Saturday, December 2

ළමා මන්දපෝෂණය මැඬලන වැඩසටහන් බෑ! ප්‍රවාහන ගාස්තු නිසා සායනවලට එන්නේ නෑ!

කොළඹ දිස්ත්‍රික්කයේ මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් සඳහා ප්‍රාදේශීය සෞඛ්‍ය අංශ පවත්වන සායනවලට මවුවරුන් දරුවන් රැගෙන නොඑන තත්වයක් නිර්මාණය වී ඇතැයි ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන ගජනායක කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීමේදී 26 වැනිදා කියා තිබෙනවා.

මෙය සාමාන්‍ය මිනිසුන් ගැන නොතකමින්, ජනතාව මත බර පැටවූ වත්මන් ආණ්ඩුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනේ සැබෑ බලපෑම මනාව පෙනෙන පුවතක්. එක් එක් ක්ෂේත්‍රවල අර්බුද- එකිනෙකට ගැටගැසී ඒ ඒ අර්බුද තව තවත් වැඩි කරන හැටි පෙන්වන පුවතක්.

දරාගත නොහැකි ලෙස පොදු ප්‍රවාහන වියදම් ඉහළ යෑම මේ තත්වයට හේතු වී ඇතැයිද, ඊට පිළියමක් වශයෙන් සායනවලට නොඑන මව්වරුන්ට බස් ගාස්තුවක් හෝ යම්කිසි මූල්‍යමය ආධාරයක් ලබා දීමට රතුකුරුස සංවිධානය ඉදිරිපත් වී ඇතැයිද ගජනායක මහතා වැඩිදුරටත් කියා තිබෙනවා.

ඔහු වැඩිදුරටත් මෙහෙම කියා තිබුණා.

‘ළමා මන්දපෝෂණය අම කරගැනීම සඳහා වැඩසටහන් 76ක් මේ වන විට කොළඹ දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කළා. ඒ අතර ලෝක රතුකුරුස සංවිධානය සමග ඒකාබද්ධව පෝෂ්‍යදායී ආහාර සාදන ආකාරය පිළිබඳ මවුවරුන්ට පුහුණුවක් ලබා දීම, සායනවලට සහභාගී කරන මන්දපෝෂිත ළමයින්ට බිත්තර ලබාදීමේ වැඩසටහනක් ආදී වශයෙන් ක්‍රියාත්මක කළා. ඒත් අපි දැකපු දෙයක් වන්නේ බස් ගාස්තුව වැඩියි කියලා මන්දපෝෂණ අවම කිරීමේ වැඩසටහන්වලට මවුවරුන් දරුවන්ව අරගෙන එන්නේ නෑ.‘

මේ මාසය තුළදී කළුබෝවිල, රිජ්වේ ආර්යා ළමා රෝහල, අවිස්සාවේල්ල සහ හෝමාගම යන රෝහල්වලදීත්, කොළඹ එම්ඕඑච් සායන 18කත් මේ වැඩසටහන් ක්‍රියාත්මක කරන බව ඔහු කියා තිබුණා.

මෙරට ආර්ථික අර්බුදය විසඳාගනිමින්- සාමාන්‍ය ජනතාවට සේවා සැපයීමට විකල්ප යෝජනා රැසක් තිබියදී ආණ්ඩුව සාමාන්‍ය ජනතාව මතම බර පැටවීම මෙලෙස බිහිසුණු ලෙස ළමා ජීවිතවලට බලපෑම කණගාටුදායකයි.

Author

%d bloggers like this: