පසුගිය වසර කිහිපය තුළ ඇතැම් ඖෂධ වර්ග මිලදී ගැනීමේදී මහජන මුදල් අවභාවිත කරමින් රුපියල් බිලියන 30ක පමණ වටිනාකමින් යුත් ගනුදෙනුවලදී වංචාසහගත ආකාරයෙන් කටයුතු කිරීම පිළිබඳ විගණකාධිපති දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි, ද මෝනිං පුවත්පත වාර්තා කර තිබේ.
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පසුගිය කාලයේදී රුපියල් බිලියන 30ක ඖෂධ ගනුදෙනුවලදී වංචා සිදු වූ බව චෝදනා කර තිබුණි. සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංසදයේ රවී කුමුදේශ් මෙන්ම වෛද්‍ය චමල් සංජීව ඇතුළු පිරිසක් මෙම අමාත්‍යාංශයේ වංචා දූෂණ රැසක් ගැන නොකඩවා හෙළිදරව් සිදු කර තිබුණි.
එම වාර්තාවට අනුව අදාල විශේෂ විගණන වාර්තාව මාස 2ක් ඇතුළත ලබා ගැනීමට නියමිත අතර විගණනය සඳහා 30 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් වෙන් කර තිබේ.
මේ පිළිබඳ ද මෝනිං කළ විමසීමකදී අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල එවැනි විමර්ශනයක් සිදු වෙන බව පිළිගෙන තිබේ. ඔහු සන්ඩේ මෝනිං වෙත කියා තිබුණේ, එවැනි විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලා සිටියේ තමන් විසින් බවය. ඒ අනුව මෙම විගණනය සඳහා ඔහු පුද්ගලිකව මැදිහත්වෙමින් විගණකාධිපතිවරයාගෙන් ඉල්ලීම් සිදු කර ඇති බවත් ද මෝනිං පුවත්පත හෙළිදරව් කර ඇත.
ගැටලු සහගත කාරණය වන්නේ, මෙම විගණනයෙදී චෝදනාවට ලක්ව සිටින අය අතර ප්‍රමුඛයා වන්නේ විගණනය සඳහා පුද්ගලිකව මැදිහත් වෙන සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල වීමය.