සමන් කුමාර නම් කෙටිකතාකරුවා (පළමු කොටස)
‘සර්පයකු හා සටන් වැද’ සහ ‘සඳැල්ලෙන් වැටී මිය ගියහ ඔවුහු’
ලෝකයේ විවිධ රටවල විවිධ ලේඛකයෝ වෙසෙති. බොහෝ විට එම ලේඛකයෝ රටක සාහිත්‍යය ඉහළ තැනකට ගෙන ඒමට මහත් සෙයින් උපකාර වෙති. මෙය එවැනි ලේඛකයෙකු සඳහා වෙන්වුණු ලිපියකි. මේ ලිපිය වෙන් ව ඇත්තේ සිංහල සාහිත්‍යයේ ගොලායත් ලෙසින් හැඳින්විය හැකි ලේඛකයකු වෙනුවෙනි. ඔහුගේ කෘති සියල්ල ඉංගිරිසියට පෙරළෙන්නේ නම්, ඔහු ජාත්‍යන්තර සම්මාන රැසක් වුව දිනාගැනීමේ හැකියාවකින් හා නිර්මාණශීලීත්වයකින් යුතු රචකයකු කියා මම සිතමි. මීට හොඳම උදාහරණ දෙකකි යසුනරි කවබතා සහ කෙන්සබුරෝ ඕයී. කෙතරම් දක්ෂ ලේඛකයෙකු වුව, භාෂාවලට නොපෙරළෙන්නේ නම් කිසිදාක එම ලේඛකයාට ජාත්‍යන්තරයට විහිදුණු ලේඛකයකු විය නොහැක. එහෙයින් අනාගතයේ දී හෝ ඔහුගේ කෘතීන්වලට එලෙස පරිවර්තන ලැබේයැයි සිතමින් ලිපිය අරඹමි. සර්පයකු හා සටන් වැදි හෙතෙම, සර්පයා ය. එ’සඳ මම බලා සිටියෙමි යනුවෙන් පවසා නොබෝ කලක් ගත වන්නට මත්තෙන්, හෙතෙම සඳැල්ලෙන් වැටී මිය ගිය අයවලුන් දෙස බල බලා නේරංජනේ ඉස්නානයක් කරන්නට වී. ඉහිරුණු පිනි අහුරක් ද නගා මැරූ අල ද එ වේලේ ඔහු දෑතෙහි ය. මේ අතරවාරයේ දී ඔහු පුංචි ඊවා, බිල්ලා සහ පුංචි සඳවතිය අමතක කළේ ද නැත; විදෙස් ලේඛකයින් ව අමතක කළේ ද නැත. වසර කිහිපයක ඇවෑමෙන් ඔහු අසාත්මිකතාවක් ගැන ලියන්නට වූයේ මහිලා වංශය අප හමුවේ දිග හරිමිනි. ඉනික්බිති, අර්ධනාරිය අප වෙතට එවා, හෙතෙම මාක්ස් හා සම්මුඛ වන්නට වී. ඉන්පසු පිළිවෙලින් මාක්ස් ව ද, කොළඹට කවි නැවක් ද, රතී නම් සුදු යකින්නියක් ද පිට කළේ සිය අභ්‍යන්තරයේ වූ නිර්මාණකරුවා කෙතරම් විචිත්‍රවත් ද සහ කෙතරම් නිර්මාණශීලී ද කියා අප හට පෙන්වන්නට බව නම් මට නිසැකයෙන් කිව හැක.
කාව්‍යකරණයේ දී ඔහු විප්ලවීය චරිතයක් වුව ද, මෙම ලිපියෙන් මා ඔබේ අවධානය යොමු කරන්නට තනන්නේ කේ. කේ. යන නවකතාකරුවා සහ කෙටිකතාකරුවා දෙසට ය. මාගේ පුද්ගලික මතය නම්, ඔහු ජාත්‍යන්තරය හඳුනාගත යුතු ලේඛකයකු යන වග ය. එහෙත් මා හට කියැවීමට සොයාගත නොහැකි වූ මහිලාවංශය සහ නේරංජනේ ඉස්නානේ මෙම ලිපියෙන් සාකච්ඡා කරන්නට මම තැත් නොකරමි.
“සර්පයකු හා සටන් වැද – කෙටිකතා එකතුව”

සර්පයකු හා සටන් වැද යනු අතිශයින්ම කෙසඟ කෙටිකතා එකතුවකි. එසේ වුව, එම හින්දෑරි එකතුවේ එන කතන්දර දොළොස, ලාංකේය කෙටිකතාවේ මඟ වෙන’තකට හැරවූ වග නොරහසකි. මෙහි මා සිත බෙහෙවින් ම පුදුමයට පත් කළ කතන්දර ගණනාවකි. මාගේ මතයට අනුව, ඉන් ප්‍රබලතම කතන්දර ත්‍රිත්වය “සර්පයකු හා සටන් වැද,” “සුළඟට ගසා ගිය ගැහැනියක්,” හා “අපබ්‍රංස කතාවක්” යන කතන්දර ය. සර්පයකු හා සටන් වැද යන කෙටිකතා එකතුවෙන් පිළිඹිබු වන්නේ එකල නවක ලේඛකයෙකු වූ සමන් කුමාර මහතා කෙතරම් ප්‍රබලයෙකු වූයේ ද යන වග ය. අන්වර්ථ නාමයෙන් ඔහු සර්පයා වූයේ මෙහි එන සර්පයකු හා සටන් වැද නම් කෙටිකතාව නිසාවෙනි. සර්පයකු හා සටන් වැද යන කතන්දරය ගෙතී ඇත්තේ සිය දියණිය හා ව්‍යාභිචාරී සම්බන්ධයක් පවත්වාගෙන පියෙකු වටා වන අතර, කතන්දරය කියවන වාරයක් පාසා, පෙර කියැවීමේ දී හඳුනාගත නොහැකි වූ විශේෂ කරුණු කියවන්නාට හැඟෙන බව මාගේ පුද්ගලික මතය යි. මනසේ චිත්තරූප මැවීමේ කලා නියමය, එසේත් නැතොත් විෂුවල් ඉමේජරි, ඔහුගේ කතන්දරවල ප්‍රබලතම ස්ථානයක් ගන්නා බව මාගේ මතය යි. එමෙන්ම, සංකේතකරණයේ දී ඔහු කෙතරම් ප්‍රබලයෙක් ද කියා පාඨකයිනට දැනගත හැකිවන්නේ ද මෙම කතන්දර එකතුවේ එන මෙම කතාව මඟින් බව මාගේ මතය යි. පළමු කියැවීමේ දී මට හමු නොවූ එක් විශේෂ සංකේතයක් මෙම කතන්දරයේ තිබුණ’තර, එය අහම්බයක් දෝ කියා මට සිතුණ ද, ඔහු තුළ ඇති දැනුම නිසාවෙන් මෙය අහම්බයක් නොවන්නේ යැයි මම සිතමි. එකී විශේෂ කරුණ නම් ඊජිප්තුවේ උපත ලද සංකේතයක් වන ඖරෝබොරොස් ය. ඖරෝබොරොස් යන