Saturday, December 2

දෑකැත්තයි මිටියයි එක්ක, මහමැතිවරණයක් ඇවිත් මාලිමාව පැරදෙයිද?

ජාතික ජන බලවේගයට බස් හෝල්ට් නඩුවක් වැටුණ හැටි ඔබ දකින්න ඇති. බස් හෝල්ට් නඩුව අස්සේ, ජාතික ජන බලවේගය ඉදිරි ජනාධිපතිවරණයකදී වාසි ලබාවි කියලා, අලුත්ම ගිමික් එකකට ආණ්ඩුව ඇතුළේ සාකච්ඡා තියෙන බව අපට ආරංචි වුණා. ඒ තමයි, සියලු මැතිවරණ අතරින් ජවිපෙට අවාසි මැතිවරණය මුලින් පවත්වන එක.

අපි ඒවා ගැන කතා කරමු. බස් හෝල්ට් එක ගැන වැදගත් කාරණයක් තියෙනවා. ඉදිරි ඡන්ද ළං වෙනකොට ප්‍රධාන ධාරාවේ මැතිවරණ දේශපාලනය තුළ සියල්ලන්ගේ සතුරා ලෙස මාලිමාව මතු වෙනවා. මේ බස් හෝල්ට් කතාව ඇතුළේ, ඒ හතුරාට දෙන ප්‍රහාරයේ හැඩතල පේනවා. ඒ කතාව වැඩිදුර විස්තර කරන්නම් පසුවට.

ඊට කලින් අපට ආණ්ඩුව පැත්තෙන් ඇහෙන ජනාධිපතිවරණයට කලින් මහමැතිවරණය පැවැත්වීමේ සැලසුම් ගැන මතු කරන්නම්. මේ සැලසුම අපි හිතනවාට වඩා දරුණු විදියට මාලිමාවට බලපාන කාරණයක්.

බැසිල් රාජපක්ෂ පාර්ශ්වය වගේම සමගි ජන බලවේගයත් මහමැතිවරණයකට කැමැත්තක් දක්වන බව කියනවා. එහෙම පසුබිමක පුළුවන් තරම් කණ්ඩායම්වල සහයෝගය මහමැතිවරණයට ගන්න පුළුවන් වුණොත්, පාර්ලිමේන්තුව තුළ පාර්ලිමේන්තුව විසුරුවීමේ යෝජනාවක් ගෙනාවත්, බහුතර ඡන්ද ගැනීමේ හැකියාවකුත් තියෙන බව දේශපාලන ඉඟි පල වෙනවා.

මතක තබා ගන්න, අපි නිශ්චිතව මැතිවරණයකින් පක්ෂයකට බලය ලබාගැනීමේ කතාවෙදී ඍජුව කාටවත් සහයෝගය නොදක්වන බව. අපේ දේශපාලනය මැතිවරණවලදී කාව හෝ දිනවන එක් දින සංදර්ශන දේශපාලනයක් නෙවෙයි. දීර්ඝ කාලයක් තිස්සේ ජනතාව, සමාජය, ආයතන පද්ධතිය, නීතිය ආදී සියලු දේ යහපත් තැනකට ගෙනියන දේශපාලනයක් තමයි අපට තියෙන්නේ. බලය ඉල්ලන කණ්ඩායමක කොටස්කරුවන් වෙන්න අපි ලෑස්ති නෑ.

මේ වෙද්දී ජාතික ජන බලවේගය හෙවත් මාලිමාව මුහුණදෙන අංක එකේ අභියෝගයක් තමයි මැතිවරණ කල් දැමීම. පහුගිය පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා ඉවත් කළා. රනිල් වික්‍රමසිංහ අධිකරණ නියෝග තඹ සතේකට නොතකමින්, අධිකරණය විහිළුවක් කරමින් පළාත් පාලන මැතිවරණය හකුළලා දැම්මා.

දැන්! රනිල් වික්‍රමසිංහලා ජනාධිපතිවරණයකට ලෑස්ති වෙනවා. භූමියේ ඡන්ද වැඩ කරන විදිය අපට ජීවිතේට අනුමාන කරන්න බෑ. ඒත්! ජනාධිපතිවරණයේදී අඩු තරමේ තුන්කොන් සටනක් එන බව පැහැදිලියි. බලවේග තුනක් ජාතික මට්ටමෙන් අතිශය දැවැන්ත කැම්පේන් එකක් දියත් කරනු ඇති.

හැබැයි! ජනාධිපතිවරණයකදී ජාතික ජන බලවේගයට වැඩි වාසියක් තියෙනවා. ජනාධිපතිවරණයකදී ජාතික මට්ටමෙන් එකම එක නායකත්වයකට තමයි ඡන්දය ලබා දෙන්නේ. මීට පෙර මැතිවරණවලදී තිබුණාට වඩා ලොකු කැම්පේන් එකක් කරන්න ධනය වගේම, ඒ කැම්පේන් එක ඇදගෙන යන්න තරම් ජනතා සහයෝගයක් මාලිමාවට තියෙනවා. මිනිස්සු ඡන්දෙ දෙන්නෙ කොහොමද කියලා අපි දන්නේ නැතත්, ඡන්ද ලබන්න අවශ්‍ය කැම්පේන් එක කිරීමේ හැකියාව කලින් තිබුණාට වඩා ජවිපෙට තියෙනවා. මතක තබාගන්න, මෙතෙක් හැම මැතිවරණයකටම වඩා අලුත් පොළොවක් දැන් තියෙනවා. ඒ වගේම මේ දේශපාලන මොහොත වෙනස්.

ඒ වගේම, රටේ අවධානය යොමු වෙන්නේ ජනාධිපති තනතුර සඳහා යෝජනා කරන තනි පුද්ගලයා කවුද කියන කාරණය. එහිදී වඩා ජනප්‍රිය චරිතය කවුද කියන එකත් වැදගත්.

තුන් කොන් සටනක් රන්නේ රනිල්-සජිත්-අනුර අතර නම්, එහිදී තනි පුද්ගලයා කෙරෙහි තියෙන ආකර්ෂණය වැදගත්. මේ තත්වය තුළ මහමැතිවරණයකට වඩා ජනාධිපතිවරණයක් අනුර කුමාර දිසානායකට වාසියි.

ඒක මනාව පෙන්වන සාධකයක් තමයි නැගෙනහිර මුස්ලිම් ජනතාවගෙන් ඔවුන්ට ලැබෙන හිතාගන්න බැරි විදියේ සහයෝගය. ඒ සම්පූර්ණ සහයෝගය ඡන්ද බවට හැරේවිද කියලා දන්නේ නෑ. ඒත්, මහමැතිවරණයකදී නම් ඒ මොන සහයෝගය තිබුණත් ප්‍රාදේශීය වශයෙන් ශක්තිමත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහ සමස්ත ලංකා මක්කල් කොංග්‍රසය වගේ පක්ෂවලට ඒ ප්‍රදේශවල මහජන ඡන්ද ඇදී යනවා.

අනෙක් පළාත්වල වුණත්, බදුල්ල-මොණරාගල-මාතර-ගාල්ල-කෑගල්ල ආදී මෙකී නොකී දිස්ත්‍රික්ක බොහොමයක සිටින දේශපාලනඥයන් විශාල පිරිසක් මහමැතිවරණයකදී තම තමන්ගේ ඡන්ද කැම්පේන් කරනවා. ඒ හැම කෙනාටම විරුද්ධව කැම්පේන් කරන්නට සිද්ධ වෙන්නේ අනුර කුමාරට නෙවෙයි. ඒ ඒ දිස්ත්‍රික්කවල කැම්පේන් වෙන වෙනම දියත් වෙනකොට, ඒක විවිධ පැතිවලට හැරෙන්න පුළුවන්. ඒත්, ජනාධිපතිවරණයකදී ඒ සියල්ල එක තැනකට කේන්ද්‍ර වෙනවා. මාලිමාවට ඒක වාසියි.

ජනාධිපතිවරණයකදී සීයට 50කට වඩා ඡන්ද අවශ්‍ය වුණත්, අපේක්ෂකයන් තුන්දෙනෙකු අතරේ සීයට තිස් ගණන් ඡන්දය බෙදී ගියත්, දෙවැනි වටයකට ගණනය කිරීම යොමු වෙනවා. එහිදී දෙවැනි වටයකට ගියත්, ජවිපෙට යම් අවස්ථාවක් තිබෙනවා.

ජනාධිපතිවරණයක් කොහොමහරි දින්නොත්, මාලිමාවට මහමැතිවරණයක් ගොඩ දා ගන්න චාන්ස් එකක් තියෙනවා.

මේ සියල්ල චාන්ස් විතරයි. මාලිමාව හරියටම දිනනවාද, නැද්ද කියලා අපට කිසිම තක්සේරුවක් නෑ. තවම අනෙක් පක්ෂ හරිහැටි තමන්ගේ කැම්පේන් පටන් අරගෙනත් නෑ. ඒවා පටන් ගනිද්දී ඒවාට සමගාමීව විවිධාකාර කතාන්දර, ප්‍රචාරක කටයුතු එළියට එනවා. දැන් තරම් ලෙහෙසියෙන් මාලිමා රැල්ලට පවතින්න ඉඩ දෙන්නේත් නෑ. කතන්දර, චෝදනා, නාට්‍ය පවා එළියට ඒවි.

ඉතින්! බස් හෝල්ට් කතාවට අපි යොමුවෙමු.

ගාල්ල කනංකේ මනුජය මිතුරෝ කියන සංවිධානයෙන් මේ කතාබහට ලක් වෙන, දෑකැත්ත සහ මිටිය හැඩය සහිත බස් ස්ටෑන්ඩ් එක ඕපන් කරපු බවත්, කනංකේ සිරි පැරකුම්භා පාසලේ විදුහල්පතිනිය මේ බස් හෝල්ට් එක විවෘත කරපු බවත් මේ වෙද්දී දන්නවා ඇති.

ඒ වගේම කනංකේ මනුජය මිතුරෝ සංවිධානයෙහි, ජනතා විමුක්ති පෙරමුණේ තරුණ සංවිධාන ක්‍රියාකාරීනුත් හිටපු බව මේ වෙද්දී ප්‍රසිද්ධ කාරණයක්. එහෙත්, ඒ කණ්ඩායම එක පක්ෂයකට අයිති කණ්ඩායමක් නෙවෙයි.

මනුජය මිතුරෝ සංවිධානය කියන විදියට මේ ඉස්කෝලෙ ඉස්සරහා බස් හෝල්ට් එකේ අව්වට පීඩා විඳින අය නිසා තමයි මේ බස් හෝල්ට් එක හදලා තිබුණේ. බස් හෝල්ට් එකේ කලා නිර්මාණ පළ කරන්න පුළුවන් බිත්ති පුවත්පතකුත් තියෙනවා.

ඊට අමතරව මේ බස් හෝල්ට් එකේ ආකෘතිය ඉන්දියාවේ කේරළයෙන් ආභාසය ලබා හැදූවක් බවත් ප්‍රසිද්ධ කාරණයක්.

දෑකත්ත සහ මිටිය කියන්නේ සෝවියට් දේශය තුළ අරගලයේ ලකුණ. මේක බොහෝ විට යෙදෙන්නේ රතු පැහැ කොඩිය තුළ රත්තරන් පැහැ ලාංඡනයක් විදියට. අපේ කතාබහට ලක් වෙන බස් හෝල්ට්වල මේ ලකුණ රතු පැහැයෙන් තියෙනවා.

මේ ලකුණෙහි අර්ථය දෙයාකාරයකින් විස්තර කරන්න පුළුවන්.

පළවැනි එක මේ ලාංඡනයේ සැබෑ අර්ථය. දෑකැත්ත සහ මිටිය. එනම්, කම්කරුවා සහ ගොවියාගේ එක්සත්කම ඉස්මතු කර පෙන්වීම. ගොවියාත්, වැඩ කරන මනුස්සයාත් එකතුවෙලා විප්ලවවාදී ලෙස බලය ලබා ගැනීම සඳහා ගමන් කරන එක මේ ලකුණින් සංකේතවත් කරනවා.

ජනතා විමුක්ති පෙරමුණත්, තව වාමාංශික පක්ෂ ගණනාවකුත් හැට-හැත්තෑ ගණන්වල බිහිවෙලා වර්ධනය වෙන්නේ ලංකාවේ කම්කරුවන්ගෙ-ගොවියන්ගෙ සහ විශේෂයෙන් ඒ පවුල්වලින් බිහිවෙලා අධ්‍යාපනය ලැබූ තරුණයන්ගෙ ව්‍යාපාරයක් විදියට. ජවිපෙ වාමාංශික පක්ෂයක්. කොමියුනිස්ට්වාදය ගුරු කරගත් පක්ෂයක්. ඉතින්, දෑකැත්ත සහ මිටිය ඔවුන්ගේ සංකේතය.

හැබැයි මතක තබාගත යුතු අනෙක් කාරණය තමයි මේ ලකුණ පාවිච්චි කරමින් බලයට පත් වූ තව බොහෝ අය සිටින බව. උදාහරණයක් විදියට මේක සෝවියට් දේශයේ රාජ්‍ය බලය නියෝජනය කරන ලකුණ බව. උතුරු කොරියාව පවා යම් දුරකට මේ ලාංඡනය පාවිච්චි කරන බව. පළවැනි ලෝක යුද්ධයෙන් පස්සේ සෝවියට් දේශයත්, දෙවැනි ලෝක යුද්ධයෙන් පස්සේ රටවල් ගණනාවකුත් තම තමන්ගේ වාමාංශික විප්ලවවලදී මේ ලාංඡනය පාවිච්චි කරපු බව.

ඒ කතාව එසේ තිබියදී, ලංකාවේ සන්දර්භය තුළදී මේ බස් හෝල්ට් එක නිකම්ම බස් හෝල්ට් එකක් නෙවෙයි. ඒ බස් හෝල්ට් එක තුළින් මතු වෙනවා ඉන් එහා ගිය ප්‍රශ්නයක්. දැන් මොකද ජවිපෙ කියන්නේ? දැන් මොකද ජාතික ජන බලවේගය කියන්නේ? දැන් මොකද සමාජය කියන්නේ? අපි මේක තේරුම් ගන්න සූදානම්ද?

මේ කතාව ඉදිරියට ගෙනියන්න උදව් විය හැකි, අදහසක් දෙස හැරී බලමු.

අපගේ මිතුරෙක් වන, චම්පික රණවක මහතා එක්ක කලක් තිස්සේ දේශපාලනය කරන ලෙෂාන් ප්‍ර බෝධ මේකට අදාලව කමෙන්ට් එකක් දාලා තිබුණා.

‘සම-හරක් ගේන්න හදන සිස්ටම් චේන්ජ් එක..

එන්පීපී කියන්නේ බොරු අයිසින් එකක් පමණයි. ඇත්ත යටින් තියෙන යාන්ත්‍රණය යල් පැනපු ජවිපෙ වාමාංශික අදහස් එලෙසම තමයි.

එන්පීපී කියලා දෙයක් නෑ. තියෙන්නේ ජේවීපී විතරයි. එන්පීපී කියන්නේ බොරු අයිසින්එකක්.

 තාප්පවල චිත්‍ර ඇන්දෙත් තමන්ගෙ මුදලින්. 2019 ඒක විවේචනය කරනව නම් මේක පිළිගන්න බෑ.

ජේවීපී එක තවම යල් පැනපු ජනකාන්ත වාමාංශිකකම අත්හැරලා නෑ.‘

මෙන්න මේ අදහස. ජවිපෙ තවමත් ‘වාමාංශික අදහස් අත්හැරලා නෑ‘ කියන කොටස ඉතාම වැදගත්. මේක තමයි ජවිපෙට විරුද්ධව ‘චෝදනාවක්‘ විදියට ඉදිරියේදී ඉදිරිපත් වෙන්න නියමිත. ‘එයාලා තවම වාමාංශිකයිනේ.‘ කියන එක.

ඒ කියන්නේ ජනතා විමුක්ති පෙරමුණ කියන වාමාංශික දේශපාලන පක්ෂය විසින්, තව පුද්ගලයන් සහ සංවිධාන ගණනාවක් එක්ක ඒකාබද්ධ වෙලා හදපු ජාතික ජන බලවේගය කියන සන්ධානය තුළ තවමත් ඉන්නේ ‘වාමාංශිකයන්‘ බව. ඒක ‘නරක‘ බව.

ඇත්තටම වාමාංශිකයන් නරකද? එහෙනම් හොඳ අය කවුද?

අපි කලින් සඳහන් කළා රටවල් ගණනාවක් තම තමන්ගේ පාලනයන් වෙනුවෙන් මේ කොඩිය පාවිච්චි කරපු විත්තිය.

ඒ වගේම ඒ රටවල් බොහොමයක් ඉතාම දියුණු ආර්ථිකයක් ගොඩගගාගන්න අසමත් වූ බව. දියුණු ආර්ථිකයක් ගොඩනගාගත් රටවල පවා ප්‍රජාතන්ත්‍රවාදය සහ පුද්ගල අයිතිවාසිකම් බරපතල තර්ජනයකට ලක් වූ බව ඔබ දන්නවා.

වාමාංශික රටවල් දුර්වල වීම අහම්බයක් විතරක් බව හිතනවා නම්, ඔබ දේශපාලන ඉතිහාසය ගැන පුළුල් අවබෝධයක් නැති කෙනෙක් ලෙස සලකන්න සිද්ධ වෙනවා.

ඇමෙරිකාවේ සීඅයිඒ සංවිධානය ඇතුළු නොයෙකුත් බලවේග ඒ වගේ වාමාංශික ආණ්ඩුවලට විරුද්ධව වැඩ කරපු බව ලිඛිත සාක්ෂි ඕනෑ තරම්. ඇමෙරිකාවේ ආර්ථික ප්‍රතිපත්තිය වූ නව ලිබරල්වාදය සහ සමාජවාදී ප්‍රතිපත්ති අතර සීතල යුද්ධයක් ඇති වූ බව අපි දන්නවා. ඒ සීතල යුද්ධයේදී ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් තමන්ගේ ධනස්කන්ධය මෙන්ම, ලෝක යුද්ධයෙන් පසු එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ආයතනවල බලතල පාවිච්චි කළා. ප්‍රජාතන්ත්‍රවාදී රටවල ප්‍රජාතන්ත්‍රවාදය තුළට රිංගන්න ඇමෙරිකාවට පුළුවන් වුණා.

වාමාංශික පාලනයක් තියෙන රටවල් ලෝක ආර්ථික පද්ධතිය තුළ තනි කරන්න සහ දුර්වල කරන්න ඇමෙරිකාව මහන්සිවෙලා කටයුතු කළා.

ඊට ප්‍රතිවිරුද්ධ කඳවුරට බොහෝ විට ඉතාම දරදඬු පාලනයන් ගෙන යන්නට සිද්ධ වුණා. ඒ වගේම, බොහෝ වාමාංශික පාලකයන් බලයට ලෝභ අවස්ථාවාදීන් ලෙස කටයුතු කරපු බවත් හංගන්න දෙයක් නෑ.

ඇමෙරිකාව ඇතුළු බටහිර රටවලට පුද්ගල අයිතීන්, ප්‍රජාතන්ත්‍රවාදය ආදී කාරණාවලදී ශක්තිමත් වුණාට, ඔවුන්ගේ ආර්ථික පද්ධතිය විසින් අතිශය ධනවතුන් අතොළොස්සක් සහ දුක්විඳින මිනිසුන් අතිබහුතරයක් සිටින විකෘති ආර්ථික පද්ධතියක් බිහි කළා.

අනෙක් අතට, ඊට විකල්පව ආර්ථික සමානාත්මතාවය යෝජනා කරපු වාමාංශිකයන්ට ප්‍රබල විදියට ප්‍රජාතන්ත්‍රවාදය සහ පුද්ගල අයිතීන් ස්ථාපිත කිරීමේ අසමත්කමක් පෙන්නුවා. ඒක තමයි නූතන ලෝකයේ කතාව.

කොහොමහරි ඇමෙරිකාවේ බිහිසුණු සීඅයිඒ මෙහෙයුම්, ආර්ථික සම්බාධක ඇතුළු සිද්ධ ගොඩක් ඉවර වුණාම, බොහෝ නව ලිබරල්වාදීන් ඉතාම විශ්වාසයෙන් කියනවා ඔය වාමාංශික වැඩ කරන්න පුළුවන් දේවල් නෙවෙයි, ඒකෙන් අත්වෙන සෙතක් නෑ කියලා. හැබැයි! අපි හැමෝම මුළු ලෝකයේම අත්විඳිමින් ඉන්නවා ඔය නව ලිබරල්වාදය නිසා අත්වෙච්ච සෙතක් නැති විත්තිය.

මේ අපරාධ, අසාධාරණය සහ අයුක්තිය, දුප්පත්කම, බඩගින්න, යුද්ධ විතරක් නෙවෙයි අන්තිමේ මුළු ලෝකයම දේශගුණ අර්බුදයකින් අවසානය දක්වා ගමන් කරමින් ඉන්නේ. එතකොට මේකද මාර ප්‍රතිපත්තිය? මේකද මාර සිස්ටම් එක?

මුළු ලෝකයම මේ වෙද්දී අලුත් වෙනසක් ප්‍රාර්ථනා කරමින් ඉන්නවා. අතීතයේ තිබුණු අසමත් වූ වාමාංශික පාලනයන් වෙනුවට- නූතන ලෝකයේ ප්‍රජාතන්ත්‍රික සහ ගෝලීය ආර්ථික රාමුව ඇතුළේ අසමත් නොවෙන නවීන වාමාංශික පාලනයක් ඕනෑ වෙනවා.

ඔව්! මේ වෙද්දී ධනය- බලය ගොඩගසාගත් බලවතුන්ට එරෙහිව ජනතාව වෙනුවෙන් ඇත්තටම වැඩ කරන හැම බලවේගයක්ම වාමාංශිකයි. ඒ වගේම තවමත් ‘සෝෂලිසම් බිල්ලා‘ අවුස්සමින් මේකට විරුද්ධ ප්‍රචාරණයන් පවතිනවා.

මේකේ අවදානම තමයි, මාලිමාව වගේ ලොකු බලවේගයක කොටස්කරුවන් මේ ‘වාමාංශික‘ බිල්ලාට බය වෙන්න ඉඩ තියෙනවා. ඒ බය නිසාම, ‘අපි වාමාංශික නෑ අනේ.‘ වගේ එකක් සමාජය ඉදිරියේ ඔප්පු කරන්න දඟලන්න ඉඩ තියෙනවා.

අපි කියන්නේ, මාලිමාව බය නැතිව කියන්න ඕනෑ අපි මේ බලය ගන්නේ මේ රටේ ගොවියා සහ කම්කරුවා වෙනුවෙන් බව. ඔවුන් බය නැතිව කියන්න ඕනෑ වතු කම්කරුවන් විදියට වැඩ කරලා මහන්සි වෙලා, කලාපයේ රෙදි මහලා මහන්සි වෙලා, සුපර්මාකට්වල නිදිමරාගෙන වැඩ කරන අයත්, කර්මාන්තවල වෙහෙස වෙන අයත්, ආහාර නිෂ්පාදනයට ගොවිතැනින් දුක්විඳින අයත්, පිටරට ගිහින් ජීවිතේම කැප කරමින් වෙහෙස වෙන අයත් මේ රට මෙතෙක් දුර ඇදගෙන ආපු බව කියන්න ඕනෑ.

මේ රටේ සුපිරි ධනවතුන් සහ දේශපාලුවන් ඒ ධනය කොල්ලකාලා- පෝට්සිටිවල සිට ෂැංග්‍රිලා දක්වා මහල් කුළුණුවල ජීවිතවලට- විදේශ රටවල ඕෆ්ෂෝ අකවුන්ට්වල තැන්පත් කරපු සල්ලිවලින් ලෝකෙ වටේ ගිහින් ගන්න අතිරික්ත සැප සම්පත්වලට වැය කරපු විත්තිය මාලිමාව කියන්න ඕනෑ.

දැන් විනාශ වෙච්ච ආර්ථිකයක බර සාමාන්‍ය වැඩ කරන මිනිස්සුන්ගෙ කරේ පටවන්න ලෑස්තිවෙනකොට, මාලිමාව බලයට එන්නේ ඒ අර්බුදයේ බර- ඇත්තටම මේ රටේ සැප සම්පත්වල වැඩි බර කරේ තියාගත්ත අය මත පටවන්න බව කියන්න ඕනෑ.

ඇත්තටම මාලිමාව බය නැතිව- දෑකැත්තයි මිටියයි- රතු කොඩියයි කර තියාගෙන යන්න ඕනෑ. ලංකාවට විතරක් නෙවෙයි, ලෝකයටම දුක්විඳින මිනිසුන්ට යහපතක් සපන අලුත් මාවතක් පෙන්වන්න ඕනෑ.

ජනතාව හරියට පෙළගස්වන්නට, තියුණු විදියට තමන් කරන දේ ඍජුව කියන්න සිද්ධ වෙනවා. එහෙම වෙද්දී, දෑකැත්ත මිටිය නිසාවත්- මහමැතිවරණය කලින් ගේන නිසාවත් පරාජය වෙන්න බැරි තරමට වැඩ කරන සාමාන්‍ය මිනිස්සුන් අතිබහුතරයකගේ සහයෝගය ලබා ගන්න ජාතික ජන බලවේගයට හැකි වේවි.

Author

%d bloggers like this: