Saturday, December 2

උතුරු මුසල්මානුවන්ගේ නැවත පදිංචිවීම් අයිතිය- කාගේ වගකීමක්ද?

ක්‍රියාකාරිනී ශ්‍රීන් සරූර් ලියූ ලිපියක පරිවර්තනයකි

උතුරේ මුස්ලිම් ජාතිකයන් නෙරපා හැර වසර 33ක් ගත වී හමාරය. 1990 ඔක්තෝබර් මාසයේදී 75,000 සිට 100,000 අතර උතුරේ මුස්ලිම් ජාතිකයන් ප්‍රමාණයක් (එකල පළාතේ සමස්ත ජනගහනයෙන් සීයට 5ක් පමණ) තමන්ගේ නිජබිම්වලින් (සාම්ප්‍රදායික වාසස්ථානවලින්) බලහත්කාරයෙන් දෙමළ විමුක්ති කොටි සංවිධානය (එල්ටීටීඊ) විසින් නෙරපන ලදී. ඇතැම් ස්ථානවල, මුස්ලිම් ජාතිකයන්ට පළාත අත්හැර යන්නට කැරලිකරුවන් ලබා දුන්නේ පැය 12ක කාලයක් පමණි.

ඔක්තෝබර් 15 චාවාකච්චේරි සිට ආරම්භ කර, ඔක්තෝබර් 30 දක්වා මන්නාර්, මුල්ලයිදීවු, කිලිනොච්චි, යාපනය සහ වවුනියාවේ ඇතැම් කොටස්වල මහා පරිමාණයෙන් මුස්ලිම්වරුන් නෙරපා ඉවත් කරන ලදී. පවුල්වලට රැගෙන යෑමට හැකි වුණේ රුපියල් 500ක් සහ ඇතැම් ඇඳුම් ප්‍රමාණයකි; ඇතැම් පවුල්වලට තමන්ගේ කිසිදෙයක් රැගෙන යෑමට ඉඩ දුන්නේ නැත. වඩාත් දකුණට වෙන්නට පිහිටි නගරවලට පිවිසෙනතුරු ප්‍රවාහනයක් සොයාගැනීමට නොහැකි වවෙද්දී, ඇතැම්හු දින තුනක් දක්වා දින ගණන් ඇවිද්දෝය. අද දක්වාම එම ජන කොට්ඨාශයේ වේදනාවන් නිල වශයෙන් හඳුනාගෙන නැති අතර, ඔවුන්ට නැවත පදිංචිවීමට සහ හානිපූර්ණය සඳහා ප්‍රමාණවත් සහයෝගයක් නොමැත.

දශක තුනකට වැඩි කාලයක් තිස්සේ රටවැසියන්, රජයේ නිලධාරීන්, මුස්ලිම් දේශපාලනඥයන් සහ ජාත්‍යන්තර මානව හිමිකම් සමාජය විසින් සිදු කළ අත්හැර දැමීම්, නොතකා හැරීම් සහ වැරදි අවබෝධයන් නිසා උතුරේ මුස්ලිම්වරු තමන්ට විශ්වාස කරන්නට කිසි කෙනෙකු නොමැති බව සිතන්නෝය.

මුසල්මානුවන් ඉවත් කිරීම උතුරේ දෙමළ සහ මුස්ලිම් ජාතිකයන්ගේ සහජීවනයට බරපතල බිඳීමක් එකතු කළේය. පොදුවේ දෙමළ ජනතාවට මෙම නින්දිත ක්‍රියාවෙන් සාමූහිකව ඈත් වී සිටීමට හෝ එය හෙළා දැකීමට නොහැකි වුණේ එල්ටීටීඊයෙන් සිදු වනු ඇතැයි හැඟුණු පළිගැනීම් නිසා විය හැක. කුඩා දෙමළ කණ්ඩායම් එල්ටීටීඊයෙන් එම නෙරපා හැරීම සිදු නොකරන ලෙසට ආයාචනා කළත් එම ආයාචනාවල බලපෑමක් නොවීය.

දැන්, නෙරපා හරින ලද මුස්ලිම්වරුන්ගෙන් කොටසක් නැවත පදිංචි කිරීමේ ක්‍රියාවලිය තුළ සිටිමින්, සමාජ-ආර්ථික වශයෙන් ස්ථාවර වෙමින් සිටින මොහොතක, අලුත් කරන ලද සහජීවනයකට දොරටු සෙමින් විවර වෙමින් තිබේ. සහජීවනයක් උදෙසා වූ අවංක ක්‍රියාවලියක් ආරම්භ විය හැක්කේ දෙමළ සමාජය කල් පසු වී වුව, තමන්ගේ බාහිෂ්කාරක ජාතිකවාදය සහ එල්ටීටීඊයට මෙම වාර්ගික ශුද්ධිකරණය හමුවේ සිය නිහඬතාව තමන්ගෙන්ම ප්‍රශ්න කිරීමෙනි. උතුරේ මුස්ලිම් සහ දෙමළ සහජීවනය වැඩිපුර රඳා පවතින්නේ එම සමාජයන් සාමූහිකව නැවත පැමිණෙමින් සිටින මුස්ලිම්වරුන් මුහුණදෙන අභියෝග ආමන්ත්‍රණය කළ හැක්කේ කෙසේද යන්න මතය.

2009 මැයි මාසයේදී සිවිල් යුද්ධය අවසාන වූ පසු, උතුරේ මුස්ලිම්වරුන් මහා පරිමාණයෙන් නැවත පදිංචිවීමට පටන් ගත්තද, බහුවිධ අභියෝගවලට මුහුණ දුනි. දෙමළ සහ මුස්ලිම් ජනකොටස් අතර දේශපාලනික සහ ආර්ථිකමය භේද ඒ සඳහා ප්‍රධාන හේතුවක් විය. නිදසුනක් ලෙස මුස්ලිම් නැවත පදිංචි වන්නන්ගේ සංඛ්‍යා දත්ත රජයේ නිලධරයන් අඩු කර පෙන්වා ඇතැයි කියනු ලැබේ. සංඛ්‍යාවන් අඩු වීම මගින් නැවත පදිංචි කිරීමේදී අවශ්‍ය කෙරෙන, රාජ්‍ය සම්පත් ප්‍රමාණය සහ සහයෝගය ද අඩු වේ. මෙවැනි අගතීන් ප්‍රශ්න කරන විට උතුරේ නිලධරයන් ප්‍රතිචාර දක්වන්නේ මුස්ලිම් ජාතිකයන් දැනටමත් පුත්තලමේ ‘හොඳින් ස්ථාවර‘ වී සිටින බවත්, රජයේ ප්‍රමුඛතාව යුද්ධයෙන් අවතැන් වූ දෙමළ ජනතාවට ලබා දිය යුතු බවත්ය.

යුද්ධයේ බලපෑමට ලක් වූ දෙමළ සිවිල් වැසියන්ගේ වේදනාවන් බරපතල බව, විශේෂයෙන් වන්නියේ බරපතල බව ඉතා පැහැදිලි සත්‍යයකි. යුද්ධයෙන් වසර 14ක් ගත වූ තැනත්, බොහෝ අය තවමත් ඉඩම් නොමැතිකමටි, නිවෙස් නොමැතිකමට සහ අනෙකුත් මූලික අවශ්‍යතා නොමැතිකමට මෙන්ම සත්‍ය සහ යුක්තිය වෙනුවෙන් භයානක මිලිටරිකරණය වූ අවකාශයක කරන්නට සිදු වූ සටනකට මුහුණදෙයි. මේ සියලු අවශ්‍යතා තීරණාත්මක නමුත්, ඒවා ආමන්ත්‍රණය කිරීම උතුරේ මුස්ලිම්වරුන්ගේ සාමූහික නැවත පදිංචිවීමේ අයිතිය සීමා කිරීමට ඉස්සර නොකළ යුතුය. යුධ සමයේ ජනකොටස් දෙකම විඳින ලද වේදනාවන්, ඔවුන් එකිනෙකාගෙන් දූරස්ථකරණය වෙනුවට එකිනෙකා කෙරෙහි සහකම්පනයක් ඇති කරගැනීමටත් බහුවිධ වූ සහජීවනයක් දක්වා ගමන් කිරීමටත් මුල් විය යුතුය. උතුරේ මුස්ලිම්වරුන්ගේ සාමූහික නැවත පදිංචි කිරීම සහ අර්ථාන්විත ප්‍රති-මුහු කිරීම ප්‍රමාද කිරීමෙන්, අත්‍යවශ්‍ය දෙයක් වූ දීර්ඝකාලීන සංහිඳියාව සහ සාපේක්ෂ කලාපීය සාමය නොවැළැක්විය හැකි ලෙස ප්‍රමාද වනු ඇත.

වසර 33ක නොතකා හැරීම්වල අහිතකර බලපෑම්වලට දැනටමත් මුහුණදෙමින් සිටින උතුරු මුස්ලිම්වරුන්ගේ  මූලික ප්‍රජාතන්ත්‍රික අයිතීන්ටද පහර එල්ල වුණේය. 2019 නොවැම්බර් ජනාධිපතිවරණ සමයෙහි, පුත්තලම් සිට මන්නාර් දක්වා ඡන්දය පාවිච්චි කරන්නට යමින් සිටි මුස්ලිම් ජාතිකයන් ප්‍රහාරයන්ට මුහුණ දුන්නේය. ඔවුන් ගමන් කරමින් සිටි බස්රථවලට නොවැම්බර් 16 වැනිදා වෙඩි තැබීම් සිදු විය. ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසුවද මැදවච්චියේදී සිංහල කල්ලි කණ්ඩායම්වල ප්‍රහාරයන්ට නැවත ලක් විය. කාන්තාවන් සහ දරුවන් ආබාධයන්ට ලක් වුවද, අද දක්වා ඒ පිළිබඳ කිසිදු විමර්ශනයක් සිදු නොවීය. (මැතිවරණ කොමිසමේ විමර්ශන වාර්තාවද එළිදැක්වීමට කටයුතු කළේ නැත.) මෙම ප්‍රහාරය සිදු වූයේ මැතිවරණ නිලධාරීන් සහ අනෙකුත් රජයේ නිලධාරීන් වන්නියට නැවත පැමිණි හෝ නැවත පැමිණ ඡන්දය ප්‍රකාශ කිරීමට කැමැත්තෙන් සිටි මුස්ලිම් ජාතිකයන්ගේ නම් ලියාපදිංචි කිරීමට සහයෝගය නොදීමේ ප්‍රතිපත්තියක සිටියදීය.

2015- 2019 කාලසීමාවේ සංක්‍රාන්ති යුක්තිය පිළිබඳ සංවාදය තුළ පවා, උතුරේ මුස්ලිම් ජනතාවගේ දුක් ගැනවිලි ආමන්ත්‍රණය කිරීමේ මුල්ම උත්සාහයන් අත්හැර දමන ලදී. මානව හිමිකම් කවුන්සිලයේ මහකොමසාරිස් කාර්යාලය ආරම්භ කළ ශ්‍රී ලංකාව පිළිබඳ නිල විමර්ශනය (OISL) විමර්ශනයට ලක් කරන ලද්දේ 2002 පෙබරවාරි සටන් විරාමයේ සිට 2011 දක්වා පමණි. එම නිසා ඊට පෙර සිදු වූ, එල්ටීටීඊය මුස්ලිම් ජනතාව සාමූහිකව ඉවත් කර දැමීම වැනි මුල්කාලීන අපරාධ නොතකා හැරිණ. ඒ ආකාරයටම ශ්‍රී ලාංකික රජය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 30/1 යෝජනාව මත පදනම් වෙමින් සංක්‍රාන්ති යුක්ති ක්‍රියාදාමය ආරම්භ කිරීමට තමන්ම කැප වෙද්දී වුව, උතුරේ මුස්ලිම්වරුන් ඉවත් කිරීම ආදී මුල්කාලීන ක්‍රියා ආමන්ත්‍රණය නොකෙරුණි.

එසේ වුව උතුරේ මුස්ලිම්වරුන්, ක්‍රියාකාරී භූමිකාවක් තමන්ටම පවරාගෙන ප්‍රතිසන්ධාන යාන්ත්‍රණය පිළිබඳ උපදේශන කාරක සභාව විසින් මෙහෙයවන ලද පොදු අදහස් විමසීම් සැසිවාරවලදී, උතුරේ විස්තීර්ණ ප්‍රශ්න සහ සත්‍ය, යුක්තිය හා සංහිඳියාව පිළිබඳ කරුණු ඇතුළත් වන යෝජනා ගණනාවක් ඉදිරිපත් කළ නමුත්, එයින් ඵලක් නොවීය.

එහි ප්‍රතිඵලයක් ලෙස වත්මන් හානිපූර්ණ ප්‍රතිපත්තිය තුළ උතුරේ මුස්ලිම්වරුන්ගේ අහිමිවීම් කිසිදු ආකාරයකින් හඳුනාගෙන නැත. දෙමළ සමාජය තුළ හඬවල් කිහිපයක් පමණක් මුස්ලිම්වරුන්ට එරෙහිව සිදු කළ අපරාධ පිළිගෙන, අවතැන් වූ මුස්ලිම්වරුන්ගේ දුක් ගැනවිලි ආමන්ත්‍රණය කරමින් සිටී. අවතැන් වූ මුස්ලිම්වරුන් පිළිබඳ පෙර කී සැසිවාරවලදී මතු වූ කරුණු ප්‍රධාන ධාරාවේ දෙමළ මාධ්‍ය වාර්තා නොකළ තරම්ය. එක් දෙමළ දේශපාලනඥයෙකු බලහත්කාරයෙන් එළවා දැමීමේ පූර්වක්‍රියාව වාර්ගික ශෝධනයක් ලෙස හැඳින්වූ පසු, ඔහුට දෙමළ ප්‍රජාව තුළම සිටින ස්වෝත්තමවාදීන්ගේ දරුණු අපවාදවලට මුහුණ දෙන්නට සිදු විය.

උතුරේ මුස්ලිම්වරුන් මේ වන විට සිටින්නේ මුස්ලිම් ජනතාව නැවත පදිංචි කිරීම් පිළිබඳ රජය අඩු සැලකිල්ලක් දැක්වීම ගැන කළකිරීමකිනි. මේ වන විටි ඔවුන් රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලන්නේ තමන්ගේ ප්‍රශ්න පිළිබඳ සොයා බැලීමට කොමිසමක් පත් කරන ලෙසය. සියල්ලට පූර්වයෙන් යමෙකු වටහාගත යුත්තේ, පෙර පැවති නොයෙකුත් ආණ්ඩුවල ඇමතිකම් දැරූ ඔවුන්ගේ නියෝජිතයන් මෙවැනි කොමිසමක් පත් කිරීමට යෝජනා නොකළේ මන්ද යන්නයි. දෙවනුව, දේශීය කොමිෂන් සභා පිළිබඳ දීර්ඝ ඉතිහාසය සහ ඒවායේ අවඵලදායීත්වය හමුවේ, ඔවුන් මහජන බදු මුදලින් තවත් එක් දේශපාලන සංදර්ශනයක් ඉල්ලන්නේ ඇයි. ඒ වෙනුවට ඔවුන්ගේ ඉල්ලීම් තිබිය යුත්තේ හුදෙක් පිළිදැනුමක් නොව, එයින් එහා ගොස් පලවාහැරීමේ ක්‍රියාවලියෙන් ඇති වූ බලපෑම අතික්‍රමණය කරන්නට, දෙමළ සමාජය සමග සම්බන්ධතා නැවත ඇති කර ගන්නට සහ වඩාත් සාධාරණ සහ යුක්තිසහගත අනාගතයක් ගොඩනගන්නටය.

රජය මේ වෙද්දී සත්‍ය කොමිසමක් ප්‍රවර්ධනය කරමින් සිටින්නේ, 2021 මාර්තු මසැති එක්සත් ජාතීන්ගේ වගවීම් ව්‍යාපෘතියෙන් අනාගතයේදී අධිකරණමය ක්‍රියාවලියක් වෙනුවෙන් ශ්‍රී ලංකාව සිදු කළ ජාත්‍යන්තර නීතිය කඩකිරීමේ අවස්ථා ප්‍රතික්ෂේප කිරීම සඳහාය. යෝජිත සත්‍ය කොමිසමේ අභිමතාර්ථයන් ප්‍රශ්න කරමින් වින්දිතයන්ගෙන් මෙන්ම උතුරු-නැගෙනහිර කාන්තා සංවිධානවලින් විරෝධයක් මතු වී තිබේ. පෙර සතියේ ජාතික ඒකාබද්ධතා සහ සංහිඳියා කාර්යාලය පිළිබඳ පනත් කෙටුම්පත් සභාගත කළේ, බොහෝවිට ජාත්‍යන්තර සහයෝගයත් ඇතිව, සමගිය හා සංහිඳියාව පිළිබඳ අන්තර්කාලීන ලේකම් කාර්යාලයක් පිහිටුවීමෙන් පසුය.

තවත් දේශීය කොමිසමක් (තවත්  කල්මරන උපක්‍රමයක්) ඉල්ලා ඝෝෂා කරන උතුරේ මුස්ලිම් නායකයන් විසින් උතුරු මුසල්මානුවන්ගේ නැවත පදිංචිවීමේ අයිතිය උක්ත ක්‍රියාදාමයන් තුළට මේ අවසන් මොහොතේ හෝ ඇතුළත් කිරීමට උනන්දු වනු ඇතිදැයි කෙනෙකුට කුතුහලය ඇතිවා නිසැකය. එසේ නොමැත්තේ නම්, සාමූහික ලෙස උතුරු මුසල්මානුවන්ගේ ව්‍යවස්ථාපිත මූලික අයිතීන් දිගින් දිගටම උල්ලංඝනය වෙද්දී, ඒ බොහෝ අයිතීන් උතුරේ නිලධාරීන් ප්‍රතික්ෂේප කරද්දී, එයට එරෙහිව අධිකරණමය ක්‍රියාමාර්ගයකට යන්නට මේ නායකයන්ට නොහැක්කේ මන්ද?

එයට අමතරව, ඉදිරියේදී එන ඕනෑ මැතිවරණයකදී උතුරේ මුස්ලිම් ජනතාව ඉතා ගැඹුරින් කල්පනා කොට සිය ඡන්ද බලය යොදාගත යුතුය. අවංක ලාලසාවකින් අයිතීන් පිළිබඳ ගැටලුවක් ලෙස මෙම ගැටලුව පෙරට ගෙනැවිත් අවතැන් කරවීම පිළිබඳ වගවීම, තමන්ගේ පාරම්පරික වාසභූමි වෙත නැවත යෑම සහ සාධාරණ හානිපූර්ණයක්- 1990 නෙරපා හැරීමේදී මතු නොව, එදා මෙදාතුර ඔවුන්ගේ නැවත පදිංචිවීමේ අයිතියට අදාලව ඔවුන්ට සිදුව ඇති අපරාධ නිල වශයෙන් අනුදැකීම අන්තර්ගත වූ- හානිපූර්ණයක් ඉල්ලා සිටින නව නායකයන් පත් කරගත යුතුය.

කතාවේ ඡායාරූපය – රේඛා නිලුක්ෂි හේරත්


Author

Leave a Reply

%d bloggers like this: