ජායතී ගොෂ් සහ කාංචනා රුවන්පුර
ශ්‍රී ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ සොහොයුරු, අගමැති මහින්ද රාජපක්ෂ බලයෙන් පහ කරන ලද අරගලය ලෙස හැඳින්වූ දැවැන්ත විරෝධතා ව්‍යාපාරය අවසන්ව වසරකට පසු ශ්‍රී ලාංකිකයන් නැවත වතාවක් වීදියට පැමිණ සිටී.
පොදුජන අතෘප්තිය යළි හිස එසවීමට පෙළඹවූ හේතුව වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ රජය අතර ඇති කර ගත් ගිවිසුමයි. රටේ දැන් පවතින ගෙවුම් ශේෂ අර්බුදය ඉලක්ක කරගත් මෙම ගිවිසුම, වසර හතරක කාලසීමාවක් සඳහා ශ්‍රී ලංකාවට ලබා දීමට නියමිතව ඇත්තේ – ඩොලර් බිලියන 3ක්- තරම් රටේ ණය සේවාකරණ අවශ්‍යතාවලට සාපේක්ෂව ඉතා සොච්චම් මුදලක් මෙන්ම 2022 දී ඩොලර් බිලියන 18ක් වූ එරට විදේශ විනිමය ආදායම්වලින් හයෙන් එකක් තරම් කුඩා අගයකි.
මෙම හදිසි ණය මුදලට හිලව් වන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පනවා ඇති කොන්දේසි ශ්‍රී ලංකාවේ වැටුප් සහ ජීවන වියදම් අර්බුදය තීරණාත්මක ලෙස උත්සන්න කරන්නක් විය. වෙළඳපොළ විනිමය අනුපාතවලට මාරුවීමට කරන ලද නියම කිරීම, විශේෂයෙන්ම, මුදල් අවප්‍රමාණයක් ක්ෂණිකව ඇති කළේය. එමගින් ආනයනික ඉන්ධන සහ ආහාර මිල ඉහළ ගිය අතර විදුලි බිල 2022 ජුනි සිට 2023 බෙරවාරි වන විට සීයට 165කින් ඉහළ ගියේය.
මූල්‍ය සීමා පනවද්දී, රටේ ආර්ථිකය අඛණ්ඩව හැකිළීමේ මාවතක ගමන් කළ අතර, දළ දේශීය නිෂ්පාදිතය 2022 පළමු කාර්තුවේ සීයට 7.8කින් සහ 2023 පළමු කාර්තුවේ සීයට 11.5කින් හැකිලුණි. එය රැකියා නියුක්තිය, ජීවනෝපාය සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්ගේ ශක්‍යතාව සඳහා මහඟු බලපෑමක් එල්ල කළේය. එහි බලපෑම මත සැබෑ වැටුපේ අගය 2022 දී සීයට 30-50 ප්‍රමාණයකින් අඩු වූ අතර, එම තත්වයේම තවමත් පවතී.
දූෂණයට එරෙහිව සටන් කිරීමේ අවශ්‍යතාව සහ දූෂිත මූල්‍ය ප්‍රවාහනයන් සීමා කිරීම පිළිබඳ හුදු ප්‍රකාශයන් ඇතත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩපිළිවෙල එම අර්බුද කාර්යක්ෂම ලෙස විසඳීමට අසමත්ය. එම සැලසුමෙහි සමාගම් වෙත පනවන බදුවල සුළු වැඩිවීමක් පෙන්නුම් කරතත්, ධන බදු පැනවීමේ හැකියාව එය ප්‍රතික්ෂේප කරයි. එපමණක් නොව, එය අතිශය පීඩාකාරී පියවර වෙත අවධානය යොමු කරයි. එකතු කළ අගය මත බද්ද සීයට 15 දක්වා දෙගුණ කිරීම උදාහරණයකි. එයින් සිදු වන්නේ වැඩිපුර ආදායම් ජනනය කිරීමේදී සාමාන්‍ය ජනතාව මත විෂම ලෙස බලපාන ආකාරයේ වක්‍ර බදු හරහා ආදායමෙන් විශාල කොටසක් ඉපයීමකි.
දැන් විරෝධතා රැල්ල මතුවීමට එක් හේතුවක් වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිර්දේශ කළ දේශීය සහ විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහනට අනුගත වීමට ගත් තීන්දුවලට ප්‍රතිචාරදැක්වීමකි. විදේශීය ණය දැරිය හැකි මට්ටමකට අඩු කිරීම වෙනුවට, ගිවිසුමෙන් යෝජනා කර ඇත්තේ සමස්ත ණය ප්‍රමාණය පහළ දැමීමට වේ. එම නිසා විදේශ ණයවලින් කපා දැමෙන්නේ සීයට 30ක් වැනි සුළු ප්‍රතිශතයක් පමණි.
එමගින් අර්බුදය උග්‍ර කර ඇති අතර, උක්ත තීන්දුව සාධාරණීකරණය කිරීමද අසීරුය. ගෝලීය සංචිතමය මූල්‍ය ඒකක නිකුත් නොකරන රටවල, දේශීය ණය සහ ජාත්‍යන්තර ණය අතර පැහැදිලි වෙනසක් ඇත. එවැනි රටවල මහ බැංකුවලින් පාලනය කරනු ලබන ඔවුන්ගේ දේශීය මූල්‍ය ඒකකවලින් දේශීය ණය සේවාකරණය සිදු කළ හැක. එහෙත් ඊට වෙනස්ව විදේශ විනිමයවලින් ලබාගත් ණය වෙනුවෙන් තවත් ණය ලබාගැනීමට හෝ විදේශ විනිමය ඉපයීමට සිදු වේ.
ශ්‍රී ලංකාවේ අර්බුදයට ප්‍රධාන හේතුවක් වන්නේ විදේශ විනිමය සංචිත ප්‍රමාණවත් නොවීම නිසා එරට විදේශ ණය සේවාකරණයට අසමත්වීමය. 2016 සිට, ශ්‍රී ලංකාවේ රජය තමන් ඊට පෙර ලබාගත් ද්වීපාර්ශ්වීය සහ බහුපාර්ශ්වීය ණය ගෙවීම සඳහා, ගෝලීය පෞද්ගලික ණය හිමියන්ගෙන් නව ජාත්‍යන්තර ණය ලබාගැනීමට කැමැත්තක් දැක්වීය. 2022 වසරේ මුලදී රජය විකල්ප විසඳුම් නොසොයා ජාත්‍යන්තර ණය ගෙවීමේදී බංකොළොත්භාවය ප්‍රකාශ කිරීමට තීන්දු කළේය.
දැනටමත් විනාශ වෙමින් පවතින ආර්ථිකයක් තුළ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය වේදනාකාරී මෙන්ම අනවශ්‍ය ක්‍රියාවකි. ශ්‍රී ලංකාවේ දේශීය ණය මහ බැංකුව, වාණිජ බැංකු, විශ්‍රාම අරමුදල් ආදී විවිධ පාර්ශ්වයන් සතුව පවතී. රටේ බැංකු පද්ධතිය දැනටමත් දුර්වලව පවතින පසුබිමක විශ්‍රාම වැටුප් අරමුදල් බොහෝ විට අපේක්ෂිත ක්‍රියාවලියේ සම්පූර්ණ බර දරනු ඇත.
දැනටමත් අතිවිශාල මිල වැඩිකිරීම්වලින් පහරකෑමට ලක්ව සිටින වැඩකරන ජනතාවගේ විශ්‍රාම ඉතුරුම්වලට බරපතල බලපෑමක් එල්ල කරනු ඇත. ශ්‍රී ලංකාවේ විශාලම විශ්‍රාම වැටුප් අරමුදල් සතුව පවතින ස්වෛරීත්ව බැඳුම්කරවලට ලබුණු සීයට 20කට වැඩි පොළී අනුපාත 2025 සිට කල් පිරෙන කාලය දක්වා සීයට 12 සහ ඉන්පසු සීයට 9 දක්වා අඩු කෙරේ. රජය තමන් සතු පොළී බර වාර්ෂිකව දළ දේශීය නිෂ්පාදිතයෙන් සීයට 0.5ක අනුපාත අගයකින් අඩු කර ගැනීමට නියමිතය.
අහිලන් කදිරගාමර්ගේ මෑතකාලීන ඇස්තමේන්තුවලට අනුව යෝජනා කරන්නේ විශ්‍රාම වැටුප් අරමුදල්වල වටිනාකම සීයට 30කින් පමණ ඉදිරි දශකයේදී අඩු වනු ඇති බවයි. එපමණක් නොව, වැඩකරන ජනතාවගේ එකම මූල්‍යමය වත්කම වන මෙම විශ්‍රාම වැටුප් අරමුදල්වල ආදායම මත සීයට 30ක බද්දක් පැනවීමට යටත් කිරීමට සැලසුම්කර ඇති අතර, එය සමාගම් අංශයේ බොහෝ අයට පනවා ඇති බදුවලට වඩා වැඩිය.
මෙම විශ්‍රාම අරමුදල්වල සිය ජීවන ඉතුරුම් ආයෝජනය කළ බොහෝ සේවකයන් බදු අය කළ හැකි ආදායමට වඩා අඩු වැටුප් ලබන්නන්ය. මේ අතර ජනවාර්ගික සහ ලිංගික අනන්‍යතා මත විවිධාකාර කප්පාදු කිරීම්වලට මුහුණදෙන කම්කරුවන් සිටී. ඇඟලුම් කර්මාන්තයේ සේවය කරන කාන්තාවන් සහ වතු කර්මාන්තයේ වැඩ කරන, සුළුතර දෙමළ ප්‍රජාවට අයත් වන කම්කරුවන් උදාහරණ වේ.
මෙම ප්‍රජාවන්ගේ ජීවන තත්වය මේ වන විටත් තැත්ගන්වනුලු ලෙස කඩා වැටී ඇත. ශ්‍රී ලංකාවේ මිලියන 22.2ක ජනතාව අතරින් සීයට 56ක් පමණ බහුමානීය අවදානම් තත්වයන් සමග පොර බදිමින් සිටින්නේ කාන්තාවන් සහ දැරියන් දරුණුම පීඩාවට ලක් කරමිනි. නිල ඇස්තමේන්තුවලින් පෙන්වාදෙන්නේ වයස අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් සීයට 43ක් මන්දපෝෂණයෙන් පෙළෙන බවය. ගර්භණී සහ කිරිදෙන මව්වරුන්ගේද මන්දපෝෂණය ඉහළය.
ශ්‍රී ලංකාවේ රජය සිය දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී වැටුපට වැඩකරන ජනතාවගේ විශ්‍රාම අරමුදල් ඉලක්ක කිරීම නිසා පන්තිමය, ස්ත්‍රී පුරුෂ සහ වාර්ගික අසමානතා තවත් උග්‍ර කිරීමට ඉඩ ඇත. ඔවුන් වෙහෙස වී උපයාගත් ඉතුරුම් ඛාදනය වී, දරිද්‍රතාවෙන් පෙළෙන කම්කරුවන් තවත් අසරණභාවයට තල්ලු කරනු ඇත.
නව තත්වයට හැඩගැසීමේ ක්‍රියාවලිය රඳා පවතින්නේ වැටුප් නොලබමින් දරිද්‍රතාව සහ කප්පාදු වෙමින් පවතින පොදු සේවාවන් හමුවේ, නොනැවතී සිය රැකවරණමය සේවාවන් සපයන කාන්තාවන් මතය. ශ්‍රී ලංකාවේ වැඩකරන පන්තියේ කාන්තාවගේ දුක්වේදනාවන් අවධාරණය කරන්නේ රටේ ණය අර්බුදය සහ එයට විසඳුම් සෙවීමට රජය අනුගමනය කරන ක්‍රමවේදයේ බලපෑම්ය.
ශ්‍රී ලංකාවේ කල් ඇදී ගිය ආරථික අර්බුදයට විසඳුම් සෙවීමේ උපක්‍රමවල පැහැදිලි වෙනසක් අවැසි වේ. අර්බුදය සඳහා සොයන විසඳුම්වල බර වැඩකරන ජනතාව මත පටවනවා වෙනුවට, ඔවුන්ගේ ජීවන තත්වය නගා සිටුවීම කෙරෙහි රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවධානය යොමු කළ යුතුමය.
මහාචාර්ය ජායතී ගොෂ් මැසචුසෙට්ස් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ විශේෂඥවරියකි.
මහාචාර්ය කාංචනා එන්. රුවවන්පුර ගොතෙන්බර්ග් විශ්වවිද්‍යාලයෙහි සංවර්ධන භූ විද්‍යාව පිළිබඳ විශේෂඥවරියක ලෙස සේවය කරන්නීය.