චත්‍ර වීරමන්ගේ “ආයු” කියන්නෙ 2025 වර්ශයේ ලංකාවේ තිරගත වුණු සිනමාපට අතරින් “Complete” වැඩක්. ආයු ගැන එකඟතා හා නොඑකඟතා සෑහෙන්න ප්‍රමාණයක් මට තියෙනව. ඒ නිසා පුළුවන් විදිහට ඒ මට දැනෙන සහ හැඟෙන දේ මේ ලිපිය හරහා පෙළගස්වාගැනීමයි මගේ අරමුණ.
චත්‍රගේ “ආයු” කියන්නෙ මම කලිනුත් කිව්වා මගේ දෘෂ්‍යමය රූප ඉතා ම අලංකාර ලෙස සිනමාපටය පුරා විසුරුවලා තියෙන චිත්‍රපටයක්. මේ දෘෂ්‍ය රූප කාව්‍යාත්මකයි. කියවාගන්න පුළුවන් Details සහිතයි. මේ රූප භාවිතයේ දී චත්‍ර ඉතාම දක්ෂ බවක් සහ පරිණත බවක් දක්වනවා වගේම ඒ රූප හරහා චත්‍රගේත් – කාලිංග දේශප්‍රියගේත් එකිනෙකා අතර තියෙන අවබෝධය ඉතා ම හොඳින් කෑපී පෙනෙනවා. මම හිතන්නෙ චිත්‍රපටය චත්‍රගෙ “ආයු” වගේ ම කාලිංග දේශප්‍රියගෙ “ආයු” කියල හඳුන්වන එකෙත් වරදක් නැති බවයි. මේ මම කිව්ව කරුණට උදාහරණයක් විදිහට නිශ්මි ( සැන්ඩ්‍රා ) චිත්‍රපටිය ආරම්භයේ ම Galleface එකේ Jogging suit එක සහ Wired earbuds දෙකත් එක්ක මද වේගයෙන් ඇවිදගෙන යන දර්ශනය ගන්න පුළුවන්. ඒකෙ එක මොහොතකදි අර මුළු ගාලුමුවදොරම එක Shot එකකට කැටි කරගන්න විදිහ ඉතාම අපූරුයි. ඒ චිත්‍රය මැදින් තමයි නිශූ ඇවිදගෙන යන්නෙ. ඒක අර වගේ ඉතාම අලංකෘත සහ Details කියවාගන්න පුළුවන් රූප රාමුවක්. තව උදාහරණයක් කිව්වොත් සචින් ( මනුවර්ණ ) සහ නිශ්මි Bike එකේ යන සිදුවීමෙන් පටන් ගන්න (රොමාන්තික) ආලිංගන අවස්ථාව පෙන්නන්න පුළුවන්. ඒ කියන්නෙ “රැලි රැලි” සින්දුවේ විශුවල් එක විදිහට රිලීස් කළ කොටස. ඒක යූටියුබ් එකේ නරඹලා ඔය මම කිව්ව කරුණ ඉතාම හොඳින් ඔප්පු කරගන්න පුළුවන්. ෆිල්ම් එක නොබලා වුණත් චිත්‍රපටය විශුවලි පෙන්නන සාර්ථකත්වය ආයු සිනමාපටයේ පූර්ව ප්‍රචාරක පටය, රැළි රැළි සින්දුවේ විශුවල් එක සහ මරුසි දූපත සින්දුවේ විශුවල් එක කියන විශුවල්ස් තුන බැලුවාම අවබෝධ කරගන්න පුළුවන් කියලයි මම හිතන්නෙ.
“ආයු” ප්ලොට් එක විසින් සහ කතා කීමේ ආකෘතිය විසින් තීරණය කරන ආකාරයට චිත්‍රපටය සකස් වෙලා තියෙන්නෙ ම Character based ආකාරයට. ඒ කියන්නෙ මේ චිත්‍රපටය සම්පූර්ණයෙන් ම චරිත, ඒවාගේ ලක්ෂණ සහ චරිතවලට පිටපත සහ නළු නිළියන් එකතු කරන හැඩය මත රඳා පවතින්නක්. චත්‍රගේ දුර්වලම ස්ථාන දෙක විදිහට මම දකින්නෙ මේ කියන කතා කීමේ කලාව සහ චරිත ගොඩනැංවීම කියන කාරණා දෙක. මේ චිත්‍රපටය Non linear නැත්නම් රේඛීය නොවන චාරිකාවකයි චත්‍ර අරගෙන යන්නෙ. එතකොට මේ විසිරිලා තියෙන සිද්ධි කතාව සමඟ බද්ධ වෙනවා. මේ බද්ධ කරන්න චත්‍ර යොදාගෙන තියෙන්නෙ කතාව තුළින්ම සහ කෘතිම දෙබස් හරහා මේ අග සහ මුල හෙළි කිරීමේ ක්‍රියාවලියක්. මම හිතන්නෙ ඒක සෑහෙන්න දුරට අසාර්ථකභාවයක් ඒ කතා කීමේ රටාවට එකතු කරනව. දැන් උදාහරණයක් විදිහට The eternal sunshine of spotless mind චිත්‍රපටයෙ දෙබස් මගින් ඒ කාලරාමු හෙළි කරන්න උත්සාහ ගන්නෙ නෑ. ඒක තේරුම් ගන්න දෙන ඉඟිය තමා ඒකෙ ප්‍රධාන කාන්තා චරිතෙ කොණ්ඩයේ පාට. ඒක ගලපාගැනීම කළ යුත්තෙ අපි. නමුත් චත්‍ර කරන්නෙ අර සියල්ල අවසානයේ සමෝධානයකට ගේන්න දෙබස් පාවිච්චි කරන එක. ඒ දෙබස් චිත්‍රපටය විසින් ඉල්ලා නොසිටිනා තරමටම කෘතිම හා චිත්‍රපටය එක්ක බද්ධ නොවන බවයි මගේ මතය නම්.

Eternal sunshine of the spotless mind
චත්‍රගෙ කතා කීමේ කලාව තුළ අඩුපාඩු තිබුණා කියල මම විශ්වාස කරන්නෙ ඇයි කියලා මගෙන් ඇහුවොත්, ඒකට උත්තර විදිහට දෙන්න පුළුවන් “බෞද්ධ දර්ශනය බලෙන් රිංගවන්න උත්සාහ කරන” දර්ශන, නිශ්මි සහ සචින් ගමට ගිහින් පැළේ ඉඳලා ආයෙ එන දර්ශන වගේ දර්ශන. ඒ වගේ දර්ශන අනවශ්‍ය පරිශ්‍රමයකින් චිත්‍රපටියට ඇතුළත් කරලා චිත්‍රපටියේ ප්‍රධාන කතාවට දෙන ඉඩ ප්‍රස්ථාවට අසාධාරණයක් කරා කියලයි මට හිතෙන්නෙ. ඒකෙන් වෙන්නෙ අර කාල රාමු ගැලපිල්ලේ කලාව චත්‍රගෙන් ගිලිහිලා අදාළ නොවන වෙනත් කාරණා හයිලයිට් වීම. මම හිතන්නෙ තුමිදුගෙ චරිතය පවා අනවශ්‍ය චරිතයක් කියලයි. ඒ වගේ චරිත සිද්ධි ගණනාවක් චත්‍ර අරගෙන ඇවිත් තමන්ගෙ ප්‍රධාන කතාවට හානි කරගන්නවා කියලයි මම විශ්වාස කරන්නෙ.

අනිත් අතට මේ චිත්‍රපටියට අමුණලා තිබුණ බෞද්ධාගමික සාකච්ඡාව ඉතාම ව්‍යාජයි නේද ? ඒක බලහත්කාරයෙන් අමුණපු එකක් බවයි මට නම් පේන්නෙ. ඒක චිත්‍රපටයට කරන හානිය සුළුපටු නෑ. එහෙම අනවශ්‍ය දාර්ශනික හෝ ආගමික දෙබසක් රිංගවන්නම ඕනෙ නෑ ඒ නිර්මාණය තුළින් ඒ සාකච්ඡව මතු කරන්න. උදාහරණයක් විදිහට Krzysztof Kieślowski ගේ Blue චිත්‍රපටය ගන්නකො. ඒකෙ ඔය ආගමික සංකල්ප විශේෂයෙන් “තමා දෙන දේ තමාට ලැබෙනවා” කියන සංකල්පය ඉතාම ගැඹුරින් ස්ථානගත කරනව. නමුත් කිසිම තැනක ඒ ගැන කෙලින්ම කියවෙන දෙබසක් අපිට දකින්න ලැබෙන්නෙ නෑ. ඒ නිසයි මට “ආයු” දෙබස්වල දිරවගන්න අමාරු ගතියක් වැඩිපුර දැනෙන්නෙ.

Three Colors: Blue
ඒ දෙබස් ගැන තවදුරටත් අපි කතා කළොත් මේ දවස්වල සමාජ මාධ්‍යයේ සෑහෙන වයිරල් වෙලා තියෙන ආයු චිත්‍රපටයේ “බෝට්ටුව සහ මුහුද” දෙබස් ටික ඒකට උදාහරණයකට ගන්න පුළුවන්. ඒ දෙබස්වල මට දැනෙන කෘතිම බව හා චිත්‍රපටියට නොගැලපෙන ගතිය ඔබටත් දැනෙනව ඇති කියල මම හිතනව. “ආයු” වගේ චිත්‍රපටයක් ඇයි මේ වගේ තැනක නතර වුණේ කියන අවුල මට තියෙනවා. මම නාමල් ජයසිංහගේ නිර්මාණ සම්බන්ධයෙන් විවේචනය කරන්නෙත් ඒ දෙබස් සම්බන්ධ අවුල. මම හිතන්නෙ ඒ මහප්‍රාණ දෙබස් හෝ මතක හිටින දෙබස් මාර්කටින් ටූල් එකක් වුණාට ( ඕක මොහාන් රාජ් මඩවල එයා මෑතක ලිව්ව පොත්වල පුරුද්දක් විදිහට කරනව සාහිත්‍යයේ දි ගත්තොත් ) ඒක කතාවේ නියමිත හෝ අපේක්ෂා කරන තැනට ඒ නිර්මාණය ඔසවා තබනවාද කියන ප්‍රශ්නය අපට මතුවෙනවා.
දැන් අපි මේක ගැන කතා කරද්දි චිත්‍රපටයේ එන චරිත කොහොමද චත්‍ර විසින් ගොඩනගන්නේ කියන එක ඉතා ම වැදගත්. චත්‍ර මේ චරිත ගොඩනැංවීම කරන්නෙ මතුපිටින් කියලයි මට හිතෙන්නෙ. අපි මාලනී ෆොන්සේකා රඟපාන අම්මගේ චරිතය ගමු. ඒ චරිතය ගොඩනගලා තියෙන්නෙ ඒ පරම්පරාව ගැන සහ ඔවුන්ගේ අන්ධ විශ්වාස වගේ දේවල් ගැන විචාරයක් ගේන්න විතරයි කියලයි මට හිතෙන්නෙ. ඒ චිත්‍රපටයේ දී අම්මගේ සහ දුවගේ චරිත අතර තියෙන අන්තර් සම්බන්ධය අපිට හෙළි කරන්නෙ හෝ ඒ ගැන විශ්වාසයක් ඇති වෙන විදිහට අපිව ඒ චරිත තුළට අරගෙන යන්නෙ නෑ නේ ද ? උදාහරණයක් විදිහට මාලනී ෆොන්සේකා තමන්ගෙ දුවගෙ ලේ හෝදන රූපරාමුවක් තියෙනව. මේක ඒ කතාව ගොඩනැංවීමේ දී අතිශයින් ම වැදගත් අති ප්‍රබල රූපරාමුවක්. හැබැයි මට තියෙන ප්‍රශ්නෙ ඒ රූපරාමුවේ ඒ වැදගත් බව දැනෙන්න තරමේ අම්මා සහ දුව අතර තියෙන සම්බන්ධය අපට හෙළි කරලා තියෙනවා ද ? කියන එකයි. මට අනුව නම් ඒක එහෙම වෙන්නෙ නෑ. ඒක දැනෙන්නෙ හෝ විශ්වාස කරන්න හෝ අවිශ්වාස කරන්න තරම් හේතුවක් විශ්වාසයක් අපිට ගොඩනැගෙන්නෙ නෑ.

අම්මගෙ දුවගෙ සම්බන්ධය විතරක් මම උදාහරණයට ගත්තට මේ චිත්‍රපටය පුරා චරිත ගොඩනැංවීම් සහ සම්බන්ධතා දැක්වීම් ඒ වගේ කියලයි මට හිතෙන්නෙ. සචින් සහ නිශ්මි අතර සම්බන්ධය මොකක්ද ඇයි ඒක පටන් ගන්නෙ කියල අපිට දැනගන්න ලැබෙනව තමයි. ඒත් ඇයි නිශ්මි ඒ වගේ තීරණයකට එළැඹෙන්නෙ කියන ප්‍රශ්නෙදි රවී සහ නිශ්මි අතර තියෙන සම්බන්ධතා ජාලය මොන වගේ ද සහ සචින්ගේ විශේෂතා කියන කාරණා දෙක අතිශයින්ම වැදගත් වෙනවා මේ කියන අන්තර් විශ්වාසය ගොඩනංවන්න. නමුත් ප්‍රශ්නෙ තියෙන්නෙ ඒ විදිහෙ එළැඹුමක් චත්‍ර විසින් කරනවා ද කියන කාරණයයි. චත්‍ර ඒ චරිත ගොඩනගලා තියෙන්නෙ අදාළ පරිසරය හෝ අවස්ථාව නිරූපණය කිරීම මිසෙක චරිතවල ගැඹුර හෙළිදරව් කිරීමට නොවෙයි කියලයි මට හිතෙන්නෙ. ඒක මේ වගේ Character driven චිත්‍රපටයක දී දැවැන්ත අර්බුදයක් බවට පත්වෙන්න පුළුවන් බවයි මම හිතන්නෙ.

අපි එතනින් ටිකක් එහාට ගිහින් තව කාරණයක් ගැන කතා කළොත්, චත්‍ර මේ සිනමාපටය තුළ මතු කරන මායාමය සිද්ධි සහ මායාමය චරිත යොදාගැනීමට මම කැමතියි. මේ කටයුත්ත ඉතාම බැලන්ස් විදිහට සිනමාපටයකදී යොදාගැනීම කරන්න ඕනෙ කියලයි මම හිතන්නෙ. උදාහරණයක් විදිහට Payal Kapadiya ගේ All we imagine as light චිත්‍රපටයේ Climax එකේදි සිද්ධ වෙන මායාමය සිද්ධියකින් පස්සෙ තමයි ඒ චිත්‍රපටයේ අවසානය වෙතට එළැඹෙන්නෙ. මම විශ්වාස කරනවා Kapadiya තමන්ගෙ චිත්‍රපටයට එකතු කරන ඒ මායාමය ආශ්චර්යය තමයි ඒ චිත්‍රපටය ප්‍රබල තැනකින් නවත්වන්නේ කියලා. චත්‍රත් මේ විදිහෙ මායාමය චරිතයක් තමන්ගෙ චිත්‍රපටයේ මඟ එළිපෙහෙළි කරන්න පාවිච්චි කරනවා. ඒ චරිතයට “ආයු” කියල සංකේතාත්මක නමක් තියනවා. මම ඒකට කැමතියි. හැබැයි චත්‍ර “ආයු” කියන මායාමය චරිතය පාවිච්චි කරන්නෙ මොකක් සඳහා ද කියන අර්බුදය මට තිබුණා. ඒ චරිතය තුළින් යම් සංකතාර්ථයක් ඉදිරිපත් කරන්න උත්සාහ කරනවා තමයි. හැබැයි ඒක කොතැනකදිවත් විශ්වාසවන්ත විදිහට Establish වෙන්නෙ නෑ. මායාවක් ඒ විදිහට විශ්වාසවන්ත වෙන්නෙ නැත්තෙ කියල අහන එක අප්‍රබංශයක් තමයි. ඒත් අර කිව්ව All we imagine as light චිත්‍රපටයේ ඒ මායාව චිත්‍රපටයට කඩාවදින විදිහ අවිශ්වාසවන්ත නෑ. ඒක පැහැදිලිව ඉතාම සංයමයෙන් ඉදිරිපත් කරලා තියෙනව ප්‍රේක්ෂකයාට කිසිම අවස්ථාවක මේක කොහොමද වෙන්නෙ කියන ප්‍රශ්නය පවා අමතක කරවමින්. අපි “ආයු” කවුද කියල හොයන එක චිත්‍රපටය ඉවර වෙලා හොයන්න උත්සාහ කළත් ඒ චරිතයට චිත්‍රපටය තුළ ස්ක්‍රිප්ට් එකෙන් හෝ රඟපෑමෙන් කිසිම උදව්වක් ලැබෙන්නෙ නැති බවයි මම විශ්වාස කරන්නෙ. ඒකෙන් වෙන්නෙ ඒ චරිතය බලහත්කාරී චරිතයක් බවට පත් වෙන එක විතරයි. මම මුලින් විශ්වාස කළා “ආයු” තමයි මේ Non linear ප්‍රහේලිකාව විසඳාගත හැකි යතුර කියලා. හැබැයි ඒක එහෙම වුණේ නෑ. ඉතින් ඒ චරිතය අවසානෙදි යොදාගත්තෙ හෝ පාවිච්චි වුණේ මොකටද කියන එක මට නම් ගැටලුවක්.

All we imagine as light
සහ තවදුරටත් චිත්‍රපටය ගැන කිව්වොත් මට මේ චිත්‍රපටයේ නළු නිළියන් කිසිවෙක් ඒ තරම් හයිලයිට් වෙලා පෙනුණෙ නෑ. ඒකට හේතුව කතාව නෙවෙයි. අර කියන චරිත නිරූපණය කරලා තිබ්බ විදිහ සහ ඒ චරිතත් ඒ සීමා තුළ කොටු වීම කියලා මට හිතුණෙ. බාහිරින් චරිත වඩාත් විශ්වාසදායී විදිහට තෝරාගත්තත් ඒවා අභ්‍යන්තරිකව ඒ චරිත සහ ඒ චරිතවල ස්වභාවයන් සම්බන්ධයෙන් ලොකු අර්බුදයක හිටියා කියලයි මට තේරුණේ. ඒ කියන්නෙ දැන් සැන්ඩ්‍රා තමන්ගෙ චරිතය ඇතුළෙ බලාපොරොත්තු කඩවීම්, වේදනාව, කළකිරීම වගේ සියුම් අංශුමය තැන්වලට හිතාමතාම පය තියන්නෙ නෑ. ඒක ස්ක්‍රිප්ට් එක විසින් කරන්නෙත් නෑ. ජගත්ගේ සචින් චරිතයත් එහෙමයි. එයාගෙ කතාව පිටිපස්සෙ තියෙන ඛේදය එයාගේ තුළින් පේන්නෙ නෑ. එතකොට එතන පැහැදිලි ව්‍යාජයක් අපිට පේන්න ගන්නවා නේ ද ? අන්න ඒ අවුල මට තදින්ම චිත්‍රපටය පුරා දැනුණා.
මම ආයු චිත්‍රපටයේ ඉතාම ආශක්ත වුණු දෙයක් තමයි ෆිල්ම් එකේ එකේ ශබ්ද පටය. “ආයු” සෑහෙන්න දුරට ස්වභාවික ශබ්ද භාවිතා කරලා නිර්මාණය කරපු චිත්‍රපටයක්. මේ ස්වභාවික ශබ්දයට සංගීතය සහ කටහඬ එකතු වුණාම එන චමත්කාරජනක බවට මම සෑහෙන්න කැමති වුණා. රූපය සහ ශබ්දය කියන දෙකම සංකලනය වීමක් ආයු චිත්‍රපටය පුරා දකින්න ලැබෙනවා. ඒ නිසා ආයු “බලන්න” ගියාට ආයු “අහන්න” අමතක කරන්න එපා. ආයු කියන්න බලමින් සහ අහමින් රසවිඳිය යුතු සිනමාපටයක් මට අනුව නම්. ඒ වගේම රැලි රැලි සින්දුව මේ චිත්‍රපටයේ නියමිත ස්ථානයේ හරියටම ස්ථානගත කරලා තියෙනවා. ඒ මොහොත සහ හැඟීම වඩාත් හොඳින් දනවන්න පද රචනය, සංගීතය, ගායනය එකතුවුණු චිත්‍රපට රූප රාමුවලට හැකිවෙලා තිබෙන බවයි මගේ මතය. ශබ්දය කියන්නෙ ආයු චිත්‍රපටයේ ‘හැඩය’ ඔප්නංවාලන්න බලපෑ ප්‍රධාන කාරණයක්.
කොහොම වුණත්, ආයු ඉතා විශිෂ්ට විශුවල් ට්‍රීට්මන්ට් එකක් යොදාගත්තත් ඒක චිත්‍රපටයේ හරය එක්ක සැසඳුනා ද කියන ප්‍රශ්නය මට තිබුණා. ඒ ගැන විස්තර කළොත්, විශුවලි චිත්‍රපටය සෑහෙන ඉස්සරහින් යනකොට කතාව එන්නෙ හෙමින් නොන්ඩි ගගහා. එතකොට අර හැල්මේ දුවන කෙනා අපිට වැඩක් නැතුව යනවා. ඒක නියමිත සන්දර්භයට නොගැලපෙන බව අපිට හිතෙන්න පටන් ගන්නවා. මං හිතන්නෙ ආයු මාව අරගෙන ගියේ ඒ වගේ තැනකට.
අවසාන වශයෙන් මට කැමතියි “ආයු” මීට වඩා බරපතල ලිවීමකට නතු කරන්න තිබුණු චිත්‍රපටයක් කියලා හඳුන්වන්න. ඒ වගේම මීට චිත්‍රපටය මීට වඩා බරපතළ සංස්කරණ ක්‍රියාවලියකට යොමු කර යුතුව තිබුණා කියලත් මම හිතනවා. චත්‍ර කියන්නෙ කිසිසේත්ම අසාර්ථක අධ්‍යක්ෂවරයෙක් නෙවෙයි. චත්‍ර හරියටම දන්නවා කොහොමද අධ්‍යක්ෂණය කරන්නෙ කියලා. හැබැයි ප්‍රශ්නෙ චත්‍ර බරපතළ ලියන්නෙක් වෙන්නෙ කවදද ? කියන එකයි. චත්‍ර බරපතළ ලියන්නෙක් වූ පසු හෝ චත්‍රට බරපතළ ලියන්නෙක් හමු වූ පසුව Visually හොඳ නිර්මාණයක් වෙනුවට Serious සහ ඉතා ම විශිෂ්ට නිර්මාණයක් බිහි කරන්න පුළුවන් බව මම විශ්වාස කරනවා.

ජගත් මණුවර්ණ (සචින්), සැන්ඩ්‍රා මැක් (නිෂ්මි), අධ්‍යක්ෂ චත්‍ර වීරමන්, අශාන් ඩයස් (රවී)
සටහන – ජිමුත් ඉඳුසර රත්නායක
