“පළිඟු රෑන” පාර්ලිමේන්තුවේදී…

2025 සාහිත්‍ය මාසයට සමගාමීව කලා සහ සංස්කෘතික කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ මූලිකත්වයෙන් “පළිඟු රෑන” වේදිකා නාට්‍යය ඊයේ (23) ශ්‍රී ලංකා පාර්ලිමේන්තු පරිශ්‍රයේ තඹ දොර අබියස උත්සව ශාලාවේදී (Memorial Hall) සවස 7 සිට සාර්ථක ලෙස වේදිකා ගතවිය. අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවති මේ අවස්ථාව සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නද සහභාගී විය.

නාට්‍ය ආරම්භයට පෙර කලා සහ සංස්කෘතික කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ සම සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නිලන්ති කොට්ටහච්චි සහ සංසදයේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී සේන නානායක්කාර විසින් ප්‍රේක්ෂකයින් වෙත නාට්‍ය පිළිබඳව කෙටි හැඳින්වීමක් සිදු කරන ලදී.

මෙලෙස වේදිකාගත කෙරුණු මෙම “පළිඟු රෑන” වේදිකා නාට්‍ය ප්‍රකට ඇමරිකානු නාට්‍යකරු Tennessee Williams ගේ The Glass Menagerie නම් විශිෂ්ට ගණයේ වේදිකා නාට්‍ය පදනම් කරගෙන නිෂ්පාදනය කර ඇත.

ශ්‍රී ලංකීය සම්මානීය නාට්‍යකරු හෙන්රි ජයසේන විසින් සිංහලට පරිවර්ථනය කරමින් රචනා කල මෙම “පළිඟු රෑන” වේදිකා නාට්‍ය, පුජිත ද මෙල් විසින් අධ්‍යක්ෂණය කර ඇත. ප්‍රවීණ රංගන ශිල්පිනී චාන්දනී සෙනෙවිරත්න ඇතුළු ක්ෂේවියර් කනිෂ්ක, මනුෂි ටානියා, බිම්සර සිල්වා යන රංගන ශිල්පින්ගේ රංගන දායකත්වය ලබා මෙය මෙම නාට්‍ය වේදිකාගත කෙරිණි.

මෙහිදී අදහස් දැක්වූ ආචාර්ය හරිනි අමරසූරිය කලාව හා සෞන්දර්ය පිළිබඳව සංවේදී වීම ඔස්සේ පුද්ගලයෙකුගේ ජීවිතය යහපත්වන බවත් සංස්කෘතියක් නොමැතිව පොහොසත් රටක් නිර්මාණය කල නොහැකි බවත් පැවසුවාය. සමාජය දෙස විවිධ කෝණයන්ගෙන් බැලීමට මෙවැනි කලා කටයුතු වලින් විශාල මෙහෙයක් සිදුවන බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරිය මෙම වේදිකා නාට්‍ය සංවිධානය කළ, කලා සහ සංස්කෘතික කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු සංසදයට සිය ප්‍රශංසාව පළකලාය.

එමෙන්ම මෙහිදී අදහස් දක්වමින් බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙ‍නෙවි, පාර්ලිමේන්තුව යනු රළු තැනක් නොව, පුද්ගලයන්ට සංවේදී ස්ථානයක් බව විදහා දැක්වෙන විශේෂ අවස්ථාවක් බවත් මානව සම්බන්ධතා තවදුරටත් රැකගැනීමට පවතින සුවිශේෂිතම දෙයක් ලෙස මෙවැනි කලා කටයුතු හඳුන්වාදිය හැකි බවත් පැවසුවේය.

මේ අතර ශ්‍රී ලංකාවේ කලා සහ සංකෘතික කටයුතු ප්‍රවර්ධනය හා වෙනුවෙන් කලා සහ සංස්කෘතික කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ දායකත්වය ඉදිරියේදී ලබාදීමට වැඩසටහන් රැසක් සුදානම් කර ඇති බව එම සංසදයේ සාමාජික මන්ත්‍රීවරයන් මෙහිදී අදහස් දක්වමින් පැවසුහ.

මේ අවස්ථාව සඳහා නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි, නියෝජ්‍ය කාරක සභා සභාපති හේමාලි වීරසේකර, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක, අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්, කලා සහ සංස්කෘතික කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ ඇතුළු නියෝජ්‍ය සම සභාපතිවරුන් වන ගරු පාර්ලිමේන්තු රුවන් මාපලගම, නීතිඥ තුෂාරි ජයසිංහ, නීතිඥ සුසන්ත දොඩාවත්ත සහ සුගත් වසන්ත ද සිල්වා , සංසදයේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් ඇතුළු අනෙකුත් මන්ත්‍රීවරයන්, විදෙස් රාජ්‍යතාන්ත්‍රිකයින්, වැඩබලන පාර්ලිමේන්තු මහලේකම් චමින්ද කුලරත්න, සහකාර මහලේකම් හංස අබේරත්න, පාර්ලිමේන්තු කාර්යමණ්ඩල සමාජිකයින් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී ඇත.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading