Saturday, December 2

ජීවිතය හැර ගිය, විජේවීරගේ ජීවිතය රැකගත් වමේ සොයුරිය කරුණා අක්කා!

//මෙරට විප්ලවවාදී ව්‍යාපාරය තුළ සුවිශේෂී සහෝදරියකගේ නික්ම යාම පිළිබඳ අසම්පූර්ණ සටහනක් තැබීමට අවසර…..

1971 අනතුරුව ජවිපෙ දෙවැනි වර ආගමනයේ දී ඊට සිය විප්ලවීය දායකත්වය එක් කිරීමට ඇය වීදි බැස්සේ 1977 වසර ගෙවී යනවාත් සමගය. ඒ සිය අයියා වූ සයිමන් සහෝදරයා ද සමඟ නැගී ගත් දේශපාලන සක්‍රීය භාවය සමගිනි.

සහෝදරියක් ලාංකීය දේශපාලනය තුළ විප්ලවවාදිනියක ලෙස වැඩ කිරීම යනු අති මහත් සංකීර්ණ භූමිකාවක් බව ඉතා පැහැදිලිය.80 දශකය ආරම්භයටත් පෙර පැවති තත්වය යනු එවැන්නක් පිළිගැනෙන සමාජ යථාර්ථයක් අපට කිසිසේත් මුණනොගැසෙන වකවානුවකි.

එහෙත් ඇය එහිදී වඩාත් ඉහළ සක්‍රීය සාමාජිකාවක වූවාය.තහනම තුළ නිරන්තරව මතුවන අවදානම, අත්අඩංගුවට පත්වීම, සුපුරුදු ජීවන පරිශ්‍රයෙන් වෙනත් දිශා තෝරාගෙන වැඩ කිරීමේ වැඩ කලාව හොඳින් වර්ධනය කළ ඇයට අනතුරුව සුවිශේෂී වගකීමක් පක්ෂය විසින් පවරනු ලැබූයෙන් ඒ සදහා ඇය මැදිහත් වූයේ ඇය කෙරෙහි පක්ෂය තබා තිබූ විශ්වාසයද, දේශපාලන බර තැබීමද දෙවුර මතට ගනිමිනි.

රහසිගත දේශපාලනයක බොහෝ රහස් සමග සිය විප්ලවාදී ජීවන ගමන හමාර කරන්නට සිදුවන කාල වකවානුවක ඇය එහි ඉදිරි පෙළ ම ක්‍රියකාරිනියක වූවාය.රෝහණ සහෝදරයාගෙ රහසිගත ගෘහීය ජීවිතයේ සාමාජිකාවක වූයේ එපරිද්දෙනි.හදිසියේ අසනීප වූ ඇගේ අම්මා වෙනුවෙන් අවසාන උවැටන් වෙනුවෙන් තම රහසිගත නවාතැනින් විරාමයක් ගත් ඇය, අම්මා සමග රැඳෙමින් තමන්ට හැකි උපරිමයෙන් ඊට දායකවීමෙන් අනතුරුව යළිත් සිය දේශපාලන දායකත්වය දෙසට හැරුණාය.

රහසිගත නිවස්නය වෙත යළි පැමිණෙන කරුණා සහෝදරිය ගැන ව්‍යාපාරයට ගැටලුවක් නොවුනේ ඇය තබා තිබූ විශ්වාසය නිසාය.

විප්ලවය, විප්ලවීය රහස් කඳු ගණන් දරා හිඳි. කරුණක්කා ද එවැන්නියකි.මූහුණ පුරා ඇදෙන අවිහිංසක හිනාව මුව දරාගෙන,කෙදිරියක් හෝ නොනගා අවසානයේ තමන් ළග සිටි සහෝදරියන් ගේ දෑත් සවිව අල්ලා ගනිමින් ඇය ශාරීරිකව පමණක් අපෙන් සමු ගත්තාය.ඒ ඇයද අපද ජයග්‍රහණය තෙක් සටන් වදින බවට අරගලයේ දී ගිවිසගත් විප්ලවීය බැදීම අවසන් නිමේෂයේද තබා ගනිමිනි.//

– හේමමාලි අබේරත්න සහෝදරිය තැබූ ෆේස්බුක් සටහනක්…

දිවි දෙවැනි කොට විජේවීරගේ දරු පවුල රැක ගත් සොයුරිය කරුණා

1989 නොවැම්බර් 12 දින රෝහණ විජේවීරයන් අත්අඩංගුවට පත් වෙන්නට ඔන්න මෙන්න කියා තිබියදී, “අයියේ… අයියේ… ගේට්ටුව උඩින් කට්ටියක් පනිනවා ඉක්මනින් වත්තට  දුවන්න” යැයි විජේවීර සහෝදරයාට කෑ ගසා කියනවා හැරෙන්නට කරුණාට වෙනත් ඉඩක් තිබුණේ නැත. මර්දන හමුදා ගේට්ටුව උඩින් නිවසට කඩා පැන්නාහ. විජේවීර සහෝදරයා වත්ත පහළට පැනගත්තද වත්ත වටලාගෙන පිටුපසින් පැමිණ තිබූ තවත් ආරක්ෂක කණ්ඩායමක් විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබිණි. හමුදාව ඔහු කොළඹ රැගෙන යෑමට සූදානම් වෙද්දී අවසන් වතාවට කරුණාගේ අතේ සිටි කුඩා උවිඳු පුතු සිපගත් විජේවීර සහෝදරයා ඒ මොහොතේදී කෙටියෙන් යමක් කරුණාට සහෝදරියට මිමිනුවේය. “නංගි මෙයාලවත් අරගෙන ඉක්මනින් ආරක්ෂිත තැනකට යන්න, මට නැවත එන්න ලැබෙන්නෙ නැහැ.”

ස්වකීය පක්ෂ නායකයාගේ දෑත්වලට විලංගු වැටෙද්දී කරුණා ශක්තිමත් මනසකින් යුතුව නිරවුල්ව මේ තත්ත්වයට මුහුණ දෙන අයුරු සිතුවාය. පැනයන්නට අවශ්‍ය නම් ඊට ඕනෑ තරම් ඉඩ තිබියදී ඇය විජේවීර පවුලේ වගකීම තම හිසට ගත්තාය. කුලියට වාහනයක් කතා කරගත් කරුණා වහ වහා ඔවුන් රැගෙන කොළඹ පිටත් වූවාය. දවස් 5-6ක් කොළඹ රැ¾දුණද ආරක්ෂිත යැයි කිවහැකි එකදු බිම් අඟලක්වත් ඒ වෙද්දී ඉතිරිව තිබුණේ නැත. විවිධාකාර ඝාතන කල්ලි හා ආරක්ෂක අංශය ආණ්ඩුවේ අභිමතය මුදුන්පත් කරමින් ගම් නියම්ගම් සිසාරා  පක්ෂ සාමාජිකයන් සොයමින් සමූල ඝාතනය කරමින් සිටියහ. ජීවිතාරක්ෂාව පිළිබඳව බරපතළ ගැටලුවට මුහුණදී සිටි විජේවීර සහෝදරයාගේ බිරිය දරුවනුත් සමඟ හමුදා මූලස්ථානයට භාර වෙන්නට තීරණය කරද්දී කරුණාට කරන්නට දෙයක් නොතිබුණේ පැවතුණු භීෂණකාරී වාතාවරණය තුළ සත්‍ය වශයෙන්ම ඇයටද කළ හැකි යමක් නොවූ නිසාවෙනි. ඇය කලින් දැන සිටි කොළඹ  පක්ෂ සබඳතා සොයාගෙන ගියත් ඒ බොහෝ තැන් ඒ වන විට ඔවුන් අත්හැර දමා ගොස් තිබිණි. මීගොඩ නිවෙසක සිවු දිනක් ගත කර තිබුණත් එහි රැඳී සිටීම අනතුරු සහිත වී තිබිණි. යුද හමුදා මූලස්ථානය වෙත ගොස් භාර වීමට තීරණය වන්නේ එතැන් සිටය.

විජේවීර සහෝදරයාගේ පවුල හමුදා මූලස්ථානයට පිටත් කර යවා තමාගේ ආරක්ෂාව සපයා ගන්නවා වෙනුවට ඇය තම ජීවිතය පරදුවට තබා හමුදා මූලස්ථානය වෙත ඔවුන් රැගෙන ගියාය. කොළඹ යුද හමුදා මූලස්ථානය ඉදිරිපිට වාහනයෙන් බැස ඉදිරියට ගිය කරුණා තමා විජේවීර සහෝදරයාගේ පවුලේ අය සමඟ පැමිණි බවත් ජීවිත ආරක්ෂාව පතා  ඔවුන් රජයට  භාර වෙන්නට කැමති බවත් දන්වා සිටියාය.

මෙරට ජනතාවට වඩාත් යහපත් සමාජයක් උදා කර දෙනු වස් සටන් කළ විප්ලවවාදීන්ගෙන් පිරුණු සාහිත්‍යයේ නොමැකෙන සටහන් තැබූ අසමසම චරිත අතර සදානුස්මරණීය චරිතයක් වූ කරුණා සහෝදරිය අවසන් සුසුම් හෙලූ සිද්ධිය පසුගියදා සමාජ මාධ්‍ය කලඹා තිබිණි.

ඇය සිය ජීවිතයේ වසන්ත සමය නොපැකිළ කැප කළේ වඩා යහපත්  සමාජයක් නිර්මාණය  කිරීම  වෙනුවෙනි. ඒ අති දුෂ්කර අරගලයේදී ඇයට අහිමි වූ දෑ අපමණය. ඇගේ සමීපතමයෝ බොහෝ දෙනෙක් අරගලයේදී  මරු වැලඳ  ගත්හ. සිය පවුලේ වැඩිමහල් සොහොයුරා සයිමන් මෙන්ම ඇයගේ පෙම්වතාද ඒ අතර විය. කුඩා කල පටන් හැදූ වැඩුණු පරෙයිගම මහ ගෙදර ගිනි තබා විනාශ කර තිබිණි. ඇයටද වසර ගණනාවක සිපිරි දිවියක් ගෙවීමට  සිදු විය. එහෙත් කිසි විටකත් ඇය විශ්වාස කළ උස් අරමුණු  අත්හළේ නැත. නමින් කේ.කේ. කරුණාවතී වුවත් අපට ඇය මතුගම කරුණා සහෝදරී විය. උපන් ගම කළුතර දිස්ත්‍රික්කයේ වළල්ලාවිට, ඉත්තෑපාන, පරෙයිගමය.

ඇය පෙළෙමින් සිටියේ මද්‍යසාර නොවන මේද අක්මාවේ තැන්පත් වීම හේතුවෙන් හටගෙන තිබූ සුව කළ නොහැකි රෝගී තත්ත්වයකින්ය. දිගු කලක් තමන්ට නිරෝගීව දිවි ගෙවන්නට නොහැකි බවට ඇය දැන සිටියාය. 2018 වසරේ සිටම ඇයට නිවසේත්, රෝහලේත් කාලය ගෙවන්නට සිදුවූවාය. රෝගී වීම ජීවිතයට මහත් දුකක්, කරදරයක් වුවත් ඒ සියල්ල මැදහත් සිතින් යුතුව ඇය දරාගන්නට පුරුදුව සිටියාය. ඇය අසනීප තත්ත්වයට පත්වන්නට පෙරත් ඉන් පසු කාලයේත් මා ලංකාවට ගිය හැම වරකම ඇය බැහැදකින්නට ගිය වාර අපමණය. ඒ හැම විටකම අප වැඩිම වාරයක් සිහිපත් කළේ අපගේ අතීත දේශපාලන මතකයන්ය.

අප පළමු වරට හමුව තිබුණේ 1979 ගාල්ල අතුරු මැතිවරණය පැවැති දිනවලය. ජ.වි.පෙ.න් ඊට තරග කළේ ලයනල් බෝපගේ සහෝදරයාය. අප හම්බන්තොට සිට පැමිණි අතර ඇය ඇතුළු කණ්ඩායම කළුතරින් එහි පැමිණ තිබිණි. ඇය හා පැමිණි කණ්ඩායම භාරව සිටියේ ටිල්වින් සිල්වා සහෝදරයාය. ඒ බව පසු දිනක සිහිපත් කළේ කරුණා සොහොයුරිය විසිනි.

කරුණා සහෝදරිය ඉතා සටන්කාමී ඉතිහාසයක් ඇතිව ස්වකීය දේශපාලන ජීවිතය ගෙවූ කෙනෙකි. ඇය දිගු කලක් පක්ෂයේ පූර්ණකාලීන සොහොයුරියක් හැටියට කළුතර හා කොළඹ දිස්ත්‍රික්ක තුළ දේශපාලනය කළ පුහුණු සාමාජිකාවකි. 1983  පක්ෂ තහනමෙන් අනතුරුව පක්ෂයේ අවශ්‍යතාව මත අන් අය මෙන්ම කරුණා සහෝදරියද යටිබිම්ගත දේශපාලනයට පැමිණියාය. පක්ෂ තහනම යටතේ ගෙවුණු මුල් කාලයේ ඇය  අපූරු සිදුවීම්වලට මුහුණ දුන්නාය. එකල රාජ්‍ය මර්දන බළකා ඇය අත්අඩංගුවට ගැනීමට පැමිණි විටක ඇය මුහුණ දුන් එක් සිදුවීමක් අප මතකයේ ඇත. මේ සිදුවීම වෙද්දී ඇය කළුතර සිට කොළඹ දිස්ත්‍රික්කයට මාරු කර යවා තිබූ කාලයකි. ඒ වෙද්දී ඇගේ වයස අවුරුදු 25ක් පමණ වන්නට ඇත.

එකල යාන්තම් ඉඩක් ලද පළමු  මොහොතේම අම්මා බලන්නට ගමට යෑම ඇගේ සිරිතය. පක්ෂය අනතුරු අඟවා තිබියදීත් ගමේ ගිය දාට අම්මා අසලට වී නිදාගැනීම ඇය කිසිම දිනක අත්හළේ නැත. එවැනි දවසක කරුණා ගම පැමිණි බවට පොලිසියට  ඔත්තුවක් ලැබී තිබිණි. පොලිසිය හා මර්දන බළකා හමුදා ඛණ්ඩයක් එදින මැදියම් රැයේදී අවිත්තාව, පරෙයිගම සම්පූර්ණයෙන්ම වටලන ලදී. නිවෙස වටලද්දී කෙසේ හෝ කරුණා ඝන අන්ධකාරයට වැදී පලා යන්නට වූවාය. නිවෙස වටලෑම කළ ප්‍රධාන සෙබළ මුළෙන් මිදෙන්නට සමත් වුවද අතරමඟ රැඳී උන් හමුදා  සෙබළුකු විසින් ඇය ගැන ඇතිවුණු සැකයක් හේතුවෙන් ප්‍රශ්න කරන්නට පටන් ගත්තේය. සෙබළාගෙන් ගැලවී යෑමට ඇයට ඉතිරි වී තිබුණේ එක් විකල්පයකි.

අවියක් අත රැඳුණු සෙබළකු  සමඟ පොර බැදීම අසීරු මෙන්ම භයානක බව අෑ ස්වකීය පුහුණුවීම්වලදී හොඳින් උගෙන සිටියාය. අන්ධකාරය තුළදී පවා ඇගේ දෑස ගැඹුරු ස්ථිර බවකින් දිදුලන්නට වූවාය. ඒකාකාරී  සම භූමියක් නොවූ එහි කුඩා ක¾දු ගැටි ගහන විය. හාත්පස වූයේ රබර් වතුය. හැදී වැඩුණු පොළොවේ භූ විෂමතා දන්නා කරුණා තමා සමඟ  පොරබැදූ සෙබළා ලෙහෙසියෙන්ම  අගලකට තල්ලු කර දැමීමට සමත් වූවාය. ඔහු වැටී පෙරළී යද්දී අ¾දුරු රබර් වතු අතරින් ඉගිල්ලී සැණෙකින්  අතුරුදන් වන්නට කරුණා සමත් වූවාය. “ගරිල්ලා නායිකාවක් අවිත්තාවේදී රජයේ ආරක්ෂක නිලධාරීන්ට පහරදී පලා යයි“ යනුවෙන් වූ පසුදින පුවත්පත් සිරස්තලද පළ විය.

1988 වසරේ මුල පටන්ම ආරක්ෂාව වෙනුවෙන් විජේවීර සහෝදරයාටත් ඔහුගේ දරු පවුලටත් නිරන්තරයෙන් සිය පදිංචිය වෙනස් කරන්නට සිදුවිය. මෙවැනි වාතාවරණයක් යටතේ ඔවුන් සමඟ ජීවත් වීමට ඉතාමත් විශ්වාසදායි කෙනෙක් සිටින්නේ නම් වඩා හොඳ බැව් පක්ෂයේ තීරණය විය. එකල ජ.වි.පෙ. විසින් සතුරන්ගෙන් සඟවා ගතව තිබූ රහස් අතර ප්‍රමුඛතම රහස වූයේ තම නායකයා ජීවත් වන්නේ කොතැනකද යන්නයි. ගමනායක සහෝදරයා කරුණා සමඟ ඒ ගැන කතාකොට ඇගේ අදහස් විමසූයේ කරුණා තරම් ඊට ගැළපෙන විශ්වාසවන්ත හා  නිර්භය ගැහැනියක් ගැන අදහසක් ඔහුට නොතිබුණු හෙයිනි. ඇය ඊට එකඟ වූයෙන් එවක් පටන් කරුණා ජීවත් වූයේ විජේවීර පවුලේ සාමාජිකයෙක් බ¾දුවය.

කරුණා සහෝදරීගේ  මව රෝගාතුරව මහරගම පිළිකා රෝහලේ නේවාසිකව සිටින බවට උලපනේ නිවෙසට පණිවුඩයක් ලැබී තිබුණේ ඇය එහි ගොස් මාස කිහිපයක් ඉක්ම යද්දීය. මවට ඇප උපස්ථාන කිරීමට ඇයට ඕනෑ වී තිබිණි. සති කිහිපයකට ඇයට ප්‍රවේශම් ලෙස මව බලන්නට යන ලෙස රෝහණ සහෝදරයා පවසා තිබේ. ඇය පැවසූ ලෙසම නැවත උලපනේ නිවෙසට පැමිණියාය. මේ රටේ කිසිවකුත් නොදැන එහෙත් මේ රටේ දුක් විඳින, පීඩාවට පත් වන අසාධාරණයට හා අයුක්තියට ලක්වූ සුවහසක් මිනිසුන් වෙනුවෙන් ඔවුන් කළ මෙහෙය සදානුස්මරණීයය. කරුණා සහෝදරි ඒ අතරින් පෙරමුණේ සිටි වීරවරියක් ලෙස සටහන් කිරීම යුක්තියුක්තය.

ගාමිණි මුතුකුමාරණ

ලියූ ‘මතක ගිනි පුපුරු’ ග්‍රන්ථය ඇසුරිනි.

Author

%d bloggers like this: