Saturday, December 2

ඉතිහාසයේ වැඩිම නඩු වැටුණු, ජංජාලයක් වූ ඔන්ලයින් පනත අකුළාගෙන අලුත් කෙටුම්පතක් ගේන බව ටිරාන් කියලා!

මේ වන විට පාර්ලිමේන්තුවේ සභාගත වී තිබෙන, ලංකා ඉතිහාසයේ වැඩිම විරෝධතා පෙත්සම් ගණනාවකට මුහුණදුන් පනත් කෙටුම්පත වන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත ඉවත් කරගෙන, නව කෙටුම්පතක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් කැබිනට් මණ්ඩලය වෙත කියා තිබේ.

මේ බව ටිරාන් අලස්ට අයත් පුවත්පතක් වන සිලෝන් ටුඩේ පුවත්පතේ මුල් පිටුවේ පුවතක් ලෙස වාර්තා කර ඇති අතර, අප කළ විමසීම්වලදී කැබිනට් ඇමතිවරුන් දෙදෙනෙකු තහවුරු කළේ ඔක්තෝබර් 23 වැනි සඳුදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී නව පනත් කෙටුම්පතක් ගෙන ඒමට ටිරාන් අලස් මහතා කැබිනට් මණ්ඩලයෙන් අනුමැතිය ඉල්ලූ බවයි.

කෙසේ වෙතත්, කැබිනට් මණ්ඩල රැස්වීමේදී නව කෙටුම්පතක් ඉදිරිපත් කරන්නේ කවදදාද, එසේ කළ යුතුද ආදිය පිළිබඳ නිශ්චිත එකඟතාවක් ඇති වුණේ නැති නමුත්, පනත අලුතින් ගෙන එන බව පමණක් ටිරාන් අලස් අමාත්‍යවරයා කී බවය.

සිලෝන් ටුඩේ වෙත අමාත්‍ය ටිරාන් කියා තිබුණේ පනත ඉල්ලා අස් කර ගැනීම විරෝධතා නිසා සිදුවන්නක් නොවන බවත්, ඒ වෙනුවට නීතිය පිරිපහදු කර දියුණු කිරීමේ ප්‍රගතිශීලී පියවරක් බවත්ය. ඒ අනුව අවශ්‍ය සංශෝධන සිදු කොට පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ඔහු කියා ඇත.

පසුගිය සතියේ මෙම පනත් කෙටුම්පත පිළිබඳ ගොනු කරන ලද පෙත්සම් සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ නඩු විභාගය පැවැත්වූ අතර, එහිදී පාර්ලිමේන්තුවේ පනත තුන්වැනි වර කියවන අවස්ථාවේදී එකතු කරනවායැයි කියන සංශෝධන 30කට වැඩි ප්‍රමාණයක් සහිත නවතම පනත් කෙටුම්පතක් ඉදිරිපත් කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කළේය. පනතේ මූලික හැඳින්වීමේ සිට ප්‍රධාන වචන ගණනාවක් එහිදී වෙනස් කළ අතර පනතේ අපරාධ නීති ස්වභාවය, මහේස්ත්‍රාත් අධිකරණවල මැදිහත්වීමේ ස්වභාවය ඇතුළු කරුණු ගණනාවක් නව සංශෝධන නිසා විශාල වෙනස්කම්වලට ලක් විය. එහෙත්, එම වෙනස්ම වූ කෙටුම්පතේ ඒ මොහොතේ ශ්‍රේෂ්ඨාධිකරණය තුළ සිට 50කට අධික නීතිඥවරුන් අතරවත් බෙදා නොදුන් අතර ඔවුන් වෙත ලබා දුන්නේ සිදු වන සංශෝධන කිහිපය පමණක් සහිත ලේඛනයකි. නව වෙනස්කම් සහිත අලුත් කෙටුම්පත ලබා දුන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් තිදෙනා අතට පමණි. උසාවියේ සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් අතර බෙදාගැනීම පමණක් වෙනස්කම් සහිත එකම එක කෙටුම්පතක් ලබා දී තිබුණි. එම කෙටුම්පතද වචන, නීතිමය සංකල්ප ආදිය අතින් ඉතා අඩුපාඩු සහිත එකක් වූ අතර, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේද දැඩි ප්‍රශ්න කිරීමට එම අඩුපාඩු සහිත කෙටුම්පත ලක් විය. උදාහරණ ලෙස ඇතැම් තැන්වල 500,000 වෙනුවට මුද්‍රිත පිටපතේ තිබුණේ රුපියල් 500ක දඩයක් යනුවෙනි. කෙටුම්පතේ ඇතැම් වගන්ති ඇතුළත් කොටස් කිහිපයක්ම නොවූ අතර, එහෙත් පනතට ඒවා ඇතුළත් වන බව කියැවිණි. ඇතැම් ස්ථානවල නීතිමය යෙදුම් සහ ඒවාට අදාල අපරාධමය, සිවිල් හෝ පරිපාලන නීතිමය මූලධර්ම පිළිබඳ අපැහැදිලි විය.

ඒ අනුව නීතිපති දෙපාර්තමේන්තුවේ කාමරයක් තුළ කනිෂ්ඨ නීතිඥවරුන් අතින් සිදු විය යුතුව තිබුණු දෙයක් වන, පනතේ මූලික දෝෂ හඳුනාගනිමින් ඒවා නිවැරදි කිරීමේ ක්‍රියාවලිය සඳහා දායක වීමට, මේ ඓතිහාසික නඩු විභාගය මැද ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ට දායක වීමට සිදු විය.

එමෙන්ම නීතිඥවරුන් 30කට ආසන්න පිරිසක් දින දෙකක් තිස්සේ සිය ලිඛිත හා වාචික දේශන ඉදිරිපත් කළ මෙම දීර්ඝ නඩුවේදී, පාර්ලිමේන්තුවේ සභාගත කළ පනත් කෙටුම්පත සහ නීතිපතිවරයා රැගෙන ආ නොනිල සංශෝධන සහිත පනත් කෙටුම්පත යන දෙකම ගැන අදහස් පළ කිරීමට සිදු වීමත්, දෙවැනි කෙටුම්පත අධ්‍යනය කිරීමට කාලයක් නොතිබීමත්, දෙවැනි කෙටුම්පතට විරුද්ධ පුරවැසියන්ට ඒ ගැන දැනගැනීමට හෝ විරෝධය පළ කිරීමට කිසිදු ඉඩකඩක් නොලැබීමත් අධිකරණය තුළදී විශාල වශයෙන් අවධාරණය විය.

මෙම තත්වය හමුවේ ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ප්‍රකාශ කළේ එම නවතම සංශෝධන ඇතුළත්ව පනත් කෙටුම්පත අලුතින් ඉදිරිපත් කළ යුතු බවය. නීතිඥ සුරේන් පෙරේරා, නීතිඥ ස්වස්තිකා අරුලිංගම් ඇතුළු නීතිඥවරුන් ගණනාවක් සිය මූලික ඉල්ලීමක් ලෙස ප්‍රකාශ කළේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව යම් පනත් කෙටුම්පතක මූලික හරය වෙනස් කරන ආකාරයේ සංශෝධන පාර්ලිමේන්තුවේ තෙවැනි වර කියවන අවස්ථාවේදී සිදු කළ නොහැකි නිසා, මෙම නව සංශෝධන සහිතව නව පනත් කෙටුම්පතක් ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කළ යුතු බවය.

මෙරට වැඩිම විරෝධතා පෙත්සම් ගණනාවකට මුහුණදුන් පනත මෙය වන අතර, සාමාන්‍යයෙන් පනත් කෙටුම්පතක් ඉදිරිපත් කිරීමේදී එයට පක්ෂව පවා ශ්‍රේෂ්ඨාධිකරණයට අතරමැදි පෙත්සම් ඉදිරිපත් කරන නමුත්, මෙම කෙටුම්පතට එරෙහිව කිසිදු අතරමැදි පෙත්සමක් ඉදිරිපත් නොවීම විශේෂත්වයක් විය.

Author

%d bloggers like this: