රාජිත දිසානයකගෙ “අපේ ගෙදර ගිනි තියයිද” බලන්න ඊයෙ ලයනල් වෙන්ඩ්ට් එකට ගියා. රාජිතගෙ කලින් වැඩක් විදිහට මම බලල තිබුණෙ “නැතුව බැරි මිනිහෙක්” විතරයි. නැතුව බැරි මිහිහෙක් එකේ ස්ක්‍රිප්ට් එක කලින් කියවලා තිබ්බ නිසා සෑහෙන බෝරිං වුණා බලාගෙන ඉන්න එක. ස්ක්‍රිප්ට් එක කියවගෙන යනවා විතරයි. නළු නිළියන්ට මූඩ් එකකුත් නෑ. ඔහේ තැන් තැන්වල ඉඳගෙන දෙබස් කටපාඩමෙන් කියනවා. ඒ නාට්‍යය මට දැනුණෙ ස්ක්‍රිප්ට් එක තැන් තැන්වල ඉඳගෙන කියවලා අන්තිමට ගහන අත්පුඩියට ඇවිත් ඔළුව පාත් කරලා ගියා වගේ. ස්ක්‍රිප්ට් එකෙත් ඉතින් දේශපාලන කතා ඉස්මුරුත්තාවට එනව වගේ කෑලි තැන තැන හලලා තිබුණ මිසක හරි දේශපාලන හෝ සමාජීය විවේචනයක් අරගෙන එන්නවත් උත්සාහ කරල තිබුණෙ නෑ නාට්‍ය ඇතුළෙ.

නැතුව බැරි මිනිහෙක් නාට්‍යයෙන් – ඡායාරූපය හේමන්ත අරුණසිරි
රාජිත ගැන හැදිලා තිබුණු ඔය වගේ චිත්‍රයක් එක්ක තමයි මම “අපේ ගෙදර ගිනි තියයිද” බලන්න මම යන්නෙ. රාජිත කියන්නෙ මගහැරගත නොහැකි නාට්‍යකරුවෙක් කියලා කවුදෝ කියලා තියෙනව වගේ මට මතක නිසා “නැතුව බැරි මිනිහෙක්” මුද්‍රණ දෝශයක් කියලා හිතාගෙන මේක බලනව කියල මම හිතාගත්තා.
හැබැයි ඉතින් කියන්න වරදක් නෑ රාජිතගෙ මේ නාට්‍යය පටන් ගත්ත වෙලාවෙ ඉඳලා අර කලින් කිව්ව වගේම දෙබස් කියවගෙන කියවගෙන යන එක ගානට මිම්මට ඒ විදිහට කළා. දෙබස් මූලික නාට්‍ය ලෝකයේ නැති බව හෝ Readers’ Theater ලෝකයේ පවතින්න ඕනෙ නෑ කියන එක නෙවෙයි මම අදහස් කරන්නෙ. සාමාන්‍යයෙන් දෙබසක් කියද්දි ඒකට නළු නිළියන් විසින් යම් බරක් එකතු කරනවා. ඒ දෙබස ගැන විශ්වාසයක් අපි තුළ දනවනවා. මියුසික්, ලයිට්ස්, පසුතල මුකුත් ම නැති වුණත් මනුෂ්‍ය සම්බන්ධතා, ඒ මිනිස්සුන්ගෙ ජීවිතවල ඇතුළාන්තය ඒ බරතැබීම එක්ක අපිට විවර වෙනවා. හැබැයි රාජිතගෙ නාට්‍යයේ නළු නිළියෝ කිසිම කෙනෙක් ඒ අවශ්‍ය බරතැබීම කරන්නෙ නෑ. රාජිත ඒක අධ්‍යක්ෂවරයෙක් විදිහට මෙහෙයවලත් නෑ. දෙබස් ගලාගෙන ගලාගෙන යනවා. ප්‍රේක්ෂකයා දිහා බලාගෙන නළුවො පිටපත කියවනවා. මම පෞද්ගලිකව විශ්වාස කරන්නෙ ඔය පිටපත ප්‍රින්ට් කරලා දුන්නා නම් අපි ඒක කියවලා මනෝමය විදිහට මවාගන්න චිත්‍රය පවා මේ රාජිත මවපු දුර්වල චිත්‍රයට වඩා පොහොසත් කියලයි.

අපේ ගෙදර ගිනි තියයිද නාට්‍යයෙන් – ඡායාරූපය යොහාන් මධුසංක
රාජිතගෙ නාට්‍යය ඇතුළෙ සංගීතය, රංගාලෝකය, පසුතල නිර්මාණ වගේ දේවල් ප්‍රධාන වෙන්නෙ නෑ. ඒ ප්‍රධාන නොවීමත් එක්ක නාට්‍යය ගෙනයාමේ සම්පූර්ණ බර පැටවෙන්නෙ අර කියන නළු නිළියන්ගේ රංගනය සහ චරිතය වෙනුවෙන් කරන බරතැබීමට වගේම ස්ක්‍රිප්ට් එකට සහ ඒකෙ තියෙන චරිත ගොඩනැංවීමට.
රාජිතගේ නාට්‍යයේ ස්ක්‍රිප්ට් එක මට නම් සෑහෙන මදි. ඒ ස්ක්‍රිප්ට් එකේ තියෙන කතාවේ ගලායෑමට අදාළ නැති දාර්ශනික කතා, LTTE එක, මහින්ද රාජපක්ෂ, දේශපාලනය වගේ දේවල් අතරින් පතර කිසිම සම්බන්ධයක් නැති උඩින් කතා පාත්වෙන දෙබස් වගේ ඔහේ පනිනවා. ඔය නාට්‍ය ඇතුළෙ දේශපාලනය කරන්න හරි රට හදන්න හරි උත්සාහ කරන්න කලින් අඩුම තමන්ගෙ අවංක ප්‍රකාශනයට තැනක් දෙන්න ඕනෙ. ඒක නොකර දේශපාලනිකව නිවැරදි වෙන්න ගියාම වෙන්නෙ ඒකෙ තියෙන ව්‍යාජය පොළා පනින එක. දැන් උදාහරණකට නාට්‍යයේ එක තැනක අරගෙන එනවා “LTTE එකට පයින් ගහලා පැන්නුවා. පස්සෙ ඒ LTTE එකට පයින් ගහපු මහින්ද රාජපක්ෂවත් පැන්නුවා” වගේ අර්ථයක් එන දෙබස් කොටසක්. මගේ ප්‍රශ්නය රාජිතට මේ දෙකම එකක් වගේ පේන්නෙ කොහොමද කියන එකයි. මහින්ද රාජපක්ෂ එලවපු එක කේන්ද්‍රීය දේශපාලන මොහොතක් කියලා පෙන්නන්න එතනින් පස්සෙ මිනිස්සුන්ගෙ අදහස්වල වෙනස්වීම හෝ එතනට පත්වෙන්න බලපෑ හේතු කියන දේවල් මේ වගේ කිසිම අදාළත්වයක් නැති මෙළෝ සංසාරෙක ගලපගන්න බැරි දෙබස් හරහා අරගෙන එන එකෙන් රාජිත උත්සාහ කරන්නෙ දේශපාලන විචාරකයෙකු වෙන්න නම් හෝ දේශපාලනිකව බයියෙක් නොවන බව පෙන්නා නිවැරදි වීම නම් ඒකෙ ව්‍යාජය අමු අමුවෙම ප්‍රේක්ෂකයට පේනව කියන එකයි මගේ අදහස නම්.

අපේ ගෙදර ගිනි තියයිද නාට්‍යයෙන් – ඡායාරූපය යොහාන් මධුසංක
ස්ක්‍රිප්ට් එකේ චරිතවල සහසම්බන්ධත ගොඩනගද්දි, අඹු – සැමි, යහළු මිත්‍ර සම්බන්ධකම්වල තියෙන Depth එක රාජිතට අහුවෙලා තිබුණෙ නෑ. ඒ කියන්නෙ යහළුවො දෙන්නක් අතර ඇතිවන සංවාදයක් වේවා අඹු සැමියන් අතර වන සංවාදයක් වේවා ඒවගෙ තියෙන ගැඹුර සහ ඒ සම්බන්ධතාවල තත්ත්වය සම්බන්ධයෙන් අපිට කියවාගන්න පුළුවන් වෙන්නෙ රචකයා චරිත ගොඩනගන විදිහ එක්ක. හැබැයි නාට්‍යය පුරාම අපිට දකින්න ලැබෙන කිසිඳු චරිතයක එහෙම එළැඹුමක් නෑ. ඒ චරිත අතර තියෙන සම්බන්ධතා ඉතා ම ළාමකයි. උදාහරණයක් විදිහට දික්කසාද ගැහැනියක් සහ හිටපු පොලිස් නිලධාරියා අතර ඇතිවන සම්බන්ධය ගත්තොත්, ඇයි එයා ඒ වගේ සම්බන්ධයකට එළැඹෙන්නෙ ? මොහොතකින් ඒ තත්ත්වයට පත්වෙන්න එයාට තිබුණ හේතුව මොකක්ද වගේ ප්‍රශ්නවලට එළැඹෙන්න තරම් ඒ චරිතවල ගැඹුර නාට්‍යයේ සටහන් වෙලා නෑ. ප්‍රධාන චරිත දෙකක් වන නිරෝෂිගේ සහ විජිත් ගේ අඹු සැමි සම්බන්ධය පවා ඒ විදිහෙ Odd සම්බන්ධ දෙකක් මිසක් ඒ දෙන්නා අතර තියෙන සම්බන්ධයේ ස්වරූපය හෝ බිඳවැටීම අපිට විශ්වාස කරන්න හේතු සාධක නාට්‍යය ඇතුළෙ නෑ.
සාමාන්‍යයෙන් පතිරාජගෙ “පාරදිගේ” වගේ චිත්‍රපටියක මේ කියන Abstract චරිත සහ සිදුවීම් අපිට දැකගන්න පුළුවන්. හැබැයි චිත්‍රපටයේ කිසිඳු තැනක ඒ චරිත හෝ සිදුවීම් ඇතුළට එළඹෙන්න වචනෙකින්වත් උත්සාහ කරන්නෙත් නෑ. ඒ මුළු චිත්‍රපටයම අපිට පේන්නෙ තුන්වන ඇසකින් මිසක් ඒ චරිත එක්ක බද්ධ වීමෙන් හෝ ඒවා තේරුම්ගැනීමට උත්සාහ කිරීමෙන් නෙවේ. ඒක චිත්‍රපටය ඇතුළෙම අපිට සන්නිවේදනය කරනවා “අපි හරියට එඬරු දඬු වගේ මුල් නෑ හැබැයි දළු දානවා” කියලා.

පාරදිගේ – ධර්මසේන පතිරාජ
හැබැයි මෙතන තත්ත්වය ඊට වඩා වෙනස්. මෙතනදි අපිට ඓන්ද්‍රීය ඉඟි සහ තොරතුරු ලබා දෙනවා මේ චරිතවල මුල් විහිදිලා තියෙනව කියලා. උදාහරණයක් විදිහට පළමු ජවනිකාවේ ම යහළුවන් අතර ඇතිවන සංවාදවලදි ඒ සම්බන්ධ සිදුවීම් ප්‍රේක්ෂකයාට අහන්න දකින්න ලැබෙනව. හැබැයි ඒ මුල් මොනවද ? ඒවා මොනතරම් දුරට විහිදිලා ද ? කියන එක රාජිත කියන්න උත්සාහ කරන්නෙ නෑ. අපි රාජිත කියන හැමදේම විශ්වාස කරයි කියලා පූර්ව නිගමනයකට රාජිත පත්වෙලා ඉන්න නිසා එයාට ඒ චරිත සහ සිදුවීම් අතර තියෙන විශ්වාසය මගෑරෙනවා කියලයි මට හිතෙන්නෙ.
ඔය ස්ක්‍රිප්ට් එකේදි හරියට නොලියැවුණු චරිතවලට නළු නිළියන් ඉතා ම දක්ෂ විදිහට පණ පොවලා ඒ චරිතය ගොඩදාන අවස්ථා තියෙනව. මේ වෙලාවෙ ප්‍රසිද්ධ උදාහරණයක් විදිහට “නෙළුම් කුළුණ” චිත්‍රපටයෙ ප්‍රියන්ත සිරිකුමාර පෙන්වන්න පුළුවන්. ඒ කියන්නෙ ඒ අවශ්‍ය ගැඹුර සහ හැඟීම දනවන්න නළු නිළියන්ට පුළුවන් සහ මෙහෙයවන්නා හෙවත් අධ්‍යක්ෂවරයාට ඒකට මැදිහත් වෙන්න පුළුවන්. හැබැයි “අපේ ගෙදර ගිනි තියයිද” නාට්‍යයේ නළු නිළියොවත්, අධ්‍යක්ෂවරයාවත් අර දෙබස්වලින් ගේන්න හදන දේ ප්‍රේක්ෂකයට දැනවෙන විදිහට රංගනයෙන් විශේෂයෙන් ම ආංගික, සාත්වික අභිනවලින් කියන්න පුළුවන් කියන දේ අමතක කරල ඔහේ ස්ක්‍රිප්ට් එකම කියව කියව හැඟීමක් නැතුව වේදිකාවේ එහෙ මෙහෙ ඇවිද්දා කියල සිතුවිල්ල විතරයි මට ඉතුරු වුණේ.

අපේ ගෙදර ගිනි තියයිද නාට්‍යයෙන් – ඡායාරූපය යොහාන් මධුසංක
මම මේ නාට්‍යයේ බලාපොරොත්තුවක් දල්වාගෙන ගියේ තරුෂ සහ ප්‍රදීප්ගේ රඟපෑම් සම්බන්ධයෙන්. තරුෂ කියන්නෙ දෙබස් මූලික නාට්‍යයක් වුණත් රඟපෑමෙන් ගොඩ දාන්න පුළුවන් කියන කාරණය මට තේරුණේ “Run for your wife” නාට්‍යය බලපු දවසෙ. ප්‍රේමයේ කවිනළුව වගේ ඩ්‍රාමා එකක ප්‍රදීප්ගේ Act එක සම්බන්ධයෙන් මට තිබුණ අත්දැකීමත් ප්‍රදීප් සම්බන්ධයෙන් බලාපොරොත්තු සහගතව ඉන්න බලපෑවා. ඒත් ඒ දෙන්නම මේ නාට්‍යයේ රඟපෑව විදිහ සහ පැතලි ස්වභාවය හොඳ මෙහෙයවන්නෙක් නොමැතිකමෙන් නළුවන්ට සිද්ධ වෙන අසාධාරණය සම්බන්ධයෙන් ඉතාම හොඳ නිදර්ශනයක් බවයි මට හිතෙන්නෙ.
වැඩි දෙයක් ඕනෙ නෑ ඔය මම කියපු කරුණු ටික සංසන්දනාත්මකව බලන්න පුළුවන් මේ දවස්වල වේදිකාගත වෙන ඉන්දික ෆර්ඩිනෑන්ඩෝගේ “රහසිගත ලිපිගොනු” බලනවා නම්. අඩු තරමෙ කුතුහලය අවසානය වෙනකන් ම අරගෙන යන්නෙ කොහොමද කියලවත් ඒක බලලා රාජිතට ඉගෙනගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. මනුෂ්‍ය සම්බන්ධතා, ඒවායේ කැත යථාව, ඒ සම්බන්ධතා චරිත ගොඩගැනීමත් එක්ක කොහොමද විශ්වාසීය තැනකට අරන් යන්නෙ කියන එක වගේ ම තමාගෙ පෞද්ගලික දේශපාලන සහ සමාජීය කියවීම ඉස්මුරුත්තාවෙ යවාගන්නෙ නැතුව ශානරීය ලක්ෂණ ඇතුළෙ ඉඳගෙන කොහොමද පෙන්නන්නෙ කියන කාරණය රහසිගත ලිපිගොනු පෙන්වලා දෙනවා. අඩු තරමෙ ඒක බලලා මේ නාට්‍යය බලනවා නම් “මේවා නාට්‍ය ද ?” කියලා හිතෙන එක අරුමයක් නෙවෙයි මට අනුව නම්.

අපේ ගෙදර ගිනි තියයිද නාට්‍යයෙන් – ඡායාරූපය යොහාන් මධුසංක
දේශපාලනික නාට්‍ය කියල කියන්නෙ නාට්‍ය ඇතුළෙ දේශපාලනඥයෝ කරපු ඒවා කිය කිය ඒක නිසා අලුත් දේශපාලන බලවේගෙකට දෙන්න ඕනෙ වගේ කතාවලින් මතුපිට කිණ්ඩි දාලා ප්‍රේක්ෂකාගාරය චූන් කරන එක කියලා මම හිතන්නෙ නෑ. ඒකට සජීවී උදාහරණයක් කිව්වොත් ඉතින් ආයෙමත් අරන් එන්න වෙන්නෙ රහසිගත ලිපිගොනු ම තමයි. ඒකෙ තියෙනව සමස්ත බල දේශපාලන ව්‍යුහය, ආගම, සංස්කෘතිය සහ ජීවිතය සම්බන්ධ විවේචනාත්මක කියවාගැනීමක්. ඒක මේ වගේ මතුපිටින් හලාගෙන යන “ජෝක් කිණ්ඩි” නෙවේ. ප්‍රේක්ෂකයා හිනස්සන්න අමුණගෙන යන ඒවත් නෙවේ. කැමති කෙනෙක්ට කියවාගන්නත් කැමති කෙනෙක්ට කියවානොගන්නත් පුළුවන් විදිහට Sub – text එකක් විදිහට නාට්‍යය තුළින් අරන් එන්නක්. රාජිතලා මේ කරන්නෙ තමන් කියන්න හදන එක තේරෙන්නෙ නැති වෙයි කියලා මතුපිටින් කිණ්ඩියක් දාලා ඒක ප්‍රේක්ෂකයාට ඒ විදිහට බාරගන්න දමලා ගැහීමක්. තමන්ගෙ වැඩේ ගැන අවංක නැති ඕනෙ කෙනෙක්ට ඔය ප්‍රශ්නෙ එන්න පුළුවන් කියලයි මම හිතන්නෙ.
රාජිත කියන්නෙ හොඳ නාට්‍යකරුවෙක් ද නැද්ද කියන ප්‍රශ්නයකට උත්තර මම දන්නෙ නෑ. හැබැයි මම බලපු නාට්‍ය දෙක අනුව නම් මට තේරෙන්නෙ රාජිතගේ නාට්‍ය Script reading එකකින් වෙනස් වෙන්නෙ සෙට් එකක් දාලා ලයිට් ටිකක් අමුණලා, අදාළ නැති මියුසික් කෑලි ටිකක් අමුණපු එකෙන් විතරයි කියලා.

අපේ ගෙදර ගිනි තියයිද නාට්‍යයෙන් – ඡායාරූපය යොහාන් මධුසංක
( මේකෙ සින්දු දෙක තුනක් තියෙනව, ඒවගෙ Lyrics ඇහුවම හිතුණෙ චින්තන ධර්මදාස “ආයු” එකට ලිව්ව සින්දුවට චින්තාට මල් තියල කොන්ද නවල වඳින්න ඕනෙ කියල. අඩු තරමෙ Context එක ගැලපෙන ඒක කියවගන්න පුළුවන් සින්දුවක් ලියපන්කො මේවට ලියද්දි )
ජිමුත් ඉඳුසර රත්නායක
