන්නෙ විස්මිත දෙයක්.

මේ අඩවියේ ගැටලු විසඳා ගනිමින් ඉන්නෙ. සෞම්‍ය ලියනගේ ඇතුළු පිරිස මහන්සි වෙනවා මේ ගැන. ලබන වසරේ අනිවාර්යයෙන් හොඳ පියවර කීපයක් තබන්න සැලසුම් හැදුවා. ඒක කරනවා ම යි.

බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිඳුම සුනිල් සෙනෙවි සිය ෆේස්බුක් ගිණුමේ තැබූ සටහන

කෙසේ නමුත් දිගු නාට්‍ය කාණ්ඩයේ දමිළ නාට්‍ය තුනක් ද වේදිකාගත වන බව දැනුම් දී ඇති අතර, ඔහු විසින් මෙම සටහන තබන දිනයේ දී එනම් 23 වන දින වේදිකාගත වූයේ ද දමිළ නාට්‍යයක් වුව අමාත්‍යවරයා එම කිසිඳු නාට්‍යයක් සම්බන්ධයෙන් සිය සටහන මඟින් අවධානය යොමු කර තිබුණේ නැත. (මෙම සටහන ලියන 25 වන තෙක් ඒ පිළිබඳ කිසිඳු සටහන් නැත)

ඒ අනුව ගරු සංස්කෘතික අමාත්‍යතුමාට රාජ්‍ය නාට්‍ය උලෙළේ දිගු නාට්‍ය යනු සිංහල නාට්‍ය ද ? සංස්කෘතික ඇමතිගෙ සංස්කෘතිය නම් නිර්වචනය තුළ නාට්‍ය යනු සිංහල භාෂාව මූලික කරගත් නාට්‍ය පමණක් වීමට මේ අනුව බොහෝදුරට ඉඩ ඇත. අමාත්‍යවරයා සඳහන් කරන ආකාරයට එම සිංහල නාට්‍ය සඳහා පමණක් ප්‍රේක්ෂකාගාරය පිරී ඉතිරී යාම ශ්‍රේෂ්ඨ සංස්කෘතික ජයග්‍රහණයක් වන අතර,  විස්මිත නාට්‍ය කලාවක් ගැන සතුටු විය හැකි තත්ත්වයක් ද වනු ඇත.

අමාත්‍යවරයා සිය මඩකලපු ගමන ගැනඅවධාරණය කර ඇත. නමුත් අමාතවරයාට දමිළ නාට්‍ය ගැන වගේ වගක් නැත. කෙසේ නමුත් මෙය ඔහුගේ පුද්ගලිකත්වය කියා ඉවත දැමිය නොහැකි බවට අමාත්‍යවරයාගේ එම සටහන බෙදා ගනිමින් පුනරුද ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් මාගලගම තැබූ පහත සටහන සාක්ෂි සපයනු ඇත.

මෙහෙම ලියන්නේ රටේ සංස්කෘතික කටයුතු බාර ඇමති. ඒ විතරක් නෙමෙයි බුද්ධ ශාසන සහ ආගමික කටයුතු බාර ඇමති.

පෙර යුගවල අමාත්‍යංශ කිහිපයක් , ඇමතිවරු කිහිපදෙනෙක් කළ රාජකාරී තනිවම ඉටු කරන ගමන් ම රාජ්‍ය නාට්‍ය උත්සවයේ නාට්‍යත් බලලා. ඒ නාට්‍ය කරුවන්ට හැකි උපරිමයටත් වැඩියෙන් අත හිතත් දීලා.

අඩු පාඩු තියෙනවා. නැත්තේ නෑ. නමුත් ඉතිහාසයේ අපිට ලැබුණ විශිෂ්ට ම සංස්කෘතික ඇමතිවරයෙක් සහ නියෝජ්‍ය ඇමතිවරු දෙදෙනෙක් ඇතුලු කණ්ඩායමක් දැන් ඉන්නවා. ඔවුන් වැඩ.

සංස්කෘතික මිනිසෙක් නිර්මාණය කරන්න කලාව යොදා ගන්නා ආකාරය ගැන සවිඥානිකව ඒ කණ්ඩායම වැඩ.

සබුද්ධිකව වැඩ.

පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් මාගලගම සිය ෆේස්බුක් ගිණුමේ තැබූ සටහන

ආණ්ඩුවල දුක අහන නාට්‍යකරුවන් ද, දුක ඇසූ හෙයින් සන්තෝසම් සටහන් ලියන අමාත්‍යවරු ද මේ බිම වැඩි වැඩියෙන් පහළවේවායි අපි ප්‍රාර්ථනා කරමු. එවිට කලාවට රාජ්‍යයෙන් ද රාජ්‍යයට කලාවෙන් ද ගැටලුවක් නැත. පුනරුද යුගයක කලාව එසේ විය යුතු නැති ද ?

Author

1 Comment

  • ඇමති තනතුරු වලට පත්කල යුත්තේ අදාල ක්ෂෙශ්ත්‍රය පිලිබඳව දැනුමැත්තෙකු පමනක් නොව කලමණාකරන හැකියාවක් ඇති පුද්ගලයෙකුද විය යුතු බව මෙයින් පෙනී යයි.

Comments are closed.

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading