Saturday, December 2

‘මේක අමු සොහොනක්!‘ – මිනීවලින් සහ රෝගීන්ගෙන් පිරුණු ගාසාහී කඳුළු රෝහල

Ambulances carrying victims of Israeli strikes crowd the entrance to the emergency ward of the Al-Shifa hospital in Gaza City on October 15, 2023. Israel embarked on a withering air campaign against Hamas militants in Gaza after they carried out a brutal attack on Israel on October 7 that left more than 1,400 people killed in Israel. (Photo by Dawood NEMER / AFP)

ගාසා තීරයේ උතුරේ පිහිටි ‘ගාසා සිටි‘හි ඩාර් අල් ෂිෆා රෝහලේ ඉන්න පණ ගැහෙන අය රෝගීන් ලෙස පිරුණු ඇඳන්වල මෙන්ම කොරිඩෝවලත්, තවත් අය පොළොවේ පවා නිදා ගනිද්දී, මළවූවන්ගේ සිරුරුවලින් මෝචරි පිරී ඉතිරී ගොස් තිබෙනවා.

ඩාර් අල් ෂිෆා යන රොහලේ නමේ තේරුම තමයි ‘සුවපත් කරන නිවහන‘ කියන එක. එහෙත් දස දහස් ගණන් හුදෙක් සුවය පමණක් නෙවෙයි, ගාසා තීරයට හැම පැයකම එල්ල වෙන බෝම්බ ප්‍රහාරවලින් දිවි ගලවාගන්න පවා මේ රෝහල වෙත ඇදෙනවා. ඒ, රෝහලේදී යම්කිසි හෝ ආරක්ෂාවක් ලැබේවායැයි යදිමින්.

මේ රෝහල ගාසා තීරයේ විශාලම සෞඛ්‍ය පහසුකම නෙවෙයි. එහෙත්, එය තමයි ගාසා තීරයේ සෞඛ්‍ය සේවයෙහි කොඳු නාරටිය. ඊශ්‍රායලය එම ප්‍ර දේශයට එල්ල කරන ප්‍රහාර හේතුවෙන් ඒ රෝහළ මේ වෙද්දී අකර්මණ්‍ය වන මට්ටමට ඇවිත්. 35,000- 40,000 අතර පිරිසක් එතැන සෙවණ සොයන බව ගාසාහි පරිපාලකයන් මෙන්ම ආධාර සපයන්නන් කියා තිබෙනවා.

‘වෛද්‍යවරුන් තමන්ගේ පවුල් ආරක්ෂාව උදෙසා රැගෙන විත් සිටිනවා. මම ඊයේ රෑ නිදාගත්තේ ඔපරේෂන් කාමරේ ඇඳේ.‘ එහි සිටින විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයෙකු වන මහාචාර්ය ඝසාන් අබු සිතාහ් ගාඩියන් වෙත දූරකථනයෙන් කතා කරමින් කියා තිබුණා.

‘ජනතාව සම්පූර්ණයෙන් බයවෙලා ඉන්නේ. ඒ නිසා ඔවුන් හිතනවා මෙය ආරක්ෂිතම තැන කියා. මේ වටේ පෙනෙන්නට තිබෙන හැම දෙයින්ම හැඟී යනවා මෙතැන තමයි ආරක්ෂිතම තැන කියා.‘

ඔහු කියන විදියට මෙලෙස ආරක්ෂාව සොයා පැමිණි අය, ජලය හා ආහාර සොයන මුත් ඒවා නොමැති බව. ‘අධික ලෙස සෙනඟ වැඩි වීම නිසා බෝ වෙන රෝග පැතිරී යා හැකියි. ෂිෆා රෝහලේ පොදු සෞඛ්‍ය අර්බුදයක් අත ළඟ.‘ යනුවෙන් මහාචාර්යවරයා කියා තිබුණා.

ගාසා තීරයට ඊශ්‍රායල් බෝම්බ ප්‍රහාර මාලාව එල්ල වෙද්දී, රෝහලේ සෙවණ පතා දුව එන්නට මිනිසුන් පෙළඹෙන්නේ පෙර ප්‍රහාරවලදී ඔවුන් ලද අත්දැකීම් නිසාමයි.

දී මෙම රෝහලේ පිටත තිබෙන හදිසි කාමරයට බෝම්බ ප්‍රහාර එල්ල කර තිබුණා. ඒ හැරුණුකොට පොදුවේ දශකයක පමණ කාලයක් තිස්සේ මේ රෝහල ප්‍රහාරවලට ලක් නොවූ තැනක්.

රෝහලේ හදිසි කාමරය අසල කලාපය රූපවාහිනී මාධ්‍ය කණ්ඩායම්වලටත්, සෞඛ්‍ය සේවකයන්ටත් සිවිල් වැසියන්ටත් ඇතුළු පිරිස්වලට ගැවසෙන්නට හැකි කලාපයක්ව තිබුණා. එතැනට පෝළිමේ පැමිණෙන රෝගීන් සිටියදී වුව, එම ස්ථානයට ඔවුන් රැඳී සිටියා. එහෙත් මෙවර, එම කලාපය පිළිසකර නොකරන ලද කලාපයක්ව තිබෙනවාලු.

පසුගිය සතියේ ඊශ්‍රායලය ගාසා තීරයට ජලය, ආහාර, බලශක්තිය සහ මානුෂීය ආධාර අවහිර කරමින් ‘පූර්ණ වැටලීමක්‘ ප්‍රකාශයට පත් කළා. ඒ මිලියන 2.3ක පමණ ජනගහනයක් සිටින, සාමාන්‍ය පුරවැසියන් මෙන්ම අති බහුතරයක් දරුවන් සිටින කලාපයක් බිහිසුණු අවදානමක හෙළමින්. ඉන් පසු ගාසා තීරයට බෝම්බ ප්‍රහාර පිට ප්‍රහාර එල්ල කරන්නට ඊශ්‍රායලය පටන් ගත්තා. එමගින් ඔක්තෝබර් 7 වන සෙනසුරාදා හමාස් සංවිධානය ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයෙන් ඝාතනය කළ පිරිසට වඩා වැඩි පලස්තීනුවන් පිරිසක් ඍජුව හා වක්‍රව ඝාතනය කරන යුද්ධයක් ආරම්භ වුණා. මෙම පූර්ණ වැටලීම ‘ආරම්භය පමණක්‘ බව ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු නිවේදනය කළා. ‘පරම්පරා ගණනාවක් තිස්සේ ප්‍රතිරාවය වන ආකාරයේ‘ ප්‍රහාරයක් එල්ල කරන බව ඔහු ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ මෑත ඉතිහාසයේ රාජ්‍ය නායකයෙකුට කළ හැකි බිහිසුණුම ආකාරයේ ත්‍රස්තවාදී ප්‍රකාශනයක නිරත වෙමින්.

මෙම වැටලීම හා ප්‍රහාර මාලාව ෂිෆා රෝහල බලශ්තිය අහිමිවීම පමණක් නෙවෙයි, එහි ජෙනරේටර් සඳහා අවශ්‍ය වන ඉන්න අහිමි වීමට පවා හේතු වේවි.

පසුගිය සතියේ ඊශ්‍රායලය ගාසා ගංගාවට ඉහළින් සිටින මිලියන 1.1කට වැඩි ජනතාවට ඉවත්ව දකුණු ප්‍ර දේශයට ගමන් කරන ලෙස එක්වරම නිවේදනය කළා. එහිදී අනෙකුත් රෝහල්වලට සමගාමීව ෂිෆා රෝහලද නිවේදය කරන ලද්දේ ඉවත් වීම කළ නොහැක්කක් බව. රෝහල්වල සිටින්නන් ඉවත් කිරීම රෝගීන්ට සහ ආබාාධවලට ලක් වූවන්ට ‘මරණ සහතිකය ලිවීමක්‘ බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවා නිවේදනය කළා.

වසර 16ක් තිස්සේ ගාසා තීරය පැවතුණේ සම්පූර්ණ දේශසීමා සිර කරන ලද කලාපයක් තුළ. ඒ අසීරු කාලය සම්පූර්ණයෙන් ආරක්ෂා වූ මෙම රෝහල තව සතියක් පමණ ඇතුළත අකර්මණ්‍ය වනු ඇතැයි වෛද්‍යවරුන් දැන් කියනවා. දැනටමත් රෝහලේ ඇඳන් ඉතිරි වී නැහැ. රෝගීන්ව මිනිසුන්ගෙන් පිරුණු ශල්‍යාගාර වෙත ඇතුළත් කරන්න බැහැ. ඉන්ධන සම්පූර්ණයෙන්ම වාගේ අවසානයි. වෛද්‍ය සැපයුම් සම්පූර්ණයෙන්ම වාගේ අහවරයි.

සිරුරු 30ක් පමණක් ඇතුළත් කරන්න පුළුවන් ෂිෆා රෝහලේ මෝචරිය ඉක්මනින් පිරී අවසන් වුණා. වෙනත් තැන්වල මිනී ගොඩගසන්නට සිද්ධ වුණා. ඇතැම් සිරුරු රථගාලේත්, මහ ඉර අව්වේත් තබන්නට සිදුව තිබෙනවා. බොහෝ අය සිරුරු වළ දමන්නට යන්න බය බව කියනවා.

‘දැන් මේක අමු සොහොනක් වෙලා. මම මානසිකව, ශාරීරිකව විඩාපත් වෙලා ඉන්නේ.‘ අබු එලියාස් ෂොබාකි නම් සාත්තු සේවිකාව ඇසෝසියේටඩ් ප්‍රෙස් වෙත කියා තිබුණා. ‘මෙය කොච්චර නරක අතට හැරේවිද කියන එක ගැන නොහිතා ඉන්න මම උත්සාහ කරනවා.‘

ගාසා තීරයේ උතුරු ප්‍රදේශයේ තිබෙන අනෙක් රෝහල් වැසී යද්දී, රෝගීන් අධික වීමේ අවදානමට ලක්වෙද්දී බොහෝ රෝගීන් ෂිෆා රෝහල වෙත යොමු කර තිබෙනවා. ‘දැන් ගාසා තීරයේ රෝගීන්ගෙන් හතරෙන් එකක්ම ඉන්නේ ෂිෆා රොහලේ.‘ යනුවෙන් වෛද්‍යවරයෙකු කියා තිබෙනවා.

‘අද උදේ අපට ළමයි දෙන්නෙක් හම්බවුණා. දෙන්නාම ප්‍රදේශ දෙකකින් ගෙනාවේ. දෙන්නාම ආවේ එකම රාවයක් අරගෙන, තුවාල ලැබු දරුවෙක්, පවුලේ කවුරුත් බේරිලා නෑ.‘ යනුවෙන් අබු සිතාහ් මහාචාර්යවරයා කියා තිබෙනවා.

‘එය ඔබට ජීවිතේ දකින්න ලැබෙන හද පාරවන සිදුවීමක්. ඔබට හඬාවැටෙන පවුල්වලින් පිරී ගිය හදිසි ප්‍රතිකාර ඒකකයේදී ඔබට මේක තේරුම් ගන්න අමාරු නම් ඔබ එන්න මේ නිහඬ ස්ථානයට. මෙතැන ට්‍රොලියක් තියෙනවා. තුවාල ලැබූ දරුවෙක් ඉන්නවා. එහෙත්, රෝහල් කාර්ය මණ්ඩලය හැර වෙන කිසිවෙක් ඔවුන් වෙනුවෙන් වටේට නැහැ.‘

‘මේක දරුවන්ට එරෙහි යුද්ධයක්. ජීවිතේ බේරාගන්න හැකි වෙන අයට පවා, තමන්ගේ ඉදිරි ජීවිතයම තනියෙන්ම ගෙවන්නට සිදු වේවි.‘

Author

%d bloggers like this: