Saturday, December 2

උතුරට එක වතුර බිඳක් නොදී මහවැලි කොමිසම උතුරේ මෙතරම් ඉඩම් අල්ලා ගත්තේ කොහොමද?

එක්සත් සමාජවාදී පක්ෂයේ සිරිතුංග ජයසූරිය සහ ශ්‍රීනාත් පෙරේරා රචනා කළ ඊළාම් අරගලය මාක්ස්වාදී ඇසින් කෘතිය පිළිබඳ එක්ත් කම්කරු සම්මේලනයේ සභාපතිනි, නීතිඥ ස්වස්තිකා අරුලිංගම් කළ දේශනය.

ඊළාම් අරගලය මාක්ස්වාදී ඇසින් කියන මෙම කෘතියේ ඇති යෝජනා පිළිබඳ අදහස් කිහිපයක් කියන්නට මා බලාපොරොත්තු වෙනවා. එයින් එහාට ජනවාර්ගික ප්‍රශ්නයේදී අප සිටින්නේ කොතැනද කියා අදහසක් පළ කරන්න බලාපොරොත්තු වෙනවා.

මම මා ගැන කෙටියෙන් හැඳින්වීමක් කරන්නම්. මොකද, මෙය ඉතාම ආත්මීය දෙයක්. ජාතිය, ලිංගිකත්වය, පංතිය වැනි දේවල් ඉතා ආත්මීය දේවල්.

යාපනයේ උපත ලැබුවාට, මා 1990 දී කොළඹට අවතැන්ව පැමිණියේ, මට අවුරුදු තුනක්ව සිටියදී. මම මාව යුද්ධයේ වින්දිතයෙකු ලෙස හඳුන්වාගන්නේ නෑ. කොළඹට අවතැන්ව ආ නිසා මට බොහෝ දේවල් දැකගන්න ලැබුණා. මට බොහෝ සිංහලයන් සමග ජීවත් වීමට අවස්ථාව ලැබුණා. මගේ පරම්පරාවේ දෙමළ ජනතාවට එම අවස්ථාව නැහැ. ඇතැම් අය එම අවස්ථාව නොලබාම සමුගෙන ගියා.

අපි ජනවාර්ගික සම්බන්ධතා ගැන කතා කරද්දී මම සිරිතුංග සහෝදරයා සහ ශ්‍රීනාත් සහෝදරයා වාගේ යුද්ධය, අතුරුදන් කිරීම්, ඝාතන, වධහිංසාව වැනි අත්දැකීම් ලබමින් ජීවත් වුණේ නෑ. මම දේශපාලනයට පැමිණියේ ඊට පසු, 2012 දී පමණ. එහෙත් එකල මරණය එදිනෙදා අත්දැකීමක්. ජනවාර්ගික ප්‍රශ්නය ගැන පුද්ගලයන්ගේ ස්ථාවරයන් නිසා ජීවිතය තර්ජනයට ලක් වුණා.

ශ්‍රීනාත්, සිරිතුංග වැනි සහෝදරවරුන් ජාතිවාදය වැරදියි, මෙම යුද්ධය වැරදියි ආදී අදහස් මත ඍජුව හිටගත් නිසා අපට අද මෙම මාතෘකාව ගැන කතා කරන්න අවස්ථාව ලැබී තියනවා.

මෙවැනි සහෝදරවරුන් බොහොමයක් සිටිනවා. මම තවමත් ඒ සැමගෙන් ඉගෙනගන්නවා.

ජනවාර්ගික ප්‍රශ්නය ගැන කතා කරන විට, අප  ස්වයං නිර්ණය අයිතිය ගැන කතා කරනවා. අප මෙම ස්වයං නිර්ණය අයිතිය පිළිබඳ අයිතිය පිළිබඳ කතා කරන්නටත් පෙර, යුද්ධය ඇරඹුණේ අතිමූලික ආර්ථික සහ සමාජයීය මර්දනයක් සිංහල රාජ්‍යය විසින් දෙමළ ජනතාව මත දියත් කිරීමෙන්.

උදාහරණයකට ඉඩම් ප්‍රශ්නය දෙස බලන්න. මහවැලි ව්‍යාපෘතිය ගනිමු. දෙමළ ජනතාව බලහත්කාරයෙන්, තුවක්කු එල්ල කරමින් ඉඩම්වලින් ඉවත් කළා. අධ්‍යාපනය දෙස බලන්න. අධ්‍යාපන ප්‍රමිතිකරණය හඳුන්වාදුන්නා. දෙමළ තරුණයන්ව විශ්වවිද්‍යාලවලින් ඉවත් කළා.

ඉතින්, මේ යුද්ධය කියන දෙයම ඉස්මතු කරන්නේ දෙමළ ජනතාව මත පැටවූ මූලික ආර්ථික සහ සමාජයීය අයුක්තීන්. එම කාලය පශ්චාත් යටත් විජිත සමය. බොහෝ රාජ්‍යයන්, සමාජයන් අනන්‍යතාවයට සටන් කළ සමයක්. ස්වයං නිර්ණය අයිතිය සංකල්පයක් ලෙස ඉස්මතු වුණේ එම පශ්චාත් යටත් විජිත සමයේදීයි. තුන්වැනි ලෝකයේ බොහෝ රටවල් නිදහස වෙනුවෙන් සටන් කරමින් සිටියා. එම කාලයේදී ස්වයං නිර්ණය අයිතිය යනු දෙමළ ජනතාවට තමන්ගේ ඉල්ලීම් ඉදිරිපත් කිරීම සඳහා දේශපාලන අවියක් බවට පත් වුණා.

මම හිතනවා, එම කාලය දැන් පසුවෙලා. අනිවාර්යයෙන්ම ඒ ගැන විවාදයක් තිබෙනවා. එහෙත්, ස්වයං නිර්ණය අයිතිය පිළිබඳ සංකල්පය සහ එය ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීම ගැන මම සම්පූර්ණ එකඟතාවක නැහැ. එයට වඩා  ප්‍රායෝගිකව කරන්නට බොහෝ වැදගත් දේවල් තිබෙනවා දෙමළ ජනතාව, මුස්ලිම් ජනතාව සහ මලයග ජනතාවට අදාලව.

මම දෙමළ කතා කරන්නියක් නිසාත්, මගේ සමාජය බොහෝ අත්දැකීම්වලට මුහුණදුන් නිසාත් දෙමළ ජනතාවගේ අත්වැරදීමක් වුණේ, මූලිකවම ඉතා මර්දනකාරී සිංහල රාජ්‍යයක ප්‍රතිඵලයක් ලෙස එල්ටීටීඊ වැනි කණ්ඩායම් බිහි වූ නිසා, අපි හිතුවා අපට තනිවම අපේ අරගලය කරන්න පුලුවන් කියා. මා හිතන විදියට එය දෙමළ අරගලයේ ප්‍රධාන ගැටලුවක් ලෙස අදටත් පවතිනවා.

දෙමළ වාමාංශිකයන් එදා ඒ ගැන ලීවා. ‘අපට මේ සටන තනිවම කළ හැකියි. අපට සාමූහිකත්වය අවශ්‍ය නෑ. අප සිංහල බහුජනතාව සමග ගනුදෙනු කරන්න ඕනෑ.‘ කියා ලීවා.

අනෙක් පැත්තෙන් දකුණ දෙස බලන විට ජාතිවාදී ජාතිකවාදී බලවේග ගොඩනැගුණා. උදාහරණයක් ලෙස ජනතා විමුක්ති පෙරමුණ. ඔවුන් මහින්ද රාජපක්ෂ සමග සන්ධාන ආණ්ඩු ගොඩනැගුවා. ජාතිවාදී සිංහල රාජ්‍යයක් ගොඩනැගුවා. එමගින් දෙමළ කතා කරන මධ්‍යස්ථ දෙමළ ජනතාවට පවා සංවාදවලට සම්බන්ධ වෙන්නට අසීරු තත්වයක් ගොඩනැගුවා.  අපි කොහොමද අපේ පැවැත්ම පිළිනොගන්නා දකුණ සමග සංවාදගත වෙන්නේ.

මෙවැනි සංවාද හැරුණාම, එම සංවාදය මම දකුණේ පොදු සමාජයේ දැක්කේ නැහැ. අදත් ජනතාව කියන්නේ ‘යුද්ධය ඉවරයි. අපි දැන් අමතක කරලා ඉදිරියට යා යුතුයි.‘ වැනි අදහස්.

මෑතකදී වාමාංශික පක්ෂයක් විසින් රැස්වීමක් පැවැත්වුවා. ඔවුන්ට ඕනෑ අප අත් පටලාගෙන, ජනවාර්ගික සාමූහිකත්වය ගැන කතා කරන්නලු. එහෙත් එම පක්ෂය මෙම සිංහල බෞද්ධ දෘෂ්ඨිවාදය ඉදිරියට රැගෙන ගිය බලවේගයක ඉදිරියේ සහ කේන්ද්‍රයේ සිටගෙන හිටියා. ඒකේ ප්‍රතිඵලයක් ලෙස 40,000ක් ජනතාව මියගියාට පස්සේ දැන් ඔවුන්ට ඕනෑ අත් අල්ලාගෙන වාර්ගික සාමය ගැන කතා කරන්න.

උතුර එල්ටීටීඊ සෙවණැල්ලෙන් එළියට එන්න ඕනෑ. දකුණේත් අවංක උත්සාහයක් අවශ්‍යයි. මම කියන්නේ අත් අල්ලාගෙන, සාමයේ ගීත ගයන්න කියා නෙවෙයි. මම අදහස් කරන්නේ එය නෙවෙයි.

සැබෑ වුවමනාව කියන්නේ දෙමළ ජනතාවගේ අදටත් පවතින ප්‍රශ්න ගැන කතා කිරීමටයි. අදටත් රජය දෙමළ කතා කරන ජනතාවගෙන් උතුරු- නැගෙනහිර ඉඩම් කොල්ලකනවා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, වනජීවී දෙපාර්තමේන්තුව, මහවැලි අධිකාරිය දෙමළ ගොවියන්ට සහ දෙමළ ජනතාවට අයිති ඉඩම් කොල්ලකනවා.

එම නිසා, අවංක උත්සාහයක් තිබිය යුතුයි. පීඩාවට ලක් වූ උතුරේ සහ නැගෙනහිර ජනතාව සමග සිට ගන්නට.

එල්ටීටීඊය ගැන කියන විට, මගේ අදහස සමග දෙමළ කතා කරන බහුතරයක් එකඟ වෙන්නේ නැහැ. මම හිතනවා එල්ටීටීඊය දෙමළ ජනතාව තුළ ගොඩනැගුණු පිළිකාවක් වැනි, ෆැසිස්ට්වාදී බලවේගයක්. යුද්ධය අවසානය දක්වා දේශපාලනිකව සාකච්ඡා කරන්නට දැනගෙන සිටියේ නැති බලවේගයක්. එහි ප්‍රතිඵලයක් ලෙස මුල්ලිවෛක්කාල් සමූලඝාතනයේදී 40,000ක් මරණයට පත් වුණා. එය අනුකම්පා විරහිත, ෆැසිස්ට්වාදී බලවේගයක් බව මගේ විශ්වාසය. බොහෝ දෙමළ ජනතාව මරණයට පත් කරපු, දෙමළ ජනතාවම මරා දමපු, දරුවන් යුද්ධයට බඳවාගනිමින් අනාගතයට ඉඩ අහිමි කරපු බලවේගයක්. එය එල්ටීටීඊය ගැන මගේ පුද්ගලික මතය.

එයින් එහාට ඊළාම් ව්‍යාපෘතිය ගැන කියද්දී, ඊළාම් කියන වචනය ගැනම හැරී බලන්න ඕනෑ. පැරණි දෙමළ සාහිත්‍ය තුළ අප ඊළනාඩු කියා හැඳින්වුවේ ශ්‍රී ලංකාව හැඳින්වීමට. ඊළාම් කියන්නේ ශ්‍රී ලංකාව හඳුන්වන දෙමළ වචනය. එම නිසා වෙනම රාජ්‍යයක් ලෙස ඊළම ඉල්ලද්දී එල්ටීටීඊය පවා ඔවුන් තමන්ව ප්‍රතිබිම්බගත කරගත්තේ සිංහල මර්දනකාරී ශ්‍රී ලාංකික රාජ්‍යයට. එම කොඩිය පවා රතු සහ කහ කොඩියක්. අපේ සිංහල බෞද්ධ කොඩියත් රතු සහ කහ කොඩියක්. සිංහයා වෙනුවට ඔවුනට කොටියෙක් සිටියා. ඒ වගේම ඔවුන්ගේ ප්‍රාර්ථනා කළේ, සිංහලයන් බහුතරය වෙද්දී සියල්ලන් ඔවුන්ට හිස නැවිය යුතු, සිංහල බෞද්ධ රාජ්‍යය මෙන්ම ඒකජාතීය රාජ්‍යයක්. දැන් අප ඉදිරියේ ප්‍රහේලිකාවක්. එල්ටීටීඊය කරපු යුද්ධය සිංහල බෞද්ධ රාජ්‍යයේ ප්‍රතිබිම්බයක්.

අප එනවා තර්කානුකූලව ජනවාර්ගික ප්‍රශ්නයේදී වම කුමක් කළ යුතුද කියන තැනට. මගේ අදහස අප ජනතාවට බලපාන සැබෑ ප්‍රශ්න ගැන කතා කළ යුතුයි. දේශපාලන විවාද ඉතා වැදගත්. අප ඉතිහාසය දෙස හැරී බලන්න ඕනෑ. අප ඉතිහාසයේ වැරදුණේ කොතැනදැයි හැරී බැලිය යුතුයි. එහෙත් ඓතිහාසික අධ්‍යාපනය පාවිච්චි කළ යුත්තේ වර්තමාන අරගල සඳහායි. මේ වෙද්දී උතුරේ අරගල ගණනාවක් ක්‍රියාත්මකයි. මහා පරිමාණයෙන් ගත් කළ සිංහල බෞද්ධ රාජ්‍යය ඒවා ගැන නිහඬයි.

ඔවුන් ඒ ගැන කතා කරද්දී පවා, සිංහල බෞද්ධ රාජ්‍යය ප්‍රශ්න කරන්නට බිය වුණා. සිංහල බෞද්ධ කියන යෙදුම කෙතරම් බියජනක වීදැයි කිවහොත් වාමාංශික පක්ෂ පවා ලේ වැකුණු ඉතිහාසයකට වගකියන සිංහල බෞද්ධවාදය ප්‍රමාණාත්මකව ප්‍රශ්න කරන්නට අසමත් වුණා.

වාමාංශිකයන් ලෙස අප ආරම්භ කළ යුත්තේ ව්‍යවස්ථාපිත සිංහල බෞද්ධවාදය ප්‍රශ්න කිරීමෙන්. එයින් ඓතිහාසික වශයෙන් සිදු වූ අසාධාරණය සාකච්ඡාවට ගැනීමෙන්. ව්‍යවස්ථාව තුළට එක් ජාතියක් දැමීමෙන්, බහුතරය සහ සුළුතරය තහවුරු කරනවා.

මෙම කෘතියෙහි වැඩකරන ජනතාව ඒකාබද්ධ කිරීම වෙනුවෙන් දකුණු ආසියානු සම්මේලනයක් යෝජනා කරනවා. එය සංකල්පීය වශයෙන් හොඳ අදහසක්. එහෙත් අප එම අදහස ගැන සාකච්ඡා කළ යුත්තේ ඉන්දියාවේ සිදු වන්නේ කුමක්ද යන සන්දර්භය තුළ. ශ්‍රී ලංකාවේ බොහෝ පක්ෂ මෙන් එම පක්ෂයත් හින්දුත්වවාදයෙන් යුත් පක්ෂයක්.

ඒ ගැන මගේ එකම ගැටලුව වන්නේ ඉන්දීය රාජ්‍යය ඉන්දියානු ජනතාව මත පතුරුවා ඇති බලය නිසා ඉන්දියානු ආධිපතයට යට නොවූ සම්මේලනයක් ගොඩනැගීම අභියෝගයක් බවට පත් වේවි. වාමාංශික එකතූන්වල පවා එම අඩුපාඩුව මා දැක තිබෙනවා. සියලු ආකාරයේ දකුණු ආසියානු එකමුතුවල ඉන්දියානු ආධිපත්‍යය පෙනෙනවා.

මම ඊයේ උතුරු-දකුණු ධීවරයන් සමග සාකච්ඡාවක සිටියා. එහිදී මන්නාරමෙන් පැමිණි ධීවර නායකයෙකු කීවා අදානි ව්‍යාපෘතියක් ගැන. ඔවුන් දූපතක සුළං විදුලි බලාගාර සවි කරනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ධීවර සම්පත් අහිමි වීම පමණක් නෙවෙයි, දූපත පවා ගිලී යා හැකි බව කීවා.

උතුරේ තවත් දූපත් විදුලි ව්‍යාපෘති සඳහා පාවිච්චි කරන්නට පටන් අරන්. කවුරුත් ඒ ගැන කතා කරන්නේ නෑ. උතුරේත් කතා කරන්නේ නෑ. දකුණේත් කතා කරන්නේ නෑ.

මම මේ නිශ්චිත ප්‍රශ්න දැන් මතු කරන්නට හේතුවක් තිබෙනවා. අතීතය දෙස හැරී බැලීම ඉතා වැදගත්. උදාහරණයක් ලෙස මහවැලි ව්‍යාපෘතිය කළේ කුමක්දැයි කියන එක වැදගත්.

උතුරට එක වතුර බිඳක් නොදී මහවැලි කොමිසම උතුරේ මෙතරම් ඉඩම් අල්ලා ගත්තේ කොහොමද? එය අප තවමත් විමසන ප්‍රශ්නයක්. එය උතුරේ ජනවාර්ගික පීඩනයක් ඇති කරන්න හේතු වුණේ කොහොමද?

අපි ජනවාර්ගික ප්‍රශ්න ගැන කතා කරද්දී වාමාංශිකයන් ඇවිත් අපට කියනවා, එපා. ජනවාර්ගික ප්‍රශ්න කියන්නේ අනන්‍යතා දේශපාලනයක් කියා. ඔවුන් කියන්නේ එය පංති දේශපාලනයට වඩා පහළින් තියෙන බව. වාමාංශික දේශපාලනයේදී පංතිය මුල් තැනට එනවා.

මම වෘත්තිය සමිතිකාරියක්. බොහෝ කම්කරුවන් එක්කවැඩ කරනවා. එහෙත් අපි දෙමළ කම්කරුවන් එක්ක වැඩ කරද්දී භාෂා ප්‍රශ්නය ඔවුන්ට සජීවී ප්‍රශ්නයක්. ජනවාර්ගිකත්වය නිසා රැකියාවක් ලබා ගැනීමට නොහැකි වීම සජීවී ප්‍රශ්නයක්. කැරලිකාරී තත්වයක් ආවත්, තමන්ව ඉලක්ක වෙනු ඇතැයි දෙමළ කම්කරුවන් බියයි. ජනවාර්ගිකත්වය වැඩකරන ජනතාවට සජීවී යථාර්තයක්. එම නිසා ඔබට ජනවාර්ගික ප්‍රශ්නය පැත්තකට දාලා දේශපාලනය කරන්න බැහැ. මොකද, ජාතිය අපගේ ජීවිත දිනපතා නිර්වචනය කරනවා.

ඔබ ශ්‍රී ලංකාවේ වාමාංශිකයෙකු නම්, ජාතිය පිළිබඳ ඍජු මතවාදයක සිටගත යුතුයි. එසේ නොකරන තාක් කල් පංති සාමූහිකත්වය ගැන කතා කරන්න බැහැ.

බොහෝ දේවල් කරන්නට තිබෙනවා. සිරිතුංග සහෝදරයා ලියා තිබුණා වගේ, යුද්ධය අවසන් නිසා ආණ්ඩුව සිතනවා දැන් කිසි දෙයක් කරන්නට අවශය නැහැ කියා. එහෙත් ජනවාර්ගික පීඩනය තවමත් ක්‍රියාත්මකයි.

දෙමළ, මලයග දෙමළ සහ මුස්ලිම් ජනතාව පීඩනයට මුහුණ දෙනවා. අපි එල්ටීටීඊය ගැන කතා කරන විට ඔවුන් මුලින්ම කළ දෙයක් වන්නේ උතුරු- නැගෙනහිර පාලනය සියතට ගත් සැණින් සිංහල- මුස්ලිම් ජනතාව උතුරෙන් එළවා දැමුවා. ඒ ලේ ඔවුන්ගේ අතේ තිබෙනවා. දෙමළ ජනතාවත් එම ජනවාර්ගික සහ කුලය පිළිබඳ අයුක්තීන් ගැන නැවත හැරී බැලිය යුතුයි.

අතුරුදන්වීම්, මරණ, ඝාතන තිබුණු කාලයේ මම එතැන සිටියේ නැහැ.

මම එම කාලය පසු කරමින් ජීවත් වූ මගේ සහෝදර සහෝදරියන්ට මම අවසානයේදී ස්තූතිවන්ත වෙනවා.

Author

%d bloggers like this: