සාහිත්‍ය මාසයේ ආරම්භය සනිටුහන් කරන සැප්තැම්බර් මාසයේ ආරම්භක දිනය අදයි. බහුතර ශ්‍රී ලාංකේය පාඨක පිරිස් නො ඉවසිල්ලෙන් අවුරුද්දක කාලයක් පුරා සිය කියවීමේ පිපාසාව සංසිඳවා ගැනීම වෙනුවෙන් බලා සිටින කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ ද මේ මාසයේ දී යි.
කෙසේ නමුත් ලංකාව තුළ වසරක දී එළි දකින බොහෝ කෘති අතරින් ප්‍රශස්ත ම කෘති තෝරාගැනීම සඳහා වන සම්මාන උත්සව ගණනාවක් අපට දැක ගත හැකියි. ප්‍රධාන වශයෙන් ම රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලෙළ, රජත හා ස්වර්ණ පුස්තක සම්මාන උලෙළ, විද්‍යෝදය සම්මාන උලෙළ හා ගොඩගේ සම්මාන උලෙළ (2024 දී පැවැත්වූයේ නැත) ප්‍රමුඛ සම්මාන උත්සව ලෙස පිළිගැනෙනු ලබනවා.
මුද්‍රිත කෘති සඳහා පිදෙන මෙම සම්මාන උත්සව සේ ම අත්පිටපත් විනිශ්චයට ලක් කරමින් හා ඒවා අතරින් ප්‍රශස්ත අත්පිටපත් තෝරාගනිමින් සිදු කරන අත්පිටපත් සමීක්ෂණ ප්‍රාදේශීය වශයෙන් මෙන්ම ජාතික වශයෙනුත් අපට දැක ගත හැකි වනවා. නව ලේඛකයන් හඳුන්වා දෙමින් ඔවුන් සාහිත්‍යමය කාර්යයන් සඳහා උනන්දු කිරීම අරමුණෙහි තබාගනිමින් ක්‍රියාත්මක වන මෙවැනි තරගාවලි සඳහා නවකයෙකු ලෙස එක්වුණු ‘විදර්ශන සාහිත්‍ය ත්‍යාගය’ අත්පිටපත් සමීක්ෂණ තරගයේ ජය මූර්ති ප්‍රදානය ඊයේ (31) වෝටර් එජ් ස් හි දී අඛන්ඩව දෙවන වරටත් පැවැත්වීමට කටයුතු කර තිබුණා.
ඒ අනුව, නවකතා, කෙටිකතා සංග්‍රහ, කාව්‍ය සංග්‍රහ, පරිවර්තන (ඉංග්‍රීසි) හා පරිවර්තන (සිංහල) යනා දී වශයෙන් අංශ පහක් යටතේ සංවිධානය කර තිබුණු මෙම තරගය සඳහා නවකතා විනිශ්චය මණ්ඩලය ලෙස රංජිත් පෙරේරා, විදර්ශන කන්නන්ගර හා සුමුදු නිරාගී සෙනෙවිරත්න ද කෙටිකතා සංග්‍රහ සඳහා වූ විනිශ්චය මණ්ඩලය ලෙස අශෝක හඳගම, අනෝමා රාජකරුණා හා ආචාර්ය ක්‍රිෂාන්ත ෆෙඩ්රික්ස් යන අය ද, කාව්‍ය සංග්‍රහ විනිශ්චය සඳහා මහාචාර්ය සරත් විජේසූරිය, ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන හා නන්දන වීරසිංහ යන අය එක් වී සිටියා.
මීට අමතරව, පරිවර්තන (ඉංග්‍රීසි) තරග අංශය විනිශ්චය සඳහා ආචාර්ය ප්‍රභා මනුරත්න, මහාචාර්ය හර්ෂණ රඹුක්වැල්ල හා ශ්‍යාම් සෙල්වදොරෙයි එක් ව සිටි අතර, පරිවර්තන (සිංහල) තරග අංශ විනිශ්චය ගාමීණී වියන්ගොඩ, අනුරාධා කෝදාගොඩ හා පියල් කාරියවසම් යන අය විසින් සිදු කරනු ලැබුවා.
ඒ අනුව ඊයේ දිනයේ දී,
ප්‍රශස්ත ම පරිවර්තනය (සිංහල) තරග අංශයේ ජය ජීවා වර්ණකුලසූරිය ඩේවිඩ් විසින් හිමි කරගත් අතර, ප්‍රශස්ත ම පරිවර්තනය (ඉංග්‍රීසි) තරග අංශයේ ජය අන්තිමට නිහඬ බවම කතාකරන්න ගත්තම කෘතියේ පරිවර්තනය වෙනුවෙන්, දිනූකා විජේතුංග විසින් හිමිකරගනු ලැබුවා.
සුරේකා සමරසේනගේ ඊස්ට්‍රජන් කෙටිකතා ස්‍රාවය, ප්‍රශස්ත ම කෙටිකතා සංග්‍රහය ලෙසත්, නිශාමනී දිනුෂිකා අදාසූරිය විසින් රචනා කළ ලිහිල් බොත්තම් ප්‍රශස්ත ම නවකතාව ලෙසත් තේරී පත් වූ අතර, ප්‍රශස්ත ම කාව්‍ය සංග්‍රහය සඳහා කිසිඳු කෘතියක් මෙම වසරේ දී තේරී පත් වුණේ නැහැ.
පළමුවන විදර්ශන සාහිත්‍ය ත්‍යාගය තරගය හරහා මුද්‍රණය වෙත පැමිණි කෘතීන් සම්බන්ධයෙන් පාඨක හා විචාරක අවධානය නො අඩුව ලැබුණු අතර, මෙම වසරේ තේරීපත්වුණු හා කෙටි ලැයිස්තුගත වූ කෘති ද එවැනිම ප්‍රසාදයක් හිමිකරගනු ඇතැයි අප විශ්වාස කරනවා.
