ඔස්කා(ර්) සම්මාන උලෙළ සඳහා ‘හොඳම අන්තර්ජාතික වෘත්තාන්ත චිත්‍රපට’ කාණ්ඩය වෙනුවෙන් බංගලාදේශය නියෝජනය කරමින් තේරී පත්වුණු පළමු චිත්‍රපට අධ්‍යක්ෂවරිය වීමේ අවස්ථාව “ලීසා ගාසි (Leesa Gazi)”වෙත හිමි ව තිබෙනවා.
ඒ බංග්ලාදේශ ඔස්කා(ර්) කමිටුව 98 වන ඇකඩමි සම්මාන උලෙළ සඳහා ලීසා ගාසිගේ කුළුඳුල් චිත්‍රපටය වන “බරීර් නාම් ෂහානා” (Barir Naam Shahana) චිත්‍රපටය තෝරා පත්කර ගැනීමත් සමඟයි.
කෙසේ නමුත් මෙම චිත්‍රපට කාණ්ඩය වෙත ඉදිරිපත් කිරීම සඳහා බංග්ලාදේශය විසින් චිත්‍රපට 5 ක් සලකා බැලූ අතර, සබා (Saba), මයිනා(Mayna), ප්‍රියෝ මලෝටි(Priyo Maloti) සහ නක්ෂි කන්තර් සමින් (Nakshi Kanthar Zamin) එසේ සලකා බැලූ අනෙක් නිර්මාණ වන බවයි සඳහන් වන්නේ.
එංගලන්තයේ වෙසෙන වැන්දඹු පුරුෂයෙකු විසින් බලහත්කාරයෙන් විවාහ කරගන්නා දීපා නම් තරුණිය වටා ගෙතෙන මෙම චිත්‍රපටය චිත්‍රපටය හරහා 1990 හා ඒ ආශ්‍රිත කාලයේ බංග්ලාදේශයේ ග්‍රාමීය ප්‍රදේශයන් පිළිබඳව විවරණය කරන අතර, දීපාට සිදු වන බලහත්කාරී අපයෝජනයයෙන් අනතුරුව ඇයට මුහුණපෑමට සිදු වන තත්ත්වය, ඇගේ වෛද්‍යවරියක් වීමේ සිහිනය, පීතෘමූලික සමාජයක් තුළ ඇයට සිදුවන කෙණෙහිළිකම් හා ඇගේ ජීවිතයට සිදුවන බලපෑම් නිරූපණය කිරීමට සමත් ව තිබෙනවා.
අසරණභාවය, ස්වයං – තීරණ ගැනීම, ස්ත්‍රීත්වය, දේශපාලනය හා සමාජ පන්ති බෙදීම් මෙන්ම ලිංගිකත්වය අනුව සිදු වන ආන්තීකරණය ආදී දෑ මෙහි චරිත හා බද්ධ වෙමින් කතිකාවතට වෙත රැගෙන ඒමට අධ්‍යක්ෂවරිය සමත්ව තිබෙනවා.
මෙම චිත්‍රපටය බංග්ලාදේශයේ දේශීය ප්‍රේක්ෂකයින් සඳහා සිනමාහල්වලට නිකුත් කර ඇති අතර, 2023 දී MAMI ((Mumbai Academy of Moving Image)) චිත්‍රපට උළෙලේදී ප්‍රථම වරට ප්‍රදර්ශනය කරනු ලැබ තිබෙනවා.
කෙසේ නමුත් එහි දී ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ සංවේදීතාව සඳහා වන ජූරියේ විශේෂ සම්මානයෙන් පිදුම් ලැබූ මෙම චිත්‍රපටය ඩකා ජාත්‍යන්තර චිත්‍රපට උළෙල, කොල්කටා මහජන චිත්‍රපට උළෙල සහ ලන්ඩන් ඉන්දියානු චිත්‍රපට උළෙල ඇතුළු ලොව පුරා සිනමා උලෙළවල් සඳහා සුදුසුකම් ලැබූ බව සඳහන් වනවා.
