
කුරුන්දියේ පුරාවිද්‍යා නටඹුන් සහිත ස්ථානය කතරගම පූජා භූමිය මූලික කරගත් ආකෘතියට ගොඩනැගිය යුතු බව පාර්ලිමේන්තු අධීක්ෂණ කාරක සභාවකදී අදහස් පළ වී තිබෙනවා. මෙය සැබෑ ලෙස සැලකිය යුත්තේ ‘ව්‍යාපාර සැලසුමක්‘ හෙවත් බිස්නස් ප්ලෑන් එකක් සහ අනවශ්‍ය ජනවාර්ගික පීඩනයක් ඇති කරන සැලසුමක් ලෙස.
එහිදී කුරුන්දි පුරාවිද්‍යා රක්ෂිත භූමියට පිටින් තවත් අක්කර තුනක් ලබාගෙන කතරගම පුදබිමෙන් ආභාෂය ලැබූ කෝවිලක් සහ බෞද්ධ විහාර ඇතුළත් පූජා භූමියක් ඉදිකිරීමට යෝජනා ඉදිරිපත් වී තිබෙනවා.
ඒ අදහස් පළ වී තිබුණේ බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු හා සහජීවනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව සහ මාධ්‍යය, තාරුණ්‍ය උරුමය සහ නූතන පුරවැසියා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවලදී- නිලධාරීන් ගෙන්වමින් කුරුන්දි විහාරය පිළිබඳ සාකච්ඡා කළ අවස්ථාවේදී. ඒ සඳහා බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් කැඳවා තිබුණා. බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම් සෝමරත්න විදාණපතිරණ මහතා මේ කියන අක්කර තුනක බිස්නස් ප්ලෑන් එක ඉදිරිපත් කරලා තිබුණා. මෙම කමිටුවට අතුරලියේ රතන හිමි, සරත් වීරසේකර, චන්න ජයසුමන ආදී මන්ත්‍රීවරුන් සහභාගී වී සිටියා.
මෙවැනි ‘පුදබිම්‘ ඉතා අහිංසක ආගමික- වන්දනාමාන කිරීමේ අරමුණෙන් නොව- ව්‍යාපාරික ස්ථාන ලෙස ක්‍රියාත්මක වන අතර, එය සංචාරක ගමනාන්තයක් වන විට බෞද්ධ හිමිවරුන්, කපුවන්, වෙළෙන්දන්, නවාතැන් සපයන්නන් ආදී විශාල පිරිසක් පැමිණ එය ආර්ථික ක්‍රියාවලියක් බවට හරවාවි. එහිදී සම්පූර්ණයෙන් දෙමළ ජනතාව ජීවත් වන මෙම ප්‍රදේශය තුළට සිංහල ජනතාව විශාල වශයෙන් පැමිණීමම දශක ගණනක් තිස්සේ දෙමළ ජනතාවට තිබුණු බය තහවුරු කරනු ඇති.
මෙරට බෞද්ධ ජනතාවට වන්දනාමාන කිරීම සඳහා අවශ්‍ය තරම් පුදබිම් පවතින අතර, කුරුන්දියේ නටඹුන් අතර පන්සලක් ගොඩනගා ‘කුරුන්දි විහාරය‘- ‘කුරුන්දි විහාරය‘ ලෙස වෙළඳ දැන්වීම් පළ කොට – සංචාරක ගමනාන්තයක් බවට හැරවීමෙන් අප කවුරුත් මේ මොහොතේ ඉලලා නොසිටින ජනවාර්ගික පීඩනයක් ඇති වීම මිස අන් කිසිවක් සිදු නෙවෙයි.
2013 දී නිකුත් කරන ලද ගැසට් පත්‍රයක් අනුව කුරුන්දි රජමහා විහාරය ආශ්‍රිත පුරාවිද්‍යා රක්ෂිත ප්‍රදේශයට අක්කර 229ක් අයත් වන බව මෙම සාකච්ඡාවේදී කියා තිබුණා. ජීපීඑස් තාක්ෂණය ඔස්සේ, එම ප්‍රදේශයේ පවතින ස්මාරක හඳුනාගැනීමෙන් පසු මෙම රක්ෂිත භූමිය නම් කර තිබෙනවා.
මේ අක්කර 229 ඇතුළේ තිබුණේ වනාන්තර විතරක් නෙවෙයි. ගොවියන්ගේ ඉඩම් මේකට අයත් වුණා. මිනිස්සු වගා කරමින් හිටපු ගොවි ඉඩම් පවරාගත්තා.
කුරුන්දියේ ඉදිකිරීම්- හෙළිකිරීම් ආදී කටයුතු හරිහැටි සිදු වුණේ 2021 පමණ සිට. නූතන පන්සලක් හදා ව්‍යාපාරික ගමනාන්තයක් බවට එය පරිවර්තනය කිරීම පටන් ගත්තේ එම කාලයේ සිට. ඊට පෙර සිට මෙම ස්ථානය හඳුනාගැනීම නම් සිදුව තිබුණා.
මේ ඉදිකිරීම් පටන් ගතේ නැහැ කියා- ඊට කලින් ලංකාවේ බෞද්ධකමට අඩුවක් පාඩුවක් තිබුණේ නැහැ. අපේ බෞද්ධයන්ගේම සහ බෞද්ධ නායකයන් යැයි කියාගත් අයගේම අඩුපාඩු මිසක.
ඇත්තටම මෙම ස්ථානයේ තිබෙන චෛත්‍යය, අවට ඇති ඉදිකිරීම් ආදිය බෞද්ධ විහාරයක් මෙතැන තිබුණ බව පෙනෙන්නට තිබෙනවා. එහෙත්, වසර සිය ගණනාවක් තිස්සේ මෙය විහාර පුදබිමක් විදියට වන්දනාමාන කරපු තැනක් නෙවෙයි. ඒ වෙනුවට හින්දු භක්තිකයන් මෙතැන වන්දනාමාන කර තිබුණා. එය තාර්කික සිදුවීමක්. කුමන හෝ ආගමික පුදබිමක් දැක්කාම එයට භක්තියෙන් වන්දනාමාන කරන්නට මිනිසුන් පෙළඹෙනවා.
මීට අමතරව මෙම කුරුන්දි විහාරය ආශ්‍රිතව ‘අධ්‍යන‘ කටයුතු සඳහා තවත් විමර්ශන කණ්ඩායමක් සූදානමින් සිටින බවත්, ඉදිරි මාස හය ඇතුළත විමර්ශන සිදු කරන බවත් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.
මේ කුරුන්දි විහාරය වගේ පන්සල් අල්ලාගෙන- ඒවායේ ‘විහාරාධිපති‘ විදියට පෙනී සිටින අතරේම- පුරාවිද්‍යා කටයුතුවලටත් සම්බන්ධ වෙන සන්තබෝධි හාමුදුරුවන්ගෙන්අප මිත්‍ර ලංකාදීප මාධ්‍යවේදිනී අශන්ති වරුණසූරිය ප්‍රශ්නයක් අසා තිබුණා, මේ කුරුන්දි විහාරයේ ඉදිකිරීම් කරන්නේ ‘ජාතිවාදය අවුස්සන්නද?‘ කියලා.
‘අද හැම මනුස්සයෙක්ම හැම දෙයක් දිහාම බලන්නේ දේශපාලන කෝණයෙන්. හැබැයි ශාසනික උරුමය නැවත ගොඩනැගණේ කොහොමද කියන කාරණාව පිළිබඳ යම් හෝ වුවමනාවක් තිබුණා නම් අපි කරන වෑයමට, උත්සාහයට කවුරුත් ගරහන්නේ නෑ.
රුවන්වැලිසෑය එදා තිබුණේ මේ වගේම පස් ගොඩක් විදියට. එදත් රුවන්වැලිසෑය ගොඩනංවපු හාමුදරුවන් වහන්සේලාට මේ වගේම චෝදනා කරන්න ඇති. හැබැයි මෙච්චර දේශපාලන වහල්භාවයක් තිබුණේ නෑ. එදා සුදු පාලකයන් එක්ක ඔට්ටු වෙලා භික්ෂූන් වහන්සේලා මේක හැදුවා.‘
හාමුදුරුවනේ ‘දේශපාලන වහල්භාවය‘ කියන්නේ මේ වගේ ඉදිකිරීම්- ආගමික ව්‍යාපෘති පිටිපස්සෙ තියෙන දේශපාලනය නොදකින එක. ඒක දකින්න තරම් විචාර බුද්ධියක් නැතිකම. හාමුදුරුවනේ හැම දෙයක්ම පිටිපස්සෙ දේශපාලන-ආර්ථික-සමාජයීය කාරණා තියෙනවා. හාමුදුරුවන්ගෙ සිවුරෙ වටිනාකම, හාමුදුරුවන් පදින වාහනය, හාමුදුරුවන්ට ඔය චෛත්‍යය ඉස්සරහා ඉඳගෙන මේ වැඩසටහන කරන්න බලය ආදී හැම දෙයක් පිටිපස්සෙම තියෙන්නෙ දේශපාලනය. ඒ දේශපාලනය විනිවිද දකින්න තියෙන හැකියාව ‘වහල්භාවය‘ නෙවෙයි.
අනෙක හාමුදුරුවනේ රුවන්වැලිසෑයයි මේකයි වෙනස්. රුවන්වැලිසෑය කියන්නේ ලංකා ඉතිහාසයේ- මහාවංශය තුළ පරිච්ඡේද ගණනාවක් වෙන් කරමින්- අසහාය රජු ලෙස ස්ථාපිත කරපු දුටුගැමුණු රජතුමා හදපු ප්‍රධානම චෛත්‍යය. ඒ චෛත්‍යය ගැන බෞද්ධ පුරාවෘත්ත ගොඩක් තියෙනවා. මහාවංශයත් රුවන්වැලිසෑය ඉදිකිරීම ගැන ලොකුවට සඳහන් කරලා තියෙනවා. කුරුන්දි විහාරයට ඊට සමාන හඳුනාගැනීමක් නෑ. ඒ මදිවාට රුවන්වැලිසෑය තියෙන්නේ අනුරාධපුරේ. මේ කුරුන්දිය වාගේ අනවශ්‍ය ගැටුම් ඇති වෙන ආන්දෝලනාත්මක පිහිටීමක නෙවෙයි.
ඒ විතරක් නෙවෙයි හාමුදුරුවනේ රුවන්වැලිසෑය සුද්දන් එක්ක ඔට්ටු වෙලා හැදුවා කීවාට- අටසිය අනූගණන්වලදී රුවන්වැලිසෑය වගේම, ථූපාරාමය, අභයගිරිය, මිරිසවැටිය ආදී චෛත්‍ය මුලින්ම පාදාගත්තෙ ලංකාවෙ පළවැනි පුරාවිද්‍යා අධ්‍යක්ෂ සී.පී. ද බෙල්. ඔහු බ්‍රිතාන්‍යයෙක්. එදා ඒවා පස් කඳු විදියට දේශීය පාලකයන් අත්හැරලා දාලයි තිබුණේ. රුවන්වැලිසෑය තිබුණෙ නෑ කියල අවුරුදු සිය ගාණක් තිස්සේ බෞද්ධයන්ට වඳින්න තැන් නැතිව ගියේ නෑ. ඉතින් ඇත්තටම මේ චෛත්‍ය සහ එය නැවත ඉදිකිරීම ගැන මෝහාන්ධකාරය තමයි හාමුදුරුවන් පතුරුවන්නේ.
වන්දනාමාන කරන්නන්ගේ භක්තිය මෙහිදී අපට අමතක කරන්න බැහැ. භක්තිය යම්කිසි අසරණකමක- අහිංසකකමක ප්‍රකාශනයක් විදියටයි අපි දකින්නේ. ඒ කියන්නේ මෙතැනට ඇවිත්, උත්කුටයෙන් ඉඳගෙන ඉන්නෙ මගේ අම්මා. මගේ සහෝදරිය. මගේ මිත්‍රයා. මගේම යාළුවන්ගෙ දරුවන් මේ වනාන්තරයකට පිහිටා තිබෙන සුන්දර පසුතලයේ දුව පනිමින් සෙල්ලම් කරනවා මට පේනවා. ඒ මිනිස්සු දෙමළ විරෝධී වෛරයකින් නොව- භක්තියකින් සහ අහිංසකකමකිනුයි පැමිණෙන්නේ. ඉන් පස්සේ දෙමළ මිනිස්සු ගැන ඔවුන්ට වෛරයක් ඇති වන්නේ- තමන්ගෙ අහිංසක භක්තියට- දෙමළ අයගෙන් තර්ජනයක් බවට පත් වෙද්දී.
එහි ඇති නිස්කලංකභාවය- වන්දනාමාන කිරීම සඳහා තියෙන ආශාව නැවත ලෝභයක් බවට ත් වෙනවා. ‘අපි‘ කියන හැඟීම සිංහල බෞද්ධයන්ට පොවනවා. ඒ අතරේම මේක ‘අපේය‘ මේක අයිති කරගන්න ඕනෑ කියන ‘ලෝභය‘ ඇති කරනවා. ඒ එක්කම මෙතැන බිස්නස් ප්ලෑන් එක ක්‍රියාත්මක නොකළොත්, මේ පුදබිම විනාශ වේවි කියන බය. මේක ‘කොල්ලකාවි‘ කියන බය ඇති කරනවා. ඒ අනුව දෙමළ ජනතාවට එරෙහි ක්‍රෝධය, වෛරය අවුස්සනවා.
මේක අලුත් ව්‍යාපෘතියක් නෙවෙයි. හැත්තෑ ගණන්වල ලංකාවේ යුද්ධය පටන් ගන්න අංක එකේ වගකිවයුත්තෙක් වන කුප්‍රකට ජාතිවාදියෙකු වන සිරිල් මැතිව් මෙම ප්‍රදේශවලට පැමිණ පන්සල පදනම් කරගනිමින් ජාතිවාදය අවුස්සන ක්‍රියාවට උත්සාහ කළා. පසුව ඊට වඩා වෙනස්ව හිංසනය අවුස්සා තිස් අවුරුදු යුද්ධයක් පටන් ගන්නට සිරිල් මැතිව්ලා සාර්ථක පියවර ගත් නිසාත්, යුද්ධයට මැදි වුණ නිසාත් කුරුන්දිය යටපත් වුණා. ඒ කාලසීමාව තුළ කුරුන්දි පුරාවිද්‍යා භූමිය තුළ වන්දනාමාන කළේ හින්දු භක්තිකයන්.
දැන් මේ කුරුන්දි සෙල්ලම් බඩුව එක්ක සෙල්ලම් කරන්න බෞද්ධ හාමුදුරුවරුන්ට ඕනෑලු. මේක ව්‍යාපාරයක් විදියට ආයෝජනය කරන්න ඕනෑලු. ඒ වෙනුවෙන් ගැටුම් ඇති කරගන්නත් ලෑස්තිලු.
අපි කියන්නේ, බලහත්කාරයෙන් ඉඩම අල්ලාගෙන- සැපට ඉඳගෙන- ‘කිසි අවුලක් නෑ. අපි හොඳට මෙතැන ඉන්නවා‘ කියලා සන්තබෝධි හිමියන් කියනවා. ඒ හිමියන්ගේ නිවුණුකම, ශාන්තභාවය තුළම බිහිසුණු බලහත්කාරය ගැබ් වී තිබෙනවා.
ඒ නිසා සිංහල- බෞද්ධයන්ගෙන් අපි ඍජුව අහන්න ඕනෑ ප්‍රශ්නය තමයි කුරුන්දිය ගැන ලෝභද? කුරුන්දිය අල්ලාගැනීමේ වුවමනාවෙන් ක්‍රෝධය- වෛරය ඔබට එනවාද? එහෙනම් ඔබ බෞද්ධයන්ද? කියන ප්‍රශ්නය.
මම මගේ උරුමයට ආදරය කරනවා. එහෙත්- මගේ උරුමය මගේ හිතේ ගැබ්වෙලා තියෙන්නේ මෙරට දෙමළ, මුස්ලිම්, මලයග දෙමළ ආදී සියලුම සහෝදර ජනකොටස් එක්ක. ඔවුන්ගෙන් වෙන්වෙලා නෙවෙයි.
