ඇමෙරිකාවේ යුනයිටඩ් ඔටෝ වර්කර්ස් වෘත්තිය සමිතිය ඇමෙරිකාවේ විශාලම මෝටර් රථ කර්මාන්තශාලා කිහිපයක දැවැන්ත වර්ජනයක් ආරම්භ කළ අතර එය තුන්වැනි සතියටත් ක්‍රියාත්මකයි.

අවුරුදු කිහිපයක් ඇතුළත දැන් තියෙන වැටුප සීයට 40කින් වැඩි කිරීම, අලුතින් බඳවාගන්නා අයට ගෙවන ඉතා සුළු වැටුප වෙනුවට වඩාත් වැඩි වැටුප් ලබා දීම ඉල්ලීම් අතර පවතිනවා. සරල බසින් කීවොත් ඔවුන්ගේ මූලික ඉල්ලීම වැඩි වැටුප් සහ සේවක අයිතීන්.
සැප්තැම්බර් 14 වැනිදා සිට ප්‍රධාන සමාගම් තුනක සේවකයන් 146,000ක් වර්ජනයට සම්බන්ධ වූ බව බීබීසී වාර්තාවක සඳහන්.
‘අපට ඇති වෙලා ඉන්නේ‘ ජෙනරල් මෝටර්ස් සමාගමේ අවුරුදු 17ක් වැඩ කරපු එමිලි යෙටාව් බීබීසී වෙත කියා තිබුණා. ‘ඔවුන් බිලියන ගණන් ලාභ හොයනවා. අපට මීට වඩා ලබන්න අයිතියක් තියෙනවා.‘ ඇය කියා තිබුණා.
ඊළඟ ජනාධිපතිවරණයට ලෑස්තිවෙන ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් හා ඩොනල්ඩ් ට්‍රම්ප් දෙන්නාම ඩිට්‍රොයිට්වලට මේ වර්ජනය අස්සේ ගියා.
ආණ්ඩුව සහ ව්‍යාපාර බලවතුන් මුදල් යොදා පතුරවන වෘත්තිය සමිති විරෝධී අදහස්වලට හසු නොවී, ඇමෙරිකානු සමාජයේ විශාල පදාසයක් මෙම වර්ජනයට සහයෝගය දක්වනවා. ඇමෙරිකාවේ වෘත්තිය සමිති හා වර්ජන සඳහා විශාල පිබිදීමක් මෑත කාලයේ ඇති වුණා.
‘පහුගිය අවුරුදු 20ක් තිස්සේ ගොඩක් විරෝධතා පැවැත්වුණත්, ඒවා සංකේතාත්මක විරෝධතා පමණක් වුණා. එහෙත් මේ අවුරුද්දේ තත්වය සම්පූර්ණයෙන් වෙනස්. වෘත්තිය සමිති ඉන්නේ ඉතාම ශක්තිමත් හෙට්ටු කිරීමේ මට්ටමක. කාර් සමාගම් මහා මුදලක් උපයනවා. එහෙත්, සේවකයන් උද්ධමනයට සරිලන විදියට වැටුප් වැඩිවීම් ලබලා නෑ. දැන් මහජනතාවගෙන් සේවකයන්ට ලොකු සහයෝගයක් ලැබෙනවා.
පසුගිය කාලය පුරා වරින් වර විරෝධතා තිබුණා. වීදියේ ගැටුම් පවා තිබුණා. එහෙත් 21 වැනි සියවසටම මෙවැනි වර්ජනයක් පවත්වලා නෑ.‘
නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ ඩිට්‍රොයිට් මෝටර් රථ කර්මාන්තය පිළිබඳ වාර්තාකරුවා, ටයිම්ස් වෙත එසේ කියා තිබුණා.
මේ වන විට ජෙනරල් මෝටර්ස් ආදී සමාගම්වල ප්‍රධානීන් මෙම නැගිටීම්වලට එරෙහිව තද ප්‍රතිචාර දක්වමින් සිටිනවා. මාධ්‍ය ලවා මෙම වර්ජන රැල්ල නිසා ඇති වන ආර්ථික හානිය ඉස්මතු කරමින් සේවක නැගිටීමට එරෙහි මතයක් නිර්මාණය කිරීමට ඔවුන් උත්සාහ කරනවා. එහෙත්, සේවක ඉල්ලීම් ඉටු කරමින් වැඩි වැටුප් ලබා දීමේ පූර්ණ එකඟතාවක් මෙම පුවත ලියන මොහොත වනතුරු නැහැ.

පසුගිය කාලයේ ලොව පුරා වෘත්තිය සමිති නැගිටීම් රැල්ලක් ඇති වුණා. මහා පරිමාණ සමාගම් තමන්ගේ ලාභය ගැන පමණක් හිතමින් වැඩ කරන මිනිස්සු ගැන අසංවේදී වීමට එරෙහිව බොහෝ අය නැගිට්ටා. එයට ප්‍රතිචාර විදියට ප්‍රකට ඕස්ට්‍රේලියානු ව්‍යාපාරිකයෙකු විසින් රැකියා අහිමි කොට මේ ‘සේවකයන්ට තමන්ට හිමි නියම තැන‘ පෙන්වන්න ඕනෑ බවත්, සේවකයන් ඕනෑවට වැඩි බවත් ප්‍රසිද්ධියේ කියා තිබුණා. එය ලොව පුරා ආන්දෝලනයක් ඇති කළ ප්‍රකාශයක් වුණා.