සංකේතයෙන් පිළිඹිබු වන්නේ සිය වල්ගය ගිලගන්නා සර්පයකු ය. “ඖරෝබොරොස්” යන වචනයේ තේරුම ද “වල්ග-බුදින්නා” ය. ඖරෝබොරොස්ගෙන් හැමවිටකම පාහේ කියැවෙන්නේ සෘණාත්මක අදහසක් නොවුණ ද, සමහර අවස්ථාවල දී එය එලෙසින් ද අර්ථකතනය කර ඇත. පොදුවේ ඖරෝබොරෝස් යන්නෙන් කියැවෙන්නේ ඒකතාව පිළිබඳ ව ය; අනන්තය පිළිබඳ ව ය; නව ජීවය පිළිබඳ ව ය. නමුත්, සුළුතරයට අනුව, ඉන් කියැවෙන්නේ තමාගේ ම පාපයන්ගෙන් තමා විනාශ කරගැනීම පිළිබඳව ය. ඒ අර්ථයෙන් එම සංකේතය පිළිබඳ ව සලකා බලන කල, එය “සර්පයකු හා සටන් වැද’ කතන්දරයට ඖචිත්‍ය වේ. සංකේතයෙන් හැඟෙනවා යැයි බොහෝ දෙනා පවසන අර්ථයට එය නොගැළපුන ද, සුළුතරය දරනා මතය හා සසඳා බලන කල්හි එය කතාවට බෙහෙවින් ගැළපේ. පිටු තුනක දිගින් යුතු වුව, නවකතාවල හෝ දැකගත නොහැකි මනබන්දන රචනා ශෛලියකින් මෙය රචනා වී ඇත. බොහෝ විදෙස් කෘතිවල උපුටන ලෙස දැක්විය හැකි කොටස්වල අතිශය නැවුම් ස්වභාවයක් මම දැක ඇත්තෙමි. එවැනි නැවුම් ස්වභාවයක් මෙම කතන්දරය පුරාවට ම ඇත. දුවණියගේ උපතේ සිට, ඇගේ වැඩිවිය දක්වා ම ඇති වැකි පෙළ, මාගේ මතකයේ තවමත් රඳා පවති යි. ඒ වැකිපෙළ අතරේ මා මතකයේ එකෙණෙහි රැඳුණු කොටස මෙය ය: “සඳ එළිය කැටි ගැසුණු සුදු වටොර ය. ගවුම පිරිමදින දෙ තන ලප තුඩු ය. මීන චංචල කිඳුරු දෑස ය. හදිසියේ ම පොළොව පළාගෙන සර්පයා උඩට මතු විය. මම ඇයට නොපෙනෙන්නට ඌ පයින් පාගා ගතිමි.” මේ කලකිරෙන සිද්ධි දාමය සහ සර්පයා කරන්නට කියනා ඕනෑම දෙයක් ඔවුන් සිදු කරන බව පියා අප හමුවේ පවසා අවසන් වූ සඳ, අප දෑස ගැටෙන කොටස මෙය ය: “ඌ අද හෝ හෙට මිය යා යුතු ය. නැතහොත් ගල්මුල්වලින් වැසී අපත් සමඟ ම මිය යා යුතු ය.
මෙහි ම හමුවන “අපබ්‍රංස කතාවක්” මඟින් සිදුවන්නේ සම්මත ය කියා සැලකෙන පිළිගැනීම් තරමක් හාස්‍යයට ලක් කිරීම ය යන්න මාගේ පුද්ගලික මතය යි. දිවි තොර කර ගැනීමේ අදිටනින් යුතු ව රේල්පාරේ වැතිර සිටින තරුණියක්, එතැනට කඩා වදින තරුණයකුගේ අතින් බලහත්කාරකමට ලක් වෙයි. කෙලෙසීමට ලක් වීමෙන් අනතුරු ව පොලිස් නිළධාරීන් හට හමුවන ඇය ව පොලීසියට රැගෙන ආ පසු, ඇය පතන්නේ එක’මෙක දෙයකි. එය නම් එම තරුණයා ව තමන් හට නරඹන්නට ඉඩ ලබා දෙන මෙන් ඉල්ලීම ය. මිනිසා උපතේ සිට ම අභූත ජීවියෙකු බව අමුතුවෙන් කිව යුතු නොවේ. තමාට අනන්‍ය වූ අන්දමේ අභූතභාවයක්, නෛසර්ගික අභූත ගුණයක්, සමාජයේ අප දෑස ගැටෙන බොහෝ දෙනෙකුට ම ඇත. බොහෝ අවස්ථාවන් හි දී එම අභූත භාවය ඔවුන් තුළ ම පවතින්නකි. එය ඔවුනට ද හඳුනාගත නොහැකි ය. සමහර විටෙක දී එවැන්නක් අප තුළ තිබේ ද කියා ද අපි නොදන්නෙමු. නමුත්, එවැනි අභූත ගුණ තිබෙනා අයවලුන් සමාජයේ ඕනෑ තරම් දැකගත හැකි අතර, එවන් චරිතයක් ප්‍රධාන කරගනිමින්, පිටු දෙක තුනකින් සමාජයේ සිදු වෙතැයි සිතිය නොහැකි එවැනි සිද්ධියක් අප හමුවේ ගෙනහැර පාන රචකයා, මේ කෘතිය පුරාවට ම සිය අවිය කරගන්නේ භාෂාව ය. ඔහු ලියූ වැකියක අක්ෂරයකුදු වෙනස් වුවහොත්, අර්ථයට හානියක් සිදු නොවුව, ශබ්ද රසයට තරමක අසාධාරණයක් වීමේ ප්‍රවණතාවක් ඇති වග මගේ මතය ය. උදාහරණයක් ලෙස, ‘නාසය’ යන වචනය පිළිබඳ සලකා බලන කල, ඔහු නාසය යන වචනයට සමාන පද නොයෙක් නොයෙක් අවස්ථාවල දී භාවිත කරනුයේ කතන්දරයට ඔහු භාවිතා කරන වාක්‍ය ශෛලියට අනුගතව ය. උක්ත ‘නාසය’ යන වචනය සැළකුවහොත්, මා කියැවූ කතන්දරවල ඔහු විවිධ අවස්ථාවන්වල දී එය ‘නාසය,’ ‘නහය,’ ‘නැහැය,’ සහ ‘නාහෙ’ යන නොයෙක් නොයෙක් ආකාරයෙන් යොදා තිබෙනු මම දිටිමි. ඒ හුදු වචන හරඹය පුදුම උපදවන එකක් වන හෙයින්, එබැව් නැවත නැවත නිරායාසයෙන් ම ලිපියේ අන්තර්ගත වීම වළකාලිය නොහැක. එනමුදු පෙර සඳහන් කළ පරිදි ම, අපබ්‍රංස කතාවේ තරුණිය වටා මනුෂ්‍ය ආශාව සහ මනුෂ්‍යයා ගේ මනස මුල්කොටගෙන ඔහු මවන්නා වූ මනරම් සිද්ධිය කෙතරම් මායාකාරී වූයේ ද?
තෙවැනි කතන්දරය ලෙස මම තෝරාගත් කතන්දරය “සුළඟට ගසා ගිය ගැහැනියක්” ය. මෙය, අතිශය සංවේදී සිදුවීමක්, ශ්‍රී ලංකා ඉතිහාසයේ සිත කළඹනසුලු එක් අවස්ථාවක් ශ්‍රේෂ්ඨා’කාරයෙන් පන්හිඳ හසුරවා ගෙත්තම් කළ අවස්ථාවකි. කතාව ඇරඹෙන්නේ ම වීථියක ගමන් ගන්නා කතකගේ රුවක් අප මනසේ මවමිනි. ඇය, සිය දරුවා ද වඩාගෙන මාවත ඔස්සේ පිය නඟිමින් සිටින්නී ය. ඈ පසුපසින් එක් වරම නැවතුණේ පා පැදියකි. එය පැදවූයේ පොඩ්ඩේ ය. කරණවෑමියෙකු වූ මුත්තු නම් තම ද්‍රවිඩ සැමියා මිය යෑම නිසාවෙන් දුක් ව සිටින සෝමා ට තමා හා පදිංචි වන ලෙසට යෝජනාවක් කරන හේ, ඇගේ දෑසින් වෛරය දුටු කෙණෙහි ගිනිමරේට එතැනින් පිට ව යයි. ඇය, නැවතත් සිය දෙමව්පියන්ගේ නිවහන දෙසට ඇය ව ගෙන යන මාවත දෙස බලා සුසුම් හෙලන්නී ය. මෙම සිදුවීම රචනා වී ඇත්තේ 83 කළු ජූලිය පදනම් කොටගෙන බැව් පිටු එකහමාරක දිගින් යුතු මෙම කතන්දරය කියවන විට ඔබට නිසැකව ම පසක් වනු ඇත. පෙර මා කිව් පරිදි ම, මිනිසා කෙතරම් අපූර්ව ජීවියෙකුදැයි කියා නොවේ ද කතන්දරකරුවා අප හමුවේ පවසන්නේ? “ඔහු නිසා ලස්සන වූ මුහුණු ම මාරයින් ගේ මුහුණු මෙන් අවලස්සන ව ඔහු දෙසට හැර වී තිබූ අයුරු, ඔහුගේ අතින් ඒ මුහුණු උඩ ලස්සනට හීන් සීරුවේ එහෙට මෙහෙට ගිය දැලි පිහිය ඔහු දෙස කිසිඳු පරිස්සමක් නැති ව ඔරවාගෙන උන් අයුරු . . . ඇගේ නෙතින් කඳුළුවැල් රූරා බසින්නට විය.” මෙම වැකි අල්පයෙන් චිත්ත රූ මැවීම උපරිමයට ම සිදු ව ඇත ය යන්න මාගේ මතය යි. ඊටත් වඩා ප්‍රබල ව මෙම තේමාව පදනම් කරගෙන තවත් මෙවැනි ම කෙටිකතාවක් ලියූවේ ද මොහුම ය. මහාචාර්‍ය කුලතිලක කුමාරසිංහයන්ට අනුව, උක්ත ආන්දෝලනාත්මක කාල පරිච්ඡේදය පදනම් කරගෙන ලියැවුණු ප්‍රබලතම කෙටිකතා ද්විත්වය රචනා කළේ මොහු ය.
“සඳැල්ලෙන් වැටී මිය ගියහ ඔවුහු – කෙටිකතා එකතුව”

“සඳැල්ලෙන් වැටී මිය ගියහ ඔවුහු” යනු ද අතිශයින් ම විශේෂ කෙටිකතා එකතුවකි. මෙහි කතන්දර “සර්පයකු හා සටන් වැද” එකතුවෙහි එන කතන්දරවලට වඩා තරමක් වෙනස් ය. කතන්දර දහයකින් හෙබි මෙය, මීට පෙර ආ කෙටිකතා එකතූන් දෙකට ම මැද තැනක් ගන්නා බව මාගේ අදහස යි. සර්පයකු හා සටන් වැද යනු ඔහුගේ කෙටිකතා එකතූන් අතරින් පහසුවෙන් ම කියැවිය හැකි එකතුව වන අතර, ඊට පසු ආ එ’සඳ මම බලා සිටියෙමි Ergodic literature කතන්දරවල ගුණවලින් හෙබි කතන්දර එකතුවක් වන අතර, සාමාන්‍ය පොතක් කියවන අතට නොකියවා පොත ඒ මේ අතට හරවා, දෑස මහත් සෙයින් වෙහෙසවා කියවිය යුතු යමකි, “එ’සඳ මම බලා සිටියෙමි.” නමුත් “සඳැල්ලෙන් වැටී මිය ගියහ ඔවුහු” එයාකාර යමක් නොවේ. නමුත් “සඳැල්ලෙන් වැටී මිය ගියහ ඔවුහු” හි අන්තර්ගතය වියුක්ත ය; සංකීර්ණ ය; එනමුත් “එ’සඳ මම බලා සිටියෙමි” මෙන් සංකීර්ණ නැත. මෙම එකතුවේ “ගිනි වැදි මහ පොළොව,” “වංගගිරියක මංමුලා වී සිටිමු,” සහ “සඳැල්ලෙන් වැටී මිය ගියහ ඔවුහු” යන කතන්දර ත්‍රිත්වයට අවධානය යොමු කරන්නට සිතුවෙමි.
“ගිනි වැදි මහ පොළොව” යනු ඉහත දී සඳහන් කළ 83 කළු ජූලිය පදනම් කරගත් දෙවැනි කතන්දරය වන අතර ම, කතුවරයාට අනුව ඔහුගේ සිත මහත් සෙයින් කම්පාවට පත් කළ කතන්දරය යි. මෙහි සිදුවීම මා ද කම්පනය කළ එකකි. එවක මා උපත ලබා නොතිබුණු මුත්, මෙම කතන්දරය මා සලිත කරවාලූයේ එදා මා එවැන්නක් අත් වින්දේ ද කියා මා මාව ම ප්‍රශ්න කරගන්නට මෙහෙයවමිනි. ගමනක යෙදී, සිය වාහනයෙන් තම නිවෙස බලා එන ද්‍රවිඩ පවුලක ඛේදනීය ඉරණම පිළිබඳ කියැවෙන මෙහි මා වඩාත් ම කම්පනය කරවූයේ අවසන් සිදුවීම ය. පළමු වැකි දෙක මෙලෙස ය: වැටකොටු මැදින් පොළොව පැලී ‘හෝස්’ ගා නැඟුණු ගිනිදලුවක් පොළෝතලය වසා ගති. සැණින් මහ පොළොව ද ඉර මෙන් ගිනි බෝලයක් ම වී.” මා පෙර නිතර දෙවේලේ ම සඳහන් කළ චිත්ත රූ මේවා ය. වටපිට නිරීක්ෂණය කළ විට දී පවුලේ ගැහැනිය සලිත වනුයේ මෙසේ යි: “කඩින් කඩ නැඟෙන ලතෝනි හඬින් වරින් වර ඇගේ මුහුණෙහි මස් පිඬු හැකිලිණි. නළලේත්, උඩුතොල මතත්, නැහැය අග්ගිහේත් හීනියට දහදිය බිඳු බිඳු නැඟෙන්නට වී.” අනතුරු ව කාර් රථයට ගින්දර දමනු ලැබේ. නමුදු, ගිනි තබන්නට දායක වූ යමෙකු, වාහනයේ පසුදොර හැර, දරුවා උදුරා ගනී; ඔහු වාහනයෙන් ඉවත් කර දමයි. සිත කම්පනය කරවන, දරුවාගේ පියාගේ ක්‍රියාව සඳහන් අවසන් වැකිය මෙසේ යි: “දරුවා සිය දෑතින් ඔසවා තුරුලු කොටගත් හේ ගිනිගුලිය දෙබෑ කරගෙන එතුළට ම රිංගා ගති.” සිය දරුවා ද සමඟින් පියා ගින්නට බිලි වන්නේ ය. එම පවුලේ අනුවේදනීය කතා පුවත එතෙකින් නිමා වන්නේ ය.
“වංගගිරියක මංමුලා වී සිටිමු” යනු විශේෂ කතන්දරයකි. රූබර තරුණියක ගේ මළසිරුරක් එම්බාම් කරන්නට පැවරුණු දෙදෙනෙකුගෙන් පළපුරුදු ඇත්තා, පළපුරුදු නැත්තා තනිකොට, වැඩය කිරීමට අවැසි බඩු බාහිරාදිය රැගෙන එන්නට ටවුමට යන්නේ ය. ඒ එන ටිකට පළපුරුදු නැත්තා ශවකාමය කෙබඳුදැයි පිරික්සයි. ඉනික්බිති, අසනීප වන ඔහු, වෛද්‍යවරයකු හමුවූ විට වෛද්‍යවරයා පවසන්නේ ඔහුට සමාජ රෝගයක් වැළදී ඇති බව ය. එමෙන්ම, සිදු වූ දෙය නිරායාසයෙන් ම සිදු වන්නක් බව ද ඔහු පවසයි. සදාචාර පොලීසිය වෙත යවනු ලැබූ තරුණියගේ ලියුමෙන් ඇය පවසන්නේ මෙය යි: “සෑම ගැහැනියක මෙන් ම මම ද දෙවතාවක් මළමිනියක් වීමි.” ඉනික්බිති අපට වැටහෙනුයේ ඇය පුරුෂයිනගේ ආශා වලට රූකඩයක් වූ කතක වන බව ය. මනුෂ්‍ය චිත්ත සන්තානයේ විකෘති අදහස් පිරික්සන සමන් කුමාර මහතා තරුණියගේ ලියුමේ අවසන ලියනා වැකිය මෙය ය: “මහත්වරුනි, මෘත ශරීරාගාරවල සිදුවන දෙයත්, ඔබේ නිදි ඇඳේ සිදුවන දෙයත් අතර වෙනසක් නැති බව නොදන්නා හෙයින් ඔබ ඔවුනට කැට කැබලිති විසි කරන බව නම් මට සහසුද්ද ය.”
කතුවරයාට අනුව, “සඳැල්ලෙන් වැටී මිය ගියහ ඔවුහු” යනු සමරිසි තරුණියන් දෙදෙනෙකු තම තමන්ගේ දිවි තොර කරගැනීමේ පුවතක් දුටු විට ඔහු ලියූවකි. පිරිමින් ජරා ජාතියකැයි හංවඩු ගසන ඉෂා සහ නිෂා සමරිසි තරුණියන් යුගලකි. මූදු වෙරළ ඔවුන් වැඩිපුර ම හමුවන ස්ථානය යි. මොවුන් දෙදෙනා දොඩන්නේ ද අමුතු ආකාරයකට ය; සිතන්නේ ද අමුතු ආකාරයකට ය. ඔවුන්ගේ දෙබස් තරමක් අපැහැදිලි ය. ඒ ආකාරයෙන් ලේඛකතුමා කතන්දරය ගෙත්තම් කරන්නට ඇත්තේ සුලභ ව ලොව වෙසෙනා ජනතාවට සමරිසි හැඟීම්වලින් යුතු මෙම තරුණියන් දෙදෙන වටහාගත නොවනු ඇත ය කියා පැවසීමට විය හැකි ය යන්න මාගේ මතය යි. නමුදු එම දෙබස් බෙහෙවින් මනබන්දනා සුළු ය. කෙළිලොල් බවින් යුතු ය; චිත්ත රූ මවන්නේ ය. දරුවන්ගේ විහිලු බස් හා සමාන ය. මෙහි එක් තරුණියක් වමනය කරනා අවස්ථාවක දී අප දෑස ගැටෙන වැකි පෙළකි මේ: “මෙන්න, මහා ප්‍රාචීරෙ ගැලවිලාද කොහෙද…….. පෙනහැල්ලකුත් ඇවිත්…….. ගලනාලෙත් ඇවිත් ස්වාසනාලෙ දිගේ……..” අනෙක් තරුණිය කියන්නේ ඇගේ පිටතට පැමිණ ඇති අතුණුබහන් නිය කටරයෙන් කපා දමා මාළුන්ට බුදින්නට ලබා දී, පසු ව එම මත්ස්‍යයින් මසුන් මරන්නන් මත්ස්‍ය වෙළඳසැලට දැමූ පසු උන් ගෙන අනුභව කරනා ලෙසට ය. කැමරාවක් මානමින් කතාවේ අවසානය සනිටුහන් කරන ලේඛකතුමා කවුරුන් විසින් හෝ ඔවුන්ගේ සිරුරු බැඳ දමා ඇති වග පවසමින් කැමරාව මළ සිරුරු දෙකට මානන්නේ ය.
සමන් කුමාර නම් කෙටිකතාකරුවා (දෙවන කොටස)
එ’සඳ මම බලා සිටියෙමි’ සහ ‘අසාත්මිකතාව’
මෙම ලිපියෙන් කියැවෙන්නේ ඔහු ලියනු ලැබූ සංකීර්ණත ම කෙටිකතා එකතූන් ද්විත්වය වන ‘එ’සඳ මම බලා සිටියෙමි’ සහ ‘අසාත්මිකතාව’ පිළිබඳ ව ය. කේ. කේ. සමන් කුමාර යනු, අනාගතයට ලියන්නෙකු මිස, තමා අදාළ වන කාල පරිච්ඡේදයට ලියන්නෙකු නොවන වග යළි යළිත් පැවසිය යුතු නොවේ. කේ. කේ. සමන් කුමාර ලේඛකතුමා ගේ පරිකල්පනයේ අසීමාන්තික බව වඩ වඩාත් පාඨකයිනට තහවුරු වන ඔහු විසින් රචනා කරනු ලැබූ කෙටිකතා එකතුව ය ‘එ’සඳ මම බලා සිටියෙමි’. මාගේ පුද්ගලික මතය අනුව, එ’සඳ මම බලා සිටියෙමි යනු කේ. කේ. සමන් කුමාර මහතා ලියූ විශිෂ්ටතම කෙටි කතා එකතුව ය. එහි එන කතන්දර එකකුදු ඔබ උකටලී තත්වයකට පත් නොකරයි. කොටින් ම කිවතොත් මා මෙතෙක් කියවූ කෙටිකතා සංග්‍රහ අතරින් මා වඩාත් ප්‍රිය කරන්නේ අජිත් තිලකසේන නම් ඒ සුවිශිෂ්ට ලේඛකයා ලියූ සුන්නද්දූලි කෙටිකතා එකතුව ද, එසේත් නැතොත් එ’සඳ මම බලා සිටියෙමි ද යන්න තවමත් මා සිත පෙළන ගැටලුවකි. විවිධ විවිධ තේමා ඔස්සේ දිවුණු කතන්දර සමූහයක් මෙහි අන්තර්ගත ය. විවිධ විවිධ අර්ථකතනයන් ද මෙම කතන්දරවලට දිය හැකි ය. මෙහි එන කතන්දර කිහිපයක නම් පමණක් ම සැළකීමෙන් මෙම එකතුවෙහි එන ඒ ඒ කතන්දරය කියැවීමට උත්තේජනයක් සපයන වග මාගේ මතය යි. සමන් කුමාර මහතා තුළ කතන්දරයකට නම් තැබීම සඳහා වන හැකියාව සැබැවින් ම මනහර ය. මෙම නම් පෙළ සලකා බලන්න: “එ’සඳ මම බලා සිටියෙමි,” “ඕ නගරයට පැමිණියා ය,” “පොම්පේ නුවර අවසන් දා,” “ඔවුහු මා අත් අඩංගුවට ගෙන සිටියහ,” “මල්වර ස්වයංවර.” එකී නම් පෙළ ආවේණික බවකින් යුතු, කියවන්නා ගේ මනස කුතුහලයකින් පුරවන්නා වූ නම් පෙළක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. ‘සර්පයකු හා සටන් වැද’ තුළින් ශ්‍රී ලාංකේය පාඨකයිනට දකිත හැකි වූ ඒ ලේඛකයා සාර්ථක ව වෙස් පෙරළන්නට භාවිත කළ කෘතිය ය එ’සඳ මම බලා සිටියෙමි.

“ඕ නගරයට පැමිණියා ය” මෙහි එන දෙවැනි කතන්දරය ය. පළමු කතන්දරය වන “එ’සඳ මම බලා සිටියෙමි” මඟින් නාට්‍යයක් නරඹන එක්තරා මිනිසෙකු ගේ නේකවිධ ආශාවන් ද, සම්ප්‍රදායික සංස්කෘතිය ද කතිකා කෙරෙන අතර, ඉන්පසු පාඨකයිනට කියවන්නට ලැබෙන “ඕ නගරයට පැමිණියා ය” යනු බෝදිලිමා ගේ උත්පත්ති කතන්දරය සහ ඈඳුණු සිදුවීම් මාලාවක් කියවන්නා හමුවේ ගෙන හැර පාන්නට වෙන කෙටි කතාවකි. “ෆ්ලෝරසන්ට් පහන දෙකොණෙහි පණ ගැහෙමින් තිබිණි,” යන වැකියෙන් ඇරඹෙන මෙම කතන්දරයේ පළමුවෙන් පාඨකයිනට දැන ගන්නට ලැබෙන්නේ ‘විලි පහරමින්’ සිටිනා කතක් පිළිබඳ ව ය. වෛද්‍යවරුන්ට අනුව, ඇය ගැබ්බර ව සිටි කාලයටත් වඩා ඇය විලි පහරන්නට වූ කාලය දිගු ය. එහෙයින් ඇය වෛද්‍යවරුන්ට නොවිසිඳීමට හැකි වූ ප්‍රහේලිකාවක් බවට පෙරළී තිබිණි. මෙම කාන්තාව තිඹිරිගෙයෙහි සිටිද්දී ම මරණයට පත් වන්නී ය. එබැව් පාඨකයනට සමන් කුමාර මහතා දන්වන්නේ මෙසේ ය: “විලි රැහැනේ එල්ලී හෑල්ලු නොවූ කුසින් ම ඈ ඇගේ ආත්මය මුදා හැරියා තමන්ගෙ මළකඳට අයිතිකාරයෙක් හොයන් එන්න.” ජනයාගේ කටින් කට පැතිර ගිය කතන්දරයට අනුව, බෝදිලිමා උපත ලබා ඇත්තේ දරුවෙකු ලබන්නට සිටිය දී වේදනාවෙනි. ඒ මිය යද්දී ඇය, ඇගේ වේදනාත්මක මරණයට තුඩු දුන් ගැබ් ගැනීමට සම්බන්ධ වූ සිය සැමියාට වෛර බඳිනට වූවා ලු. මෙයාකාරයෙන් ඇරැඹෙන මෙම කතන්දරය එක්තරා අවස්ථාවක දී පාඨකයින් හමුවේ බෝදිලිමා ගේ පළමු ගොදුර පිළිබඳ යම් හැඳින්වීමක් කරන්නට වෙයි. බීමත් ව පැමිණෙන අයෙකු වන ඔහු, තම පිටේ ඇතිල්ලෙන කබල්ලෑවෙකු බඳු සතෙකු සිය පිටේ තබාගෙන නිවෙස බලා යන්නේ ඒ තලගොයෙකු බව ද, ඌ කට ගැස්මට සුදුසු බව ද කියමිනි. මේ යන අතරවාරයේ දී ඔහුගේ ‘දැං කිසිම වැඩක් පලක් නොගන්න අවයවයේ’ තලගොයා ගේ නැට්ට පැටලැවී තිබෙන වග සඳහන් කරනා කතුවරයා, ඔහු සිය ඡේදනය වී ගිය රහසඟ මිට මෙළැවුණු සුරතේ ගුලි කරගෙන දොරකඩ අසළ වැටී සිටි වග පවසයි. එම සිද්ධිය සිදු ව, ඉන් ඉදිරියට සිදු වූ දේවල් පිළිබඳ ව ද විස්තර කරන්නට කතුවරයා පෙළඹෙයි. අවට පරිසරයේ කටුස්සන් දකිත හැකි වග ද කතුවරයා පවසන්නේ ය. හැරල්ඩ් පින්ටර් ගේ The Dumb Waiter නාටකයේ සිදුවීමක් සිහි කැඳවමින් මෙවැනි සටහනක් ද කතුවරයා යොදයි: “සෙල්ලං බත් උයඋය ඉන්නකොට දිව දික්කළැයි කියලා අක්කෙක් මලයගෙ දිව කාලා. ඒත් බිම වැටිලා තිබ්බෙ ජුන්ඩෙක්.” ඉනික්බිති ඔහුගේ ජීහ්වයෙන් ලේ වැගිරෙන වග ද, ඇය ව මග්ගොනට යවන්නට තීරණය වුණු වග ද, ඇය සිය ගවොම ඔසොවා ඔහුට සමච්චල් කළ වග ද, ඔහුගේ රහසඟ ඔහුගේ සොයුරිය සතු ව තිබූ වග ද කතන්දරකරුවා පවසයි. මෙවන් සිදුවීම් නිරූපණයේ දී චිත්ත රූ මවන විෂුවල් ඉමේජරි නම් සිද්ධාන්තය ද, මායාමය ගුණ ද, විකාරරූපී ගුණ ද කතුවරයා උපයෝගි කරගන්නේ ය. ඉනික්බිති, රබර් මිශ්‍රිත පුරුෂ ලිඟු නිපදවන කම්හලක උපත පිළිබඳ ව ද, අභිසරු ලියන් හට රැකියා නොමැති වීම පිළිබඳ ව ද, අඹුව සැමියාගේ රහසඟ තිබේදැයි පරීක්ෂා කිරීමේ චාරිත්‍රයක යෙදුණු වග ද කතුවරයා පවසයි. සත්ත්වවේදීන් ගේ මතය ද, බෝදිලිමා ගේ චරිතය පදනම් ව නිමැවුණු චිත්‍රපට පෙළක ද ආගමනය පිළිබඳ ව පවසන කතුවරයා, බෝදිලිමා ගේ ලිඟු ඡේදන වැඩපිළිවෙළ අඩු ව ගිය වග ද පවසා ජාතික වීරයකුගේ පිළිමයක් අසළට වී විලි පහරන කතක් ද, බෝදිලිම් යක්ෂයින් පලවා හැරෙන කෙමක් පිළිබඳ ව චිත්ත රූ මවමින්, කතන්දරය අවසන් කරන්නේ ය. කතුවරයා පුරාණ විශ්වාසයක් පදනම් කරගෙන කතන්දරය ගෙතීමේ අපූර්වත්වය ද වෙසෙසින් අගය කර යුතු ය.
මෙම එකතුවේ පස්වැන්න වන “දියසේන කුමාරයාගේ සම්ප්‍රාප්තිය” යනු අසූ අට – අසූ නවය ජන සංහාරය හා ඈඳුණු, අධි යථාර්ථවාදී මෙන් ම, මායා යථාර්ථවාදී ගුණවලින් හෙබි කතන්දරයක් වන, “පොම්පේ නුවර අවසන් දා” නම් කතන්දරය අවසන් වූ කෙණෙහි කියැවීමට ලැබෙන, නාට්‍යකරුවෙකු මූලික කොටගෙන ගෙතුණු කතන්දරය ය. නිර්භය, රැඩිකල් නාට්‍යකරුවෙකු ද, බිහිසුණු පාලකයෙකු ද මෙම කතන්දරයේ මුල් පිටුවලට හේතු වේ. එම කාල පරිච්ඡේදයේ බිහිසුණු සිතුවමක් සිත්තම් කරනට මේ වැකිය ප්‍රධාන වන්නේ ය: “එකල ඒ රම්‍ය දීපය එක් කුරිරු අධිරාජයකුගේ දෙපා යට මැඩෙමින් තිබිණි. නියංසායෙන් ඇරුණු දහසක් මුවවිටින් මහීකත දිය බිඳක් යැද්දා ය.” මේ අතරවාරයේ නාට්‍යකරුවෙකු ගේ ආගමනය කතුවරයා මෙසේ පාඨක ඇස් ලොඬිවලට මානයි: “මෙසඳ, අප මහා නාට්‍යකරුවාගේ ආගමනය සිදු විය.” නාට්‍යකරුවාගේ නිර්මාණශීලීත්වය, රජය සිසාරා සරයි. රාජ්‍ය නාට්‍ය උළෙලට තේරී පත් වන ඔහුගේ මෙම නාට්‍යය නරඹන්නට ජනපීඩක අධිරජ තෙමේ පැමිණෙන්නේ ය. මහා ඉහළ ලෙසින් මෙම නාට්‍යය සැළකෙන අතර, නොයෙක් නොයෙක් පාර්ශ්වවල තර්ජන ගර්ජන හමුවේ නොපැකිළ, නොබිය ව, නාට්‍ය කණ්ඩායම නාටකය පෙන්වන්නට වෙයි. එම නාට්‍යය ද එක් රටක රජවරයෙකු විවේචනය කළ එකක් වූ අතර, එය අධිරජ විවේචනය කරනු පිණිස සැකැසුණු නාට්‍යයක් වැනි ය. එක් අවස්ථාවක දී මේ අධිරාජයා ඔවුන් නාට්‍යය පුහුණු වන අයුරු නරඹන්නට තමා හට ඉඩ ලබා දෙන මෙන් ඉල්ලන අතර, එම ඉල්ලීමට ද නීති මාලාවක් දමන්නට නාට්‍යකරු උත්සුක වෙයි. මකුළු දැල් බැඳුණු බංකු කබලක හිඳ, මියුණු මැස්සෙකු ඇතුළත් කළ තේ කෝප්පයක් පානය කරන්නට සිදු ව, නව නිංගිරහ විඳි මේ අධිරජ, පාලන පන්තිය හමුවේ නොසැලුණු නාට්‍යකරුවා යන දෙපළ සැබැවින් ම මන බන්දනාසුලු ය. මෙවන් නව නිංගිරහවන් වින්දාට පසුව ද, ඒ අධිරජ තෙමේ යන්නට යන්නේ ය. ඔහු නාට්‍යකරුවා හට චෙක්පතක් එවයි. ඔහු ඒ ඉරා දමා නැවත අධිරජට යවයි. මේ දුටු බිරිඳ සලිත ය; කෝපයෙන් යුතු ය; සිය දරුවා ගේ සෞඛ්‍ය තත්වය පිරිහීම වළක්වන්නට එම චෙක්පත ලබා ගන්නට නොහුණු නිසා ඇති වූ කම්පාවෙන් යුතු ය. අධිරජ ඔහුට ලිපියක් යවයි. එම ලිපියෙන් කියැවෙන්නේ අධිරජ තම ධූරය පිළිබඳ ව උපන් කලකිරීමෙන් යුතු ව ඉන් පලා යන්නට සිතා සිටි වග සහ නාට්‍යකරුවා ගේ රාජ්‍යය ඔහුගේ රාජ්‍යයට වඩා බලවත් බැවින් ඔහු පැමිණ තමා ව එළවනතෙක් තමා රාජ්‍යය හොබවන වග ය. එය මුලින් කියවන බිරිඳ ද ඔහුගේ රාජ්‍යය බලගතු බවත්, ඔහුගෙන් ඇය වෙන්වන බවත් පවසා වෙන් වන්නී ය. උපන් දුකින් සහ ලජ්ජාවෙන් යුතු ව ඔහු බීමහලකට වැදී ඩ්‍රෑම් දෙකක් බී, මදන මෝදක ගුලි දෙකකින් සප්පායම් වෙයි. ඉන් පසු මාතෘකා අටකින් කියැවෙන්නේ මදන මෝදක ගුලි දෙකේ ක්‍රියාකාරීත්වයේ ප්‍රධාන අවස්ථා අටේ දී ඔහු අත්විඳිනා දෑ ය. එවිට ඔහු අධිරජ ය. ඔහුගේ අග බිසව ඔහුගේ බිරිඳ රඟ පෑ චරිතය රඟ පාන්නට ඉදිරිපත් වූ නිළිය ය. ඉක්බිති, ඉන්ද්‍රජාලමය සිදුවීම් ගෙනහැර පාමින් අශ්ව මේධයක් අරඹන්නට තීරණය කෙරේ. සෛන්ධවයකු හා සසඟෙහි යෙදෙන අග බිසව දෙස බලා සිටිමින් තෘප්තිමත් වන්නට අධිරජ බවට පෙරලුණු නාට්‍යකරු හට සිදු වේ. අවසන, නාට්‍යකරු නාට්‍යවලින් ඈත් වූ වග ද ඔහු ප්‍රේක්ෂකාගාරයක සිට තවත් නාට්‍යකරුවෙකු ගේ නාට්‍යයක් බලා සිට ඔහුට ශුභ පැතූ වග ද, ඒ නාට්‍යකරු ඔහුට පෙර සිටි අධිරජ වග ද, එම නාට්‍යයේ මුඛ්‍ය භූමිකාවට තමා හැර ගිය බිරිය රඟ පෑ වග දක්වා පසු ලිවීමෙහි කතන්දරකරුවා මෙලෙස ලියන්නේ ය: “එහෙත් ඒ අත්තන මුහුම් කළ මෝදක ගුලිවලට හැකි වුණේ නෑ ඔහු ව ජනතාවගෙන් ඈත් කරන්න. ඔහු තවමත් යුගයේත්, දේශයේත්, ජනතාවගේත් නාට්‍යකරුවා. ඔවුන්ගේ වදනින් මතු බුදුවන දියසේන කුමාරයා බවට ඔහු පත්වන කල ඔහු හැරගිය බිරිය තුට්ටු දෙකේ නළඟනක් බවටත්, අධිරාජයා ජනතාවට විකට රසය බෙදන්නෙක් බවටත් පත් වුණා.”
මෙහි එන එකොළොස්වැනි කතන්දරය වන “එක් කුඩා කුටියක” යන කතන්දරය මෙම කෙටිකතා එකතුවෙහි එන කුඩා ම කතන්දර දෙකෙන් එකක් වන අතර, එය මා කියැවූ ප්‍රියතම කෙටිකතාවලින් එකකි. මෙම මුළු කතන්දරයම වියමන් ව ඇත්තේ සිදුවීම් කිහිපයක් වටා ය. කෙටි චිත්‍රපටයක දර්ශන පෙළකට සම අයුරින් ලියැවී ඇති මෙය, කුලී නිවහනක වෙසෙන තරුණයෙකු වටා ගෙතී ඇත්තකි. කතන්දරය පුරාවට ම කතුවරයා ව්‍යංගාර්ථයෙන්, තොරතුරු සියල්ල ම නිරාවරණය නොකරමින්, එම තරුණයා සහ කුලී නිවෙස් හිමිකාරිනිය අතර සිදුවන කතාබහ සැබැවින් ම මනහර ය. යථාර්ථවාදී රීතියට බෙහෙවින් ම කිට්ටුවෙන් ලියැවී ඇති මෙය, ඇරැඹී මඳ කලක් ගත ව ගිය සඳ, නිවෙස් හිමිකාරිනිය, තරුණයාගෙන් ඔහුගේ බිරිඳ පැමිණියාදැයි කියා අසන්නට වන්නී ය. ඊට ඔහු ඍණාත්මක පිළිතුරක් ලබා දෙන අතර, ඇය ද ඇගේ දියණියව ඇගේ සැමියා නිවසින් ‘දොට්ට දැමූ’ වග ද පවසා ඒ සඳහා ‘ගුරුකම් අතේ’ වැඩක් කළ යුතු වග ද ඇය පවසන්නී ය. හෝරාවක පමණ කාලය, කතන්දරයේ ප්‍රධාන චරිතය කුලී කාමරයෙන් කඩයට ගොස්, නැවතත් කුලී කාමරයට පැමිණෙන අවස්ථාව එකම නිමේෂයක සිදු වූ පරිදි කතුවරයා දක්වා ඇති අතර, ඉන් කතන්දරයට වැදගත් සිද්ධීන් පමණක් හුවා දැක්වීමට කතුවරයා උත්සුක වන වග පැහැදිලි ය. කඩයට ගොස්, ඔහු නැවත පැමිණි වේලේ දී ද නිවෙස් හිමිකාරිනිය ඔහුගෙන් අසන්නේ මෙය ය: “ළමයො, දැන් නෝනා එන පාටක් නෑ නෙ?” අවසන පැහැදිලි වන්නේ මේ තරුණයා, තමාව හැරගිය බිරිය තමා වෙතට ගෙන්වාගැනීමට වශී ගුරුකමක්, නැතොත් ගුරුකම් අතේ වැඩක් සිදු කර ඇති බව ය. තිලකසේනයන් ගේ සමහර කෙටිකතාවල ඇති මුල ද, මැද ද නොවැදගත් වන මැද දී හටගන්නා එක්තරා සිදුවීමක් පදනම් කොටගත් කතාවකට සම මෙය, අවසන් වන ආකාරය අතිශයින් ම ප්‍රබල ය: “මං නැගිටලා සිගරට් එකක් පත්තු කර ගත්තා. ඇල්බම් එක අරන් ඇඳේ වාඩි වුණා. එතකොට ජනේල වීදුරුවට තට්ටු කරනවා ඇහුණා. මං ජනේලෙ රෙද්ද අයින් කරලා එබුණා. තෙතබරියං වීගෙන ඈ එතන උන්නා. ඈ හිනාවුණා.”
“අසාත්මිකතාව – කෙටිකතා එකතුව”

මොහු මෑතක දී ම පළ කළ කෙටිකතා සංග්‍රහය වන ‘අසාත්මිකතාව’ කතන්දර පහක් පමණක් ඇතුළත් වන්නක් වන හෙයින්, එහි එන ‘අසාත්මිකතාව’ නම් කෙටිකතාව පිළිබඳ ව පමණක් ඇගයීමක යෙදෙන්නට සිතුවෙමි. මෙහි එන ‘සිහින දිනපොත’ කතන්දරය, මට නත්සුමේ සොසේකි ලියූ Ten Nights of Dreams කෙටිකතා මාලාවේ ඇති තේමාව සිහි ගැන්වුව ද, එයට වඩා මෙය සුවිශේෂ වන අතර, මෙය, එයට හාත්පසින් ම පාහේ වෙනස් ය. ‘අසාත්මිකතාව’ සහ ‘පොත් පිල්ලුව’ මෙහි එන කතන්දර අතරින් මා වඩාත් ප්‍රිය කරන කතන්දර ද්විත්වය ය. “ඈ – අසනියක මධු බිඳක්” ද එසේ ම ය. ඒ නමුත් මා තරමක විස්තර කිරීමක සහ අගය කිරීමක නිරත වන්නේ ‘අසාත්මිකතාව’ සඳහා පමණි.
“අසාත්මිකතාව” ඇරඹෙන්නේ සහ මුළු කතාව ම ගලා යන්නේ එක්තරා සුවිශේෂ ආකෘතියකට අනුව ය. සමන් කුමාර මහතා මාතෘකා රාශියක් අනුව යමින්, තැනැත්තෙකු ගේ මරණයක් පිළිබඳ ව අපූර්ව පරීක්ෂණයක යෙදෙයි. මෙම කතන්දරය, දකුණු කොරියානු අධ්‍යක්ෂකවරයකු වන කිම් කී දුක් ව සිහි ගැන්වූ වග ද පැවසිය යුතු ම ය. එනමුත්, ඒ ද අපූර්ව සිදුවීමක් වනුයේ මීට දශමෙකිනුඳු සම චිත්‍රපටයක් කිම් කී දුක් නිර්මාණය කළේ මෙය ලියැවී බෝ කලක් ගත වූ තැන නිසාවෙනි. කතාවෙන් කියැවෙන්නේ කාන්තා පියයුරු දුටු කල සිහි මූර්ජා වන, අසනීප තත්වයට පත්වන මිනිසෙකු පිළිබඳ ව ය. ඔහු ඉපදුණු දා පටන් ම ඔහුට සිදු වූයේ එබඳු දිවියක් ගත කරන්නට ය. ඔහු වැඩිහිටියෙකු ව නිළියක හා විවහපත් ව කල් ගෙවූ හෙයින්, ඔවුන්ගේ ජීවිතය, ඔවුන්ගේ චර්යාවන් පිළිබඳ ව නේකවිධ මාතෘකාවන්ගෙන් නිරීක්ෂණය කරන්නට වන අතර, එම අදහස් මඟින් මිනිසුන්ගේ තාත්වික අදහස් පිරික්සන්නට සමන් කුමාර මහතා සමත් වෙයි. සැමියා සහ බිරිඳ සසඟෙහි යෙදෙන අයුරු ඇය පොලීසිය හමුවේ පවසන්නී ය. ඇය පවසන්නේ ඔහුට ඇගේ උඩුකය දකිත නොහැකි හෙයින්, ඇය තෘප්තිමත් නොවූ වග ය. අවසන, ඇගේ දරුවා විත් ඇගෙන් කිරි පානය කරන්නට වෙයි. හිස එසවූ කලෙක ඇගේ පයෝධර දෑසට හසු ව ඔහු මිය යයි. ඔවුන්ගේ ලිංගික චර්යාවන් සහ නිළිය අභිසරු ලියක බවට පෙරළන අන්දමේ අදහස් දැක්වීම් කිහිපයකට පසු, අවසන් මාතෘකාවට පෙර එන මාතෘකාව මෙය ය: “මිය ගිය තැනැත්තා ගේ මරණීය සිතුවිල්ල.” ඒ සිතුවිල්ල මෙසේ ය: “අනේ දෙයියනේ ඊළඟ ආත්මෙවත් මට මෙහෙම ලෙඩක් නැති ව, මේ ආත්මෙටත් එක්ක ඇති පදං තන් බලන්න ලැබුණොත් . . . . .!”
කේ. කේ. සමන් කුමාර යනු එසේ මෙසේ පරිකල්පනයකින් හෙබි ලේඛකයකු නොවේ. ඔහු, ලොව බිහි වූ පරිපූර්ණත ම ලේඛකයින් අතලොස්සට ඇතුළත් කළ හැකි ලේඛකයකු යැයි නිසැක ව කිව හැක. මෙම ලිපියට පසු ඔහුගේ නවකතා පිළිබඳ ව ලිපියක් ලිවීමට මා ඉටා සිටින’තර, මෙම ලිපිය අවසන් කිරීම පිණිස, “එ’සඳ මම බලා සිටියෙමි” නම් එකතුවෙහි අග වූ, සයිමන් නවගත්තේගම නම් ඒ අග්‍රගණ්‍ය ලේඛකයා ලියූ ලිපියේ වැකියක් උපුටන්නට මට අවසර දෙනු මැන: “භද්‍ර යෞවනයෙන් අතරමං වූ, ආඪ්‍ය වූ, විකසිත වූ, අකාලේ මහළු වූ සමන් නමැති කාව්‍යක්කාරය, තොපි කුමක් කියන්නාහු ද?”
රචනය – කාව්‍ය තත්සර
(Kavya Thathsara ෆේස්බුක් ගිණුමෙන් උපුටාගත්තකි)